පසළොස්වක මල් – 03

0
14

විජේසිංහ නිවසේ විසල් ගෙමිදුල ආරම්භ වූ දැවැන්ත ගේට්ටුවේ සිට නිවස කරා පිළිවෙළට ඇල්ලූ ඉන්ටලොක් මාර්ගයක් වූයේය. ඒ දෙපස හා මුළු ගෙමිදුල පුරාම ඉතා හොඳින් නඩත්තු වන විසිතුරු මල් පැළ වර්ග උයනක සිරියක් ගෙන හැර පෑවේය. පසෙක විසල් අඹ ගසක සෙවණින් වටවූ නොයෙක් වර්ගයේ හා නොයෙක් වර්ණිත ඇන්තූරියම් වගාවකි. තවත් පසෙක එක දිගට නොයෙක් වර්ණ වල රෝස වගාවකි. පළමු මහලේ දකුණු පස වැරැන්ඩාව දිගට නොයෙක් වර්ගයේ ඕකිඩ් වර්ග පැළ කෙරූ බඳුන් රාශියක් එල්ලා තිබූ අතර බොහෝ ඒවා ඉතා මිලාධික බව තරුණිය බැලූ පමණින් වටහා ගත්තාය. 

කොළඹ නගරයට ආසන්නව කාර්යබහුලත්වය සහ දුහුවිලි අධික උෂ්ණාධික පරිසරයක මෙවැනි සුන්දර වටපිටාවක් පවත්වාගෙන යාම විජේසිංහ නිවසේ ගෘහ මූලිකාව වූ මහීකා විජේසිංහ සතුව ඇති ඉවසීමේ සහ කලාවට ඇති ආදරයේ හොඳම සාක්ෂිය  බව තරුණිය තනිවම සිතමින් සිටි අතර ඇයට විශාඛා විසින් දිනක පැවසූ කාරණයක්ද මතකයට නැඟුණාය. 

” ගේක මිදුලක් දැක්කම ඒ ගෙදර ඉන්නේ කොයි වගේ ගෑනියෙක්ද කියලා මූණවත් නොබලා තේරුම් ගන්න පුලුවන්. ලස්සනට කප්පාදු කරලා , වන මලක් හරි මිදුලක ලස්සනට පිපිලා තියනවනං ඒ ගෙදර ඉන්නේ ලක්ෂ්මී දේවියක්. එතකොට දවස් ගාණකින් ඉදලක් දැකලා නැති , තණකොළ වැවිච්ච මිදුලක් කියන්නේ ඒ ගෙදර ඉන්නේ මූ දේවියක්. මඟුල් තුලා කතා කරද්දි ගෙවල් දොරවල් , වතු පිටි බලන්න එනවා කියලා කට වහරෙට කියන්නේ ඔන්න ඕවා නිසා. තමන්ගේ ගෙදරට කැන්දන් යන්න ඉන්න ගෑනු දැරිවි ලක්ෂ්මියක්ද , මූ දේවියක්ද කියලා දැනගන්න ඒ දැරිවිගේ මූණ බලන්න ඕනෙම නෑ. වත්ත පිටිය දැක්කම හිතා ගන්න පුලුවන් . “

” අම්මා කොහොමද අනේ ඔච්චර දේවල් දන්නේ ?” 

” ඉස්සර අපේ අත්තම්මලා කොච්චරවාත් ඕවා කිය කිය තමා දරුවෝ අපිව ගෙවල් වල වැඩට හුරු කළේ. “

මිහිදුමීගේ දෙනෙතට නොදැනීම කඳුළක් මෝදු විය. ශමෙල් සහ විශාඛා පිටව ගොස් දැන් අඩ හෝරාවකට ආසන්නය. කෙතරම් ධෛර්යය සම්පන්නව , බලාපොරොත්තු සහිතව කොළඹ ගමනට සූදානම් වුවද තම මව විජේසිංහ නිවසින් පිටව යන අවස්ථාව මිහිදුමීගේ හදවත දෙදරවීමට සමත් විය. දුර ඇදෙන මෝටර් රථය පසුපස දිව ගොස් තමාවත් යළි කැඳවාගෙන යන ලෙසට කෑගසා හැඬීමට ඇයට සිත් දුණි. බොහෝ ආයාසයෙන් කැඩී බිඳී ගිය හදවතින් විප්පයෝගය දරා ගත් ඈ තමා වෙනුවෙන් සූදානම් කර තිබූ නිදන කාමරයට වැද ඇති වන තුරු හඬා වැටුණාය. හදවත කෙතරම් ඉරි තැලී වේදනාවෙන් පිරී ගොස් තිබුණද රත්නපුර නිවසින් පිටත්වී එන තුරුත් බලහත්කාරයෙන් වළක්වා ගත් කඳුළුත් , මව පිටව යන අවස්ථාවේ අපමණ වෙහෙසකින් දරා ගත් කඳුළුත් සියල්ල එක වර පිට කරමින් ඈ එක දිගට හෝරාවක් පමණ යහන මත වූ කොට්ටයක් මත මුහුණ තද කරමින් හඬා වැටුණාය. 

