ගතව ගිය දින දෙක තුන ඇතුළත සිදුවූ එකම විශේෂිත දේ නම් සුභාවී සමඟ අදාල රජයේ ආයතන වෙතට ගොස් සින්දුමීගේ විවාහ සහතිකය ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි සපුරා දීමය. ගතව ගිය එකී දින කිහිපය පුරා හදවතේ වූ කළකිරීම හා වේදනාව හේතුවෙන්ම ඈ හැකි සෑම විටම ඔහුව මඟ හැරියාය. ආහාර මේසයෙන් ඔහු නැඟිට ගිය පසුව හෝ ඔහුට පෙර ආහාර ලබා ගන්නට හුරු වූ ඈ නිදන කාමරයට හෝ මුළුතැන්ගෙයට පමණක් යාම් ඊම් සිදු කළාය. සෑම දිනකම සඳලුතලයේ ද්වාරය හරහා හමා එන නිකොටින් ගන්ධයට ඉව අල්ලමින් තනිවම හීල්ලුවාය. මුහුණට මුහුණ අනපේක්ෂිතව නිවස තුළදී මුණ ගැසෙන සෑම අවස්ථාවකම උපරිමයෙන් ඔහු මඟ හැරියාය.
ඈ පසින් සියල්ල එසේ වද්දි ඔහුගේ පසින් කෙතරම් උත්සාහ දැරුවද කිසිවක් හෝ සාමාන්‍ය වූයේ නොමැත. ඈ නොමැති ආහාර මේසයේ ඔහු හිඳ ගත්තද වෙනදා තරම් ආහාරයක් කුසට වැටුණේ නැත. සිතාමතාම රාත්‍රියේ සඳලුතලයටවී දුම්වැටියක් ඉරුවද ඇගේ බැල්මක් හෝ ඒ දෙසට නොවැටුණි. බොහෝ අවස්ථාවන්වල සිතා මතාම ඈ ඉදිරියට අහම්බයෙන් මෙන් පැමිණියද ඔහු වෙත බැල්මක් හෝ නොහෙළූ හිතුවක්කාරිය ඒ සෑම මොහොතක්ම මඟ හැරියාය. දුරකතනයේ සටහන් කර ගත් ඇගේ අංකය මත බොහෝ වාරයක් දෑඟිලි එහා මෙහා දිවූවද ඔහු ආයාසයෙන් එකී සම්බන්ධතාවයද මඟ හරිමින් සිටියේය. කිසිදු දිනක හදවත තුළ නොවී විරූ ආකාරයේ දැවීමකින් සිත ගිලන්ව යද්දී තමා වෙත සිදුවන ප්‍රාතිහාර්ය කුමක්ද කියා වටහා ගැන්මට අපොහොසත් වූ තරුණයා තව දුරටත් ඇතුළාන්තයෙන් කැළඹෙමින් සිටියේය.
දස වසරකට පෙර ඇති කරගත්තාවූ ද , අහිමි කරගත්තාවූ ද බැඳීමක නාමයෙන් තම දිවියේ වටිනාම අවුරුදු කිහිපය ඒ වෙනුවෙන් උගස් කළ සිටි ඔහු යළි කිසි දිනක බැඳෙන්නට අපේක්ෂා නොකළ බැඳීමක හැඟීමකින් සිත යටින් පීඩා විඳිමින් උන්නේය. නිවස පුරා දිව යන , ගීත ගයන , සිනහ නහන කුඩා කිරිල්ලිය තමා , තමා මතම දමා තිබූ යදම් වැල් බිඳ දමා ඉදිරියට අඩි තබමින් සිටියාය. අත් හැරීමටත් නොහැකිව , ළං කර ගැනුමටත් නොහැකිව ඈ කෙරෙහි උපන් තණ්හාධික හැඟීමකින් ඔහු සිත පිරී ගොස් තිබිණි.
දෙමණ්ඩලයේ ආරවුලට හේතුව කුමක්ද කියා හොඳින් දැන ගත් මහීකා තම වැඩිමහලු පුත්‍රයාට පමණක් නොව අෂ්මිලටද බොහෝ සේ බැන වදිමින් සිටියාය.
