” ආන්ටී..! මං ගිහින් එන්නං “
දෙවුරින් එල්ලා ගත් පොත් බෑගයද සහිතව තරප්පු පෙළ බැසවිත් මුළුතැන්ගෙයට එබුණු තරුණිය එහි වූ මහීකා දෙස බලා පැවසුවාය.
” විනාඩි දෙකක් ඉන්න දුමී.. මාත් එනවා. “
” ආන්ටී කොහෙද යන්නේ ?”
” බලන්න පුතේ.. අපේ ලොකූ යද්දී මං නානවා. කාමරේට ඇවිල්ලා අම්මේ මං යනවා කිව්වා. මාත් කල්පනාව නැතුව හා කිව්වා. මේකා කෑම එක දාලා ගිහිල්ලා. මං ඒක ගිහින් දෙන්න කියල බැලුවේ. “
” ම්ම්.. ලොකේශන් එක කිව්වනං මං යන ගමන් ගිහින් දෙන්නං ආන්ටී..”
මහීකා යටැසින් තරුණිය දෙස බැලුවාය.
” අනේ ඔයාට පුලුවන්ද පුතේ ? “
” පුලුවන් ආන්ටී. ප්‍රශ්නයක් නෑ. “
” එහෙනං මං ඔයාට සේල් එකටම පික් මී එකක් දාලා දෙන්නං. මේ කොල්ලා කොච්චර ලොකු උනත් වැඩක් නෑ පුතේ. කෑම එක හදලා , බැඳලා , බෑග් එකේ දාලා අතටම දෙන්න ඕනේ අර ඉස්කෝලේ යන පොඩි එකෙක්ට වගේ. නැත්තන් කොයි වෙලෙත් දාලා යනවා. ඊලඟට මං දුවන්නෝනේ කෑම එක උස්සන් “
මහීකා එසේ පවසමින් කෑම පාර්සලය සහිත බෑගය මිහිදුමී අත තැබුවාය.
ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබූ විසල් වූ ගොඩනැගිල්ලක් අභියස ත්‍රීරෝද රථයෙන් බැස ගත් තරුණිය එහි වූ මුර කුටිය දෙසට ඇවිද ගියාය.
” මිස් කාව හම්බ වෙන්නද ?”
” අන්කල්..! මිස්ටර් විජේසිංහව හම්බ වෙන්න. මං ගෙදරින් ආවේ..”
වැඩිමහලු ආරක්ෂක නිලධාරියා දෙස බලා එසේ පැවසූ ඈ සිහින් සිනහවක් නැඟුවාය.
” පොඩ්ඩක් ඉන්න මිස්. “
ඔහු මුර කුටිය දෙසට ඇවිද ගොස් දුරකතන ඇමතුමක් ගනු පෙනිණි.
” යන්න මිස් ඇතුළට. ඔය වාහන අතරින් ඉස්සරහට ගිහින් බිල්ඩින් එක ඇතුළට යන්න. එතන රිසෙප්ශන් එකේ මිස් කෙනෙක් ඉන්නවා. එයා පෙන්නයි යන්න ඕන තැන. “
” බොහොම ස්තූතියි .”
ආරක්ෂක නිලධාරියාට එසේ සමුදුන් ඈ ප්‍රථම වතාවට විජේසිංහ කුටුම්භයේ නිහඬධාරියාගේ රාජධානියට ඇතුළු වූවාය. ඉතා මනස්කාන්ත අයුරින් සකසා තිබූ වටපිටාවේ සුඛෝපභෝගී මෝටර් රථ බොහෝමයක් අලෙවිය සඳහා ප්‍රදර්ශනයට තබා තිබූ අතර වීදුරු ද්වාරයෙන් ගොඩනැගිල්ලට ඇතුළු වූ විටද එහි අධි සුඛෝපභෝගී මෝටර් රථ පෙළක්ම ඉතා දැකුම්කළු අන්දමට ප්‍රදර්ශනය කර තිබුණේය. සියල්ල වටා දෑස කරකවමින් ඉදිරියට ඇදුණු තරුණිය ආරක්ෂක නිලධාරියා පැවසූ ලෙසම පිළිගැනීමේ කවුන්ටරය වෙතට ඇවිද ගියාය.
” ගුඩ් මෝනින් මිස්. ලොකු සර්ගේ ගෙදරින් නේද ? “
” ඔව්. “
” ලොකු මැඩම් කතා කරලා කිව්වා. මේ පඩි පෙළෙන් උඩට ගිහින් වමට හැරෙන්න මිස්. එතන කීප දෙනෙක් ඉන්නවා. ඊට එහා පැත්තේ සර්ගේ ඔෆිස් එක. “
” තැන්ක් යූ..!”