” දුමී.. ! දූ…!” 

හඬමින්ම යහනට වී සිටි ඈ තිගැස්සී අවදි වූයේ නිදන කාමරයේ ද්වාරය අසල සිට කළ මහීකාගේ ආමන්ත්‍රණයටය. එක දිගට හඬා වැටීමෙන් සහ ගමන් මහන්සියෙන් බරව උන් තමා කොයි මොහොතේ නින්දට වැටුණාදැයි ඇයට දැනුමක් නොවුණාය. නමුත් ඒ වන විටත් සැඳෑව පළවා හැරි රාත්‍රිය වටපිටාව මෙන්ම තමාවද ආක්‍රමණය කර ඇති බව නිදන කාමරය පුරා පැතිර ගිය ගන අන්ධකාරයෙන්ම වටහා ගත් ඈ දනි පනි ගා නැඟිට කාමරයේ විදුලි බුබුළ දැල්වූවාය. 

” ආන්ටී.. එන්න..!” 

” නින්ද ගියා නේද ?” 

” අනේ.. ඔව්. නිකන් ඇඳට වෙලා හිටියා. එහෙම්මම නින්ද ගියා. මට තේරුණෙත් නෑ. “

” ගමන් මහන්සියට වෙන්නැති දූ.. මූණ කට සෝදන් එන්න. අපි රෑට කමු. “

මිහිදුමී විමතියෙන් ඈ දෙස බැලුවාය. 

” එච්චර රෑ වෙලාද ?” 

” දැන් අටටත් කිට්ටුයි. “

” සමන් දෙයියනේ..! අම්මලා ගෙදර ගියාද කියලවත් අහන්න බැරි උනා. “

තනිවම සිතුවා විනා ඈ වචන පිට නොකළාය. 

” එහෙනං එන්නකෝ පුතේ. කෑම මේසෙට යවලා තියෙන්නේ. “

” හරි ආන්ටී..!” 

පිරුණු වටකුරු මුහුණ පුරා සුන්දර සිනහවක් නැඟූ ගැහැනිය තරප්පු පෙළ බැස පහත මහලට යන ආකාරය ඈ තව දුරටත් නිදන කාමරයේ ද්වාරය අසල සිට බලා සිටියාය. යම් තරමක තරබාරු සිරුරකට හිමිකම් කියූවද එකී පිරිපුන් ඇඟෙහි කාන්තා ලාලිත්‍ය නොමඳවම පිහිටා තිබුණි. හැඳ සිටි දිගු සායත් , ලා පැහැයක් ගත් බ්ලවුසයත් , තනි කරලට ගොතා නිතඹටත් පහලට වැටෙන සේ පිළිවෙළට පීරා තිබූ කොණ්ඩයත් , වටකුරු මුහුණ පුරා සෑම මොහොතකම ඇති සිනහවත් , ආදරණීය කතාවත් තරුණ යුවතියගේ ආගන්තුක හැඟීම බොහෝ දුරට අඩු කරවීමට සමත් වී තිබුණි. 

මුහුණ කට සෝදා අළුත් ඇඳුමක් ඇඟළා ගත් ඈ සෙමින් සෙමින් පහත මහලට අඩි තැබුවාය. ඒ වනවිටත් විජේසිංහ නිවසේ පුත්‍රයින් දෙදෙනාම නිවසට පැමිණ තිබූවත් ඒ පිළිබඳව හැඟීමක් නොවුණු ඈ කෑම කාමරය තෙක් ඇවිද ගිය  අතර ඒ වනවිටත් එහි අසුන් ගෙන සිටි උත්තුංග සිරුරැති තරුණයින් දෙදෙනා දැක එක් වරම ගල් ගැසුණාය. 

” හායි..! එන්න.. වාඩි වෙන්න..!” 

කෑම කාමරයේ ද්වාරය අසලම පාෂාණීභූතවී සිටි තරුණිය දුටු එක් තරුණයෙක් ඈ වෙත ලෙංගතු සිනහවක් පා තමා ඉදිරියේ වූ අසුන පෙන්වූයේය. 

” දුමී.. එන්න..!” 

ව්‍යංජන පිරවුමක් රැගෙන ආ මහීකා එය කෑම මේසයෙන් තබා තවමත් කෑම කාමරයේ ඉදිරිපස බලා හිඳින යුවතිය දැක කතා කළාය. ඉදින් ඈ සෙමින් සෙමින් අඩි තබා මහීකා වෙතත් , තමාට කතා කළ තරුණයා වෙතත් බලා දෙදෙනාටම සිනහවකින් සංග්‍රහ කරමින් ඔහු පෙන්වූ අසුන මත හිඳ ගත්තාය. 