” ඔයා තමයි ඔක්කොම කරන්නේ සුදු පුතා “
” මං මොනාද කළේ ? මමයෑ දිහස්ව දුමීව ගන්න කියලා කිව්වේ “
” ඔයානේ දිහස්ගේ අයිඩියා එක ගැන ලොකූ ඉස්සරම දුමීට කිව්වේ “
” ඉතිං අම්මා මං දන්නවද මේ යකා දිහස්ව කැම්පස් එක ළඟට යවයි කියලා. මුගෙත් පුදුම ලයින් එකක් තියෙන්නේ. ලොකූ ලොකූ කියලම මුගේ ලොකු කම වැඩියි. “
” ආන්ටී…!”
හදිසි කර්තව්‍යයක් නැතැයි කියූ දිනද සූදානම් වී පහත මහලට ආ මිහිදුමී දෙස මහීකා ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසින් බැලුවාය.
” කොහේ හරි යන්නද පුතේ ?”
” ලයිබ්‍රි එකට ගිහින් එන්නං ආන්ටී..”
” කේලිගේ කොන්සට් එක ?”
” මං එතනින් එහෙම්මම එන්නං ආන්ටී. “
” කමක් නැද්ද දරුවෝ. හදිස්සියක් නැත්තං මාත් එක්කම යන්න තිබුණනේ. “
” කමක් නෑ ආන්ටී. මං ඒ වැඩෙත් කරගෙන එතනින් ස්ටේඩියම් එකට එන්නං “
” හා .. එහෙනං බුදු සරණයි “
මහීකාගේ දෙපා නැමැඳ පිටව යන්නට සූදානම් වූ තරුණිය අෂ්මිල දැක මඳ සිනහවක් පෑවාය.
” සුදු අයියා අද නිවාඩුද ?”
” අද නයිට් එක හලෝ. කොහෙද යන්නේ ?”
” ලයිබ්‍රි එකට “
” ඔය යන්නේ ලොකූව මඟාරින්න “
ගෙමිදුලටත් බැස නොපෙනී යන තරුණිය දෙස බලා මහීකා පසුපස සිට පැවසුවාය.
” ඒ මොකෝ ?”
” මං අද උදේ ලොකූ යන්න කලින් මෙයාටත් ඇහෙන්නම කිව්වා මටයි , දුමීටයි කේලිගේ කොන්සර්ට් එකට යන්න ඕනේ , වේලපහා එන්න කියලා. ගෙදර හිටියොත් අපේ එකා එක්ක යන්න වෙන නිසා තමා ඔය ලයිබ්‍රියට ගිහින් එහෙම්මම එන්නං කියලා ගියේ. “
” හයියෝ.. නැන්දම්මයි , ලේලියි වගේනේ මුං දෙන්නා. කොහෙන් හරි ඇරියස් කවර් කරන්න බලන්නේ. “
” අපේ එකානං ඉතිං කොහොමත් ඉන්නේ නැට්ට ගිනි ගත්ත හනුමා වගේනේ. මේකත් ඉන්නවා ඒකටම ගැලපෙන්න තකට තක. “
අවසන් වාක්‍යය හමුවේ ඈටද නොදැනීම සිනහවක් පහළ වුණි.
” තේජ්ට කිව්වනං හරි. මොකක් හරි එකක් කරයි. “
” තේජ්ට ? තේජ් නෙමෙයි උඹ නිසා තමයි මුං දෙන්නා දෙපැත්ත බෙදිලා ඉන්නේ. උඹ තමයි කරන දෙයක් කරන්න ඕනේ. “
” ඔන්න ඉතිං ආයේ පටන් ගත්තා “
පුත්‍රයාට රැවූ මහීකා ගස්සාගෙන යළි මුළුතැන්ගෙය වෙතට ඇවිද ගියාය.
******************************************
සැදෑව ඉස්තරම්ය. සිතුවාටත් වඩා වෛවර්ණ වූ පොඩිත්තන්ගේ ලෝකය නෙත් සිත් පිනවන සුළුය. විවිධ ප්‍රසංගයට වඩා කේලිගේ සිත තිබුණේම මිහිදුමීගේ උකුළට වී සිටින්නටය. ඒ නිසාම සියලුම අංගයන් වෙනුවෙන් ඈ සූදානම් කළේද , හැඩ ගැන්වූයේද මිහිදුමී විසින්ය.