ඈ වෙතද පෙරළා සිනහවක් පෑ තරුණිය ඈ පැවසූ ආකාරයටම තරප්පු පෙළ නැඟ ප්‍රධාන කාර්යාලය වෙතට ඇවිද ගියාය. ප්‍රධාන කාර්යාලය ඉදිරියේ කාර්යාල මේස කිහිපයක හිඳ රාජකාරීයේ නියුතු තරුණ තරුණියන් කිහිප දෙනෙකුම හිස් හරවා ආගන්තුක යුවතිය දෙස බැලූහ. ඒ අතරම ප්‍රධාන කාර්යාලය තුළින් පිටතට පැමිණි තරුණයෙක් වහා ඈ වෙතට ඇවිද ආවේය.
” සර්ගේ ගෙදරින් නේද ?”
” ඔව්. “
” යන්න සර් ඇතුළේ ඉන්නවා. “
” තැන්ක් යූ..”
එසේ පැවසූ ඈ ඔහු පිටතට පැමිණි වීදුරු ද්වාරය විවර කරමින් ඇතුළට අඩි තැබුවාය. තනි ශ්වේත වර්ණිත කාර්යාල කාමරය තුළ තිබූ තද කළු පැහැ විසල් මේසයක් අසල කාර්යාල අසුනකට බරවී සිටි ඔහු ඈ දෙස නොබලාම ලිපි ගොනුවකට මුහුණ බර කරමින් සිටියේය. ඔහුගේ පිටුපසින් විසල් ලිපි ගොනු තැබූ රාක්කයක්ද , ඊට අනෙක් පසින් සෝපා ද්විත්වයක් හා ටීපෝවක්ද ඊට ඉහලින් බිත්තියේ අක්‍රිය කර දැමූ රූපවාහිනියක්ද වූයේය. නමුත් ඒ කිසිවකට අවධානය නුදුන් ඈ තමා දෙසට බැල්මක් හෝ නොහෙළා ලිපි ගොනුව එහා මෙහා පෙරළමින් අත්සන් යොදමින් උන් ඔහු දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙළුවාය.
” ඉස් ඉස්සෙල්ලම ආවම පොඩ්ඩක් ඔලුව උස්සලා බලන්න බැරිද ? පුදුම ලොකුකමක් තියෙන්නේ. ආන්ටිගේ තමා වරද. කොයි වෙලෙත් කටේ ලොකූ ගාගත්ත ගමන්නේ. අර සුදු අයියා කියනවා වගේ මේ මනුස්සයගේ ලොකු කම වැඩි වෙලා තියෙන්නේ ලොකූ ලොකූ ගාලමද කොහෙද ?”
තනිවම යටිසිතින් තමා සමඟම මුමුණමින් ඉදිරියට ආ ඈ කෑම පාර්සලය සහිත බෑගය කාර්යාල මේසය මතින් තැබුවාය.
“ආන්ටී.. කෑම එක එව්වා. යන්නං “
තව දුරටත් හිස නොඔසවාම සිටින ඔහු වෙතට ඇඹුල් කරගත් උවනින් පැවසූ ඈ යළි නික්මෙන්නට සූදානම් වුවද ඈ දෙසට බැල්මක් නොහෙළාම අත දිගු කර අසුන් ගන්නා ලෙස ඔහු තමා ඉදිරියේ වූ අසුන පෙන්වූයේය.
” ඕනෙ නෑ. මං කැම්පස් එකට යන ගමන්. පරක්කු වෙනවා. “
එවර මෙතෙක් වේලා ලිපි ගොනුව මත රැඳි උවන ඈ වෙතට එසවුණු අතර එකී රෞද්‍ර උවනේ ඇති කෝපාවිෂ්ට ස්වභාවයටම වෙව්ලා ගිය ඈ ඉබේම අසුන මත හිඳ ගත්තාය. එපමණකි. යළිත් ලිපි ගොනුවට දෑස විතැන් කළ ඔහු නැවත වතාවක් එහි අත්සන් යෙදීම ආරම්භ කළේය.
” මේ මොකද මේ ? උදේ එද්දි හොඳට ආවනේ. ? දැන් නිකන් ගරා යකා වගේ මූණ. මෙච්චර ගිනි පිඹින්න මං මුකුත් කළේ නෑනේ. ?”
තනිවම ඔහුගේ කෝපයට හේතු සෙවූ ඈ නිහඬවම උවන බිමට බර කර ගත්තාය. ඊලඟට ඔහු කාර්යාල මේසය මත වූ රිසිවරය කනේ තබා ගත්තේය.
” එන්න..!”
එපමණකි. තත්පර කිහිපයකින් වීදුරු ද්වාරය විවර වූ අතර පිටත සිටි තරුණියක් ඊට ඇතුළු වූවාය.
” මේක රෙඩී..!”
ඈ දෙසට බැල්මක් හෝ නොහෙළාම ඔහු අත්සන් යෙදූ ලිපි ගොනුව ඈ දෙසට දිගු කළ අතර හිස මඳක් සොලවා එය අතට ගත් ඈ නැවත කාර්යාලයෙන් පිට වුවාය. ඊලඟ මොහොතේ නිහඬතාව බිඳිමින් ඔහුගේ ජංගම දුරකතනය නාද වූයේය.
” කියන්න මීෂා..!”