” දුමී.. දූ..! මේ ඉන්නේ මගේ පුතාලා දෙන්නා. අඳුරගන්නකෝ. මේ මගේ ලොකු පුතා. අස්නක. මේ දෙවෙනියා අෂ්මිල. “

තවමත් ඈ දෙසට එකදු බැල්මක් හෝ නොහෙළා නිහඬවම ආහාර ගනිමින් සිටි තරුණයාගේ පළල් උරතලය මත අත තැබූ මහීකා පළමුව ඔහුවත් , දෙවනුව මිහිදුමී හා කතා බස් කළ තරුණයාවත් හඳුන්වා දුන්නාය. 

මනා කොට නඩත්තු කර ඇත්තාවූ දේහධාරී පෞරුෂයකට හිමිකම් කියමින් සහ මනා කඩවසම් බවකින් පූර්ණ වී සිටි මහීකාගේ වැඩිමහලු පුත්‍රයා ඔහුගේ හඳුන්වා දීමෙන් පසුවද ඈ වෙතට බැල්මක් නොහෙළූ අතර එකී උද්දච්ච ස්වභාවය පිළිබඳව හදවත පුළුටු කර ගත්තාවූ තරුණිය අෂ්මිල දෙසට හැරී නැවත සිනහවක් පෑවාය. 

” මොකද්ද නම කිව්වේ ?” 

” මං මිහිදුමී.. මිහිදුමී දම්සේයා මහවලතැන්න. “

ඈ පෙර පරිදිම අෂ්මිල වෙත ලෙංගතු සිනහවක් පෑවාය. 

” එතකොට ඩොක්ටර් භරණ මහවලතැන්න ?” 

” ඒ මගේ මාමා. අයියා දන්නවද මගේ මාමා ගැන ?” 

” ම්ම්.. මං අහලා තියනවා. “

ඔහු නැවතත් ඈ වෙත සිනහවක් පුදා වතුර වීදුරුවක් අතට ගත්තේය. 

” විශාඛා අක්කාට කෝල් එකක් දුන්නද දුමී ?” 

” කාලා ඉවර වෙලාම අම්මට කතා කරනවා ආන්ටි. “

” මේ එතකොට ඩොක්ටර් භරණ මාමා නං , ආන්ටි විශාඛා ..?” 

අෂ්මිල ප්‍රශ්නාර්ථ දෑසින් මව දෙසත් , මිහිදුමී දෙසත් මාරුවෙන් මාරුවට බැලූ අතර අෂ්මිලගේ ප්‍රශ්නාර්ථ බැල්ම ක්ෂණිකව වටහා ගත් මිහිදුමී යළිත් සිනහවක් පෑවාය. 

” විශාඛා මහවලතැන්නට අම්මා කියලා , එයාගේ පුතාට මාමා කියන එක නේද ? ඕක මුල් වතාවේ ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නයක් “

මහීකාගේ උවන ක්ෂණිකව අඳුරු වී ගිය අතර තරුණිය නැවතත් සිනාමුසු මුහුණක් පෑවාය. 

” මහවලතැන්න සර්නේම් එක තිබ්බට මං ඒ පවුලේ දරුවෙක් නෙමෙයි අයියේ. මං පොඩිකාලෙම මගේ තාත්තා නැති උනා. මට හිටියේ අම්මයි , අක්කායි විතරයි. ඒ දෙන්නත් මට අවුරුදු දහයක් විතර වගේ කාලෙදි නැති උනා. “

පළමු වරට මෙතෙක් නිහඬවම ආහාර ගනිමින් සිටි නිහඬ තරුණයාගේ තීව්‍ර දෙනෙත මිලි තත්පරයකට අෂ්මිල වෙත හැරී තිබූ කුඩා ස්ත්‍රී රුව වෙතට වැටුණේය. 

” මං හිටියේ ශොක් එකක. වචනයක් කතා කරගන්නත් මට සෑහෙන්න කාලයක් ගියා. මට ඒ කාලේ ට්‍රීට්මන්ට් කළේ භරණ මහවලතැන්න. අන්තිමට එයාලා මාව එයාලගේ දරුවෙක් විදිහට හදාගත්තා. විශාඛා අම්මට අම්මා කියන්නත් , භරණ මාමාට මාමා කියන්නත් පුරුදු උනේ ඒ නිසා. ඒ මිනිස්සු දෙයියෝ බුදුන් වගේ මාව ඒ පවුලේ කෙනෙක් කරගෙන, ඒ වාසගම දීලා තමන්ගෙම දරුවෙක් වගේ හදාගත්තු නිසා අද මං මෙතන ඉන්නවා”

සියල්ලම නොසඟවා පැවසූ කුඩා යුවතිය නෙතින් ගිලිහුණු කුඩා කඳුළු කැටයක් වහා පිස දැමූ අතර යළිත් වරක් නිහඬවම මුව තුළ වූ ආහාර පිඩ සපමින් සිටි තරුණ දෑස ඈ වෙතට විතැන් විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here