ලොව ආරක්ෂිතම හිරගෙයින් පැනගිය මේ සිරකරුවන් ට මොකද වුණේ?

ඒක 1962 ජූනි මාසයේ සීතල රාත්‍රියක්.

 සෑන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක මැද්දේ තනිවෙලා වගේ තිබිච්ච පර්වතයක් උඩ, ඇල්කැට්‍රාස් බන්ධනාගාරය උන්නේ ඒ රෑ අන්ධකාරය අස්සෙ නිදාගෙන වගේ.

ඒත් නිදාගෙන උන්න බන්ධනාගාරය ඇතුලෙ සිරකරුවො කීප දෙනෙක් උන්නෙ නම් අවදියෙන්. ඒ බන්ධනාගාරයේ නිහඬ බිත්ති අස්සෙ, අමතක නොවන වික්‍රමාන්විතයක් කිසි සද්දයක් නැතුව කරන ගමන්. 

මුරකරුවන්ගේ ඇස් වලට බොරුවක් පෙන්නලා, මනුස්සයො තුන්දෙනෙක් ඒ අන්ධකාර රැයේ අතුරුදහන් වෙලා යනවා.

 ඒ අය තමයි ෆ්‍රෑන්ක් මොරිස් සහ ජෝන්, ක්ලැරන්ස් කියන ඇංග්ලින් සහෝදරයෝ. එයාලා කරපු මේ නිර්භීත ක්‍රියාව නිසා ඇල්කැට්‍රාස් ඉතිහාසය සදහටම වෙනස් වෙනව වගේම අවුරුදු ගාණකට පස්සෙත් අපි ඒ ගැන කතාකරනවා.

නොදිරන බලකොටුව

“ද රොක්” කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඇල්කැට්‍රාස් කියන්නේ සරල හිරගෙදරක් නෙවෙයි. ඒක බන්ධනාගාරයක් වගේම බලකොටුවක්. 1934 දී ඇමරිකාවේ අපරාධ වැඩි වුණු කාලයේ තමයි මේක උපරිම ආරක්ෂාව තියෙන හිරගෙදරක් විදියට හැදුවේ. ඒකෙ සිර කළේ අල් කැපෝන් සහ “මැෂින් ගන්” කෙලී වගේ දරුණුම අපරාධකරුවන්ව.මේක ඇහුවම මට මතක් වෙන්නෙ හැරි පොටර් කතා මාලාවේ එන අස්කබාන් හිරගෙදර.

නරකම නපුරුම මිනිස්සුන්ව හිරකරපු තැනක් තමයි මේ ඇල්කැට්‍රාස් කියන්නෙත්.

බන්ධනාගාරය පිහිටලා තිබ්බ  පර්වතය වටේටම තිබුණේ සැර දියවැල් පිරිච්ච අයිස් වගේ සිතල වතුර. හුළං වේගය වැඩි නිසා එතන ජීවත් වෙන එක පවා හරි අමාරුයි කියලා තමයි කියන්නේ. මේ නිසාමයි හැමෝම කිව්වේ “මේකෙන් පැනලා යන එක කියන්නෙ කවදාවත් කරන්න බැරි දෙයක්” කියලා. 

1934 ඉඳන් 1963 දක්වා මිනිසුන් 36 දෙනෙක් මෙහෙන් පැනලා යන්න උත්සාහ කරලා තිබුණා. ඒ හැමෝම අල්ලගත්තා එහෙම නැත්තම් මරලා දැම්ම. කිසිම කෙනෙක් පැනලා යන්න හදපු සාර්ථක වෙලා තිබුණේ නැහැ.

හැබැයි ඒ 1962 ජුනි මාසේ ෆ්‍රෑන්ක් මොරිස් සහ ජෝන්, ක්ලැරන්ස් කියන ඇංග්ලින් සහෝදරයෝ මේකෙන් පැනලා යනකම් විතරයි.

වික්‍රමාන්විතය පටන් ගත් හැටි

ෆ්‍රෑන්ක් මොරිස් කියන්නේ හරිම කපටි අපරාධකාරයෙක්.

 එයාට තිබුණා ඕනම දේකින් හරිම දක්ශ විදියට පැනලා යන පුරුද්දක්. එයා ඇල්කැට්‍රාස් වලට ආවේ 1960 දී. ඒ කාලෙම වගේ දක්ෂ පිහිනුම්කරුවන් දෙන්නෙක් වන ඇංග්ලින් සහෝදරයෝත් මෙහෙට ආවා. දෛවෝපගත විදියට මේ තුන්දෙනා එකම බන්ධනාගාරයක, එක ළඟ කුටි වලට තමයි වැටුණෙ. කවුරුවත් හිතුවේ නැහැ මේ තුන්දෙනා එකතු වෙලා කවදාවත් මෙන්න මේ වගේ දෙයක් කරාවි කියලා.

අනික කවුද හිතන්නේ ඇල්කැට්‍රාස් වලින් පැනලා යන්න පුලුවන් කෙනෙක් ඉන්නවා කියලා නේද?