” ලොකූ ඔයා ඔෆිස් එකේද ?”
” ඔව්. “
” මං අර යාලුවෙක්ගේ වැඩක් කිව්වේ. කා එකක් බලන්න. එයා දැන් මාත් එක්ක ඉන්නේ. අපි දෙන්නා ඔය පැත්තට එන්නද ?”
” මේ වෙලාවේ බිසී මීෂා. තව පැයකින් වගේ එනවද ?”
” හා. ඕකේ..”
සියල්ල පැහැදිලි සහගත වුවද අහේතුකව හදවතට දැනෙන ඊර්ෂ්‍යාව සුළු පටු නොවෙයි. තව දුරටත් අසුන මත හිඳ සිටීමට නොහැකි වූ ඈ බෑගයද අතට ගෙන ඉන් නැඟී සිටියාය.
” මං යනවා. “
” ඔහොම ඉන්න..”
ගොරහැඬි කටහඬ බැල්මට දෙවෙනි නොවූවේය. හිඳ උන් අසුනෙන් නැඟී සිටි ඔහු ඈ ඉදිරියට විත් සිටගත් අතර එකී උවන දෙස බැලීමට හිස නොඑසවූ ඈ එක දිගට උවන ටයිල් පොළොව මතට විතැන් කරමින් සිටියාය.
” දිහස්ගේ තාත්තා මට දැන් ටිකකට කලින් කතා කළා. දිහස්ට වාහනයක් බලන්න. මෙච්චර දවස් තිබ්බේ මොකක්ද කියලා ඇහුවම දිහස්ට තිබ්බේ බයික් එකක් කිව්වා. මෙච්චර දවස් දිහස් අයියා එක්ක යනවා එනවා ගගා ඌ එක්ක එහෙ මෙහේ ගියේ බයික් එකේද ?”
ගොරහැඬි කටහඬටත් , රෞද්‍ර උවනටත් හේතුව වහා තේරුම් ගත් ඈ ඔහුගේ වැරදි වැටහීම කෙරෙහි අප්‍රමාණ බියෙකින් දැවුණාය.
” ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද තමුන්ට ?”
යළිත් වතාවක් ගැඹුරු ස්වරය හමුවේ තිගැස්සී ගිය ඈ ක්ෂණිකව මුහුණ ඔසවා ඔහු දෙස බැලුවාය.
” සමන් දෙයියනේ..! නෑ.. මං බයික් එකකට නැග්ගෙවත් නෑ…”
සමච්චලයක් පිරුණු උසැති උවනේ බැල්ම වහා වෙනතකට විතැන් විය.
” ගේ ලඟට එන්න කියන්නැතුව පාරට ගිහින් යන්න තියාගත්තේ ඒක වෙන්නැතිනේ ?”
” අනේ.. නෑ.. දිහස් අයියා එක්ක යනවා කිව්වට ඒ කියපු එක දවසකවත් එයා ආවේ නෑ. මං..මං පාරට ඇවිල්ලා ට්‍රයි ශෝ එකක හරි බස් එකක හරි ආවේ ගියේ. කව.. කවදාවත් දිහස් අයියා මාව ඇරළවන්න ඇවිත් නෑ..මං.. මං.. එයා එක්ක යනව එනවා කියල බොරුවට කිව්වේ “
අසරණ දෙනෙතින් මතුවූ කඳුළක් කොපුල කරා රූරා වැටෙද්දී ඈ වෙව්ලන ස්වරයෙන් හුස්මක් හෝ නොගෙන එක දිගට පිළිතුරු බැන්ඳාය. වෙනතකට දෑස හරවා උන් ඔහු සීරුවට එකී කඳුළු පිරි උවන වටා තම දෑස යැවූවේය.
” සමන් දෙයියන්පල්ලා.. ! මං ඇත්තටම කා එක්කවත් බයික් වල ගියේ නෑ. බොරුවටයි එහෙම කිව්වේ.”
සුරුස් හඬින් නාසය ඉහලට අදිනාතුර ඈ වෙව්ලන හඬින් තව දුරටත් හේතු සැපයුවාය.
” මාව රිද්දන්න පුදුම ආසාවක් නේ තිබිලා තියෙන්නේ ?”
කෝපය සම්පූර්ණයෙන්ම පහව ගිය ස්වරය පෙරට වඩා බොහෝ මන්ද වූ අතර කෝපාවිෂ්ට කටහඬට වඩා වේදනාවක්ද , පසුතැවීමක්ද කියා තෝරා බේරා ගත නොහැකි වූ එකී ස්වරයට තවත් තදින් කඳුළු පුරවා ගත් ඈ නැවත වතාවක් හිස බිමට හරවා ගත්තාය.
” ලෙක්චර්ස් කීයටද ?”
මිනිත්තු කිහිපයක්ම ඇගේ නාසය උඩට ඇදීමේ සුරුස් හඬින් පමණක් පිරී ගිය කාර්යාල කාමරයේ වූ නිහඬ බව බිඳි ඔහු අවසානයේ මුව හැරියේය.