” මං මාර බයේ නංගි හිටියේ. ගිය අවුරුද්දෙ කොන්සර්ට් එකේදිත් මේ විදිහට ඔක්කොම වියදම් කරලා ඔක්කොම කරලා තිබිලත් මේ කෙල්ල එක අයිටම් එකකටවත් ගියේ නෑ. පැත්ත වැටිලා අඬ අඬා හිටියා. මේ පාරත් ඒකම වෙයි කියන බයෙන් මං හිටියේ. අද උදෙත් මං ඕක මතක් කළාම කිව්වා දුමී අක්කි එනවනං මං අඬන්නෑ කියලා. මේ ටිකේම මං දාහක් පොරොන්දු දීලා ඔයාව එක්කන් එනවා ඇඬුවෙ නැත්තන් , හරියට ඩාන්ස් කළොත් දුමී අක්කි බලන්න එක්කන් යනවා වගේ බොරු දාහක් කියලා තමයි අද වෙනකන් ලෑස්ති කරගත්තේ. “
මිහිදුමීත් , උමන්දාත් නොයෙක් දෑ කතා බස් කරමින් සිඟිත්තිය සූදානම් කරමින් සිටින අතරතුර තේජ්ව පසෙකට කැඳවූ මහීකා විසල් කතාවකට මුල පිරුවාය.
” මොකද්ද අනේ කේස් එක ?”
” සෑහෙන්න බරපතල එකක් “
” සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්ද ?”
” ඊඊඊ.. උඹට බොන්න තිබ්බොත් , වෙන මුකුත් ඕන්නෑ “
විසල් හඬකින් සිනාසුණු තේජ් නැවතත් මහීකා කතාවට හරිබරි ගැසී අසුන් ගත්තේය.
” හරි හරි දැන් කියන්නකෝ..”
” පොඩි මඟුල් තුලා ඔත්තුවක් “
” අම්මටසිරි . කාටද ? “
” අපේ ගෙදට්ටම තමා.. “
පිළිතුරු දීමට පෙර මුව විසල් කරමින් මහීකා දෙස බලා සිටි තේජ් වේගයෙන් ඇසිපිය සැළුවේය.
” මේ හෙටානිද්දා පොඩි එකාගේ කසාදේ කරන්න ලෑස්ති වෙද්දි ඔයා ඔහොම මඟුල් නටන්න තියාගත්ත එකනං වැරදියි මිසිස් විජේසිංහ ඈ..”
” මොකක් ? පිස්සුද බූරුවෝ ?”
ගිනියම් වූ දෙනෙතින් මහීකා තේජ් වෙත කඩා පැන්නාය. විසල් කරගත් මුව පුරා සිනහවක් නැඟු ඔහු දෙවුරද සලමින් නොනවත්වා සිනහ වූයේය.
” නැත්තන් ඉතිං..? පොඩි එකාටත් මඟුලක් තීන්දු වෙලා තියෙද්දි ආයේ මඟුල් කතා කරන්නෙ කාටද අනේ..?”
” ඇයි මගේ ලොකු එකා ?”
” අනේ අම්මේහ්.. මේ..”
එවර ඔහු දෝතම පා ඈ වෙත වැන්ඳේය.
” ඔයාට කසාදයක් බඳින්න ඕනෙ නං කියන්න මං වෙන ලෝකෙකින් හරි ගැලපෙන කෙනෙක් හොයලා ගෙනත් දෙන්නං. ලොකුවා ගැනනං මැරිලා ඉපදුණා වගේ කතා කරන්නෙපා හොඳේ.. “
” අයියෝ..හරි හරි බං ඉතිං.. අඩුම ගාණේ කෙල්ල කවුද කියලා හරි අහපන්කෝ..”
මහීකා එවර බොරු නෝක්කාඩුවක් පෑවාය.
” ආ.. කියන්නකෝ.. කවුද ?”
” මිහිදුමී..”
” අනේ.. මේ ආන්ටී.. ඔලුව කොහෙහරි වැදුණද ? නැත්තන් ඔයාට මොකක් හරි අසනීපයක්ද ? මුහුදේ ඉන්න මාළුවෙක්ව ගොඩට අරන් ඌට ඔලිම්පික් දුවන්න පුරුදු කරනවා වගේ අපේ එකාට කසාදයක් කතා කරලා ඒ මදිවට අර අහිංසක කෙල්ලවත් ඒකට පටළවන්නේ ?”
” අනේ තේජ්.. ! මං විහිළුවක් නෙමෙයි කරන්නේ . මුලින්ම කියන දේ අහලා ඉන්නවකෝ. මිහිදුමීගේ හිතේ ලොකූ ගැන අදහසක් තියනවා. “
” seriously ..?”
” හ්ම්ම්…!”
එවර තොල් පට නොපිටට පෙරළා ගත් ඔහු නැවතත් ඉවත බලා ගත්තේය.