මේ අයගේ සැලසුම පටන් අරන් තියෙන්නෙ හිරගෙදරදී හම්බවුණු පරණ කියත් තල කිහිපයකින්. ඒකෙන් එයාලා තමන්ගෙ කුටි වල තිබුණු වාතාශ්‍රය ලබාදෙන සිදුරු ලොකු කරලා තියෙනවා. හැම රෑම වැඩ කරල තියෙනවා. හැබැයි කවුරුවත් මේ ගැන මෙලෝ දෙයක් දැනන් ඉඳලා නෑ. මේ සිදුරු වහලා තිබිලා තියෙන්නෙ කාඩ්බෝඩ් වලින්. එයාලා ඒකට පාවිච්චි කරලා තියෙන්නෙ කැඩිච්ච වැකුම් ක්ලීනර් එකක මෝටරයක් වගේ දෙයකින් හදාගත්ත ආයුධයක්.

රහස් වැඩපොළ

එයාලගෙ කුටි පිටිපස්සේ තිබිලා තියෙන්නෙ පාවිච්චියට ගත්තෙ නැති පාරක්. ඒකෙන් එයාලා තමන්ගෙ ගැලවීමේ මාර්ගයට උදව් වෙන වැඩපල කරගන්න පුලුවන් රහස් වැඩපොළකට ගිහින් තියෙනවා. ඒකේ තමයි එයාලා වැහි කබා පනහකටත් වැඩිය පාවිච්චි කරලා පැරෂූට් බෝට්ටුවක් හදලා තියෙන්නෙ. ජීවිතාරක්ෂක ජැකට් හදලා තියෙන්නෙත් ඒකෙන්. හැබැයි කිසිම කෙනෙක්ට නොතේරී තමයි මේ හැමදේම ක‍රලා තියෙන්නෙ.

ඔයාලා කියවලා තියෙනවද එඩ්මන්ට් ඩාන්ටේගෙ කතාව? මොන්ට ක්‍රිස්ටෝ සිටුවරයගෙ කතාව? එඩ්මන්ට් ඩාන්ටේ සිර ගෙදරින් පැනලා යන කතාව.

අන්න ඒ වගේ කතාවක් තමයි මේක. 

මේ හැමදෙයක්ම කරද්දී එයාලා මුරකරුවන්ට රවට්ටන්න තමන්ගෙ මූණු වගේ පේන බොරු ඔලු හදලා තියෙනවා. ඒ ඔලු හදලා තියෙන්නෙ සබන්, සිමෙන්ති කුඩු සහ හිරගෙදර කොණ්ඩ කපද්දි වැටිච්ච  හිසකෙස් වලින්. ඒක හරිම පුදුම සහගත නිර්මාණයක් කියල තමයි ඒක දැකපු අය කියන්නේ. ඒ ඔලු තමයි පැනල ගිය දවසෙ රෑ මුරකාරයන්ව රවට්ටන්න එයාලා ඇඳවල් උඩ තියලා ගිහින් තියෙන්නෙ. 

පිටත්ව යාම

ඒ සැලසුම ක්‍රියාත්මක වුණේ 1962 ජූනි 11 වෙනිදා.

 අන්තිම මොහොතේ එක පුද්ගලයෙක් වැඩේට බෑ කියලත් තියෙනවලු. ඒත් මොරිස් සහ ඇංග්ලින් සහෝදරයෝ නැවතිලා නෑ. එයාලා තමන්ගෙ කුටි වලින් එළියට ඇවිත්, වහලට නැගලා, දුම් කුටියක් දිගේ බැහැලා, වෙරළට ගිහින් තියෙනවා. එතනදී බෝට්ටුව පුම්බලා, සීතල වතුරට බැස්ස එයාලා අන්තිමේ රෑ අන්ධකාරෙ අස්සෙ හැංගිලා ගියා ගියාමයි එතනින් පස්සෙ මොකද උනේ කියලා අදටත් කවුරුවත් දන්නෙ නෑ. 

අභිරහස් අවසානය

පහුවදා උදේ මුරකරුවන්ට හම්බ වෙන්නේ හිස් ඇඳන් උඩ තියෙන ප්ලාස්ටර් වලින් හදපු බොරු මූණු. මේ සිද්දිය මුළු ඇමරිකාවම කම්පනයට පත් කරන්න හේතු වෙලා තියෙනවා.

මොකද “ඇල්කැට්‍රාස් කියන්නෙ කවදාවත් පැනලා යන්න හිතන්නවත් බැරි හිරගෙයක්” කියලා කට්ටිය හිතාගෙන උන්න හන්දා. එයාලා හොයාගන්න විශාල සෝදිසි මෙහෙයුමක් දියත් කරලා තියෙනවා.

ඒත් හම්බ වෙන්නෙ බෝට්ටුවෙ කෑලි බෑලි ටිකක් විතරයි.කවදාවත් පැනලා ගිය තුන්දෙනාව හම්බවෙන්නෙ නෑ.

 ඒ මිනිස්සු දියේ ගිලුණාද? එහෙම නැත්නම් අලුත් ජීවිත පටන් අරගෙන වෙන රටකට ගියාද? 

ඒක තාමත් අභිරහසක්. 

අදටත් මේ ගැන මිනිස්සු කතා කරනවා. 

මොකද මිනිස්සු කියන්නෙ නිදහසේ ජීවත්වෙන්න කොච්චර ආස කරන අයද කියන එකත් නිදහස වෙනුවෙන් මිනිස්සු ඕන දෙයක් කරනවා කියන එකත් මේ කතාවෙන් අපිට කියලා දෙන හන්දා.

Reference: https://www.fbi.gov/history/famous-cases/alcatraz-escape

Related Articles

Don't Miss


Latest Articles