” ගෙවිච්ච අවුරුදු ගාණට ඌට අකමැති වෙච්ච එක කෙල්ලෙක් හිටියද ආන්ටි ? ඒත්.. ඒ එකකටවත් මූ කැමති උනාද ? ඔය සබ්ජෙක්ට් එකේදී ඌයි , අපියි කොයි තරම්නං මරාගෙන ඇද්ද ? මිහිදුමීගේ හිතේ අපේ එකා ගැන එහෙම දෙයක් තියනවනං පව් ඒ කෙල්ල.. දැන්ම කියන්න වෙන අතක් බලා ගන්න කියලා. “
” වෙන එකක් උනානං මාත් මේක ගැන කතා කරන්න තියා , මේක ගැන දණිස්සෙන් උඩට ගන්නෑ තේජ්. ඒත්.. ලොකුගේ ඇස් වලත් මිහිදුමී ගැන මොකක්දෝ දෙයක් මට දැනෙනවා. මං ජීවිතේ කවදාවත් එයාගේ ඇස් වලින් එහෙම දෙයක් දැකල නෑ..”
” මොකක්..?”
පමණට වඩා විසල් වූ ස්වරයට වහා වටපිට බලා යළි මහීකා දෙසට හැරුණු තේජ් ගොලු වූ මුවින් මොහොතක් ඈ දෙස බලා සිටියේය.
” දැන් ඔයා කියන්නේ මට ඔය කතාව විශ්වාස කරන්න කියලද ?”
විසල් සුසුමක් හෙළූ මහීකා ඔහුගෙන් දෑස ඉවතට ගත්තාය. මඳ වේලාවකින් ඈ දෑසින් ගලා ගිය කඳුළක් පිසනු දුටු ඔහු එක් වරම තිගැස්සී ගියේය.
” ආන්ටී…!”
” ඒ මගේ පණ ටික තේජ්. මගේ දරුවා. ඉස් ඉස්සෙල්ලම මගේ කුසින් වදාපු මගේ දරුවා. ඒකාගේ වෙනසක් මට නොදැනී වෙන කාට දැනෙන්නද ? මට මේ ගැන ඔයයි , සුදු පුතයි ඇරෙන්න වෙන කතා කරන්න කෙනෙක් නෑ.. “
ඈ නැවත වතාවක් කොපුලක් මතට වැටුණු කඳුළු බිඳුවක් පිසළුවාය.
” ආන්ටීට ඕක හොඳටම ශුවර්ද?”
” හ්ම්ම්.. ඒත්.. මූ තාමත් ඉන්නේ හැඟීම් දැනීම් නෑ වගේ. “
” මෙච්චර අවුරුදු ගාණක් ගිහිල්ලත් ඌ අර කෙල්ලව අමතක කරලා නෑ..”
” ප්‍රශ්නේ ඒකම නෙමෙයි තේජ්. ලොකූ කියන්නේ පුදුම ego එකක් තියන කොල්ලෙක්. අම්මපා.. මුගේ ලොකුකම වැඩියි අනිත් ඔක්කොටම වඩා. අර කැම්පස් එකේ ගෑනු ළමයාව අමතක කරලා දැම්මත් , මූ දැන් ඉන්නේ තව එෆෙයාර් එකකට යන්න හිත නම්මගන්න බැරුව. ඌ හිතන් ඉන්නේ කෙල්ලෙක් එක්ක එෆෙයාර් පටන් ගත්තොත් උගේ තත්වෙට හරි නෑ කියලා. මං දන්නැද්ද මගේ එකානේ ඉතිං..”
එවර මහීකා වේදනාව වෙනුවට කෝපයෙන් මුව ඇද කළාය.
” ඒකා කවදාවත් මේක එළියට දාන්නෑ තේජ් , පපුව ඇතුළට අත දාලා වෙන කවුරුහරි ඕක එළියට ගත්තොත් ඇරෙන්න.. “
” හ්ම්ම්.. ! එහෙනං ඉතිං අපි ඒක කරමු. “
මහීකා විසල් කරගත් දෑසින් තරුණයා දෙස බැලුවාය.
” ලොකුවගෙ හොඳට කරන්න පුලුවන් දෙයක් තියනවනං අපි මකර කටට හරි පනිමු අනේ.. බය වෙන්නෙපා.. ඕන දේකට මං ඉන්නවා.. “
සැනසුම් සුසුමක් හෙළූ මහීකා එවර මඳ මන්දස්මිතයක් පෑවාය.


