පසළොස්වක මල් – 37

0
351

” ලෙක්චර්ස් කීයටද ?” 

පළමුවර පිළිතුරක් නොලැබුණු පැනයම ඔහු දෙවන වතාවටත් විමසුවේය.

“එකොළහට “

” යං මං ඇරළවන්නං “

” එපා. ඔයා බිසීනේ. මං ට්‍රයි ශෝ එකක් ගන්නං “

” මීෂාට බිසී කිව්වේ ගිහිල්ලා ඇරළවන්න ඕන නිසා. ඒ හින්දා යං “

එතනින් පසු වදන් කිසිවක් නොබිනූ ඔහු මේසය මත වූ ජංගම දුරකතනයත් , යතුරු කැරැල්ලත් රැගෙන ඈ දෙස බැලුවේය. එකී නිහඬ බැල්මේ අරුත තවත් විවාදයකට හෝ තර්ක කිරීමකට ඉඩක් නොමැති බැව් ඇඟවීම බව තේරුම් ගත් ඈ දෙකොපුල් දෝතින්ම පිස දා පොත් බෑගය දෙවුරෙහි එල්ලා ගත්තාය.

කාර්යාල ප්‍රධානියා ප්‍රධාන කාර්යාලයෙන් පිටතට බට සැණින් එහි සිටි සේවකයින් කිහිපදෙනා හිඳ උන් අසුන් වලින් නැඟී සිටියද ඒ කිසිවක් මායිම් නොකළ ඔහු ඉදිරියට ඇවිද ගියේය. 

” යන්නං “

” හොඳයි මිස්. “

පිළිගැනීමේ කවුන්ටරයේ සිට පෙර කතා බස් කළ තරුණියටද සමුදුන් මිහිදුමී නිහඬවම ඇවිද යන ඔහු පසුපසින් දිගු අඩි තබමින් දිව ගියාය.

” අන්කල් ගිහින් එන්නං “

” දෙයියන්ගේ පිහිටයි මිස්. “

ආරක්ෂක නිලධාරියාටද සමුදුන් ඈ විගසින් දිව ගොස් ඔහු පණ ගන්වා සිටි මෝටර් රථයට ගොඩ වූවාය.

” කාලද ඉන්නේ ?” 

නුගේගොඩ සිට විජේරාම දක්වා යන අතරතුර ඔහුගෙන් ලද පළමු පැනය එය විය.

” ආන්ටී කෑම එකක් දුන්නා. ලෙක්චර් එක ඉවර වෙලා කනවා. “

ලැජ්ජාව , වේදනාව හා  ශෝකයද පිරී ඉතිරී ගිය උවනින් ඈ කවුළුවෙන් පිට බලාම පිළිතුරු ලබා දුන්නාය. අතරමඟ සුපිරි වෙළඳ සැලක් අසල මෝටර් රථය නතර කළ ඔහු නිහඬවම ඉන් බැස වෙළඳ සැල තුළට ඇවිද ගියේය. මිනිත්තු කිහිපයක් ගතව ගිය තැන යළි පැමිණ අතෙහි වූ කඩදාසි බෑගයක් පසුපස අසුනෙන් තබා යළි මෝටර් රථය පණ ගන්වා ගත්තේය. 

සුළු කාලයක් ඇතුළත විශ්ව විද්‍යාලය අසල නතර කෙරුණු මෝටර් රථයේ රියදුරු අසුනේ වූ ඔහු පෙර රැගෙන ආ කඩදාසි බෑගය ඇගේ උකුළ මත වූ පොත් බෑගය මතින් තැබුවේය. ප්‍රශ්නාර්ථයක් මතු වුවද එය ඇසීමට හෝ එකී උවන දෙස බැලීමටද නොහැකිව ළත වුණු ඈ සෙමින් බෑගය විවර කළාය. කඩදාසි බෑගය තුළ වූ මිලාධික චොක්ලට් බහාලුම දුටු ඇගේ විසල් වූ දෑස ඈටද නොදැනීම ක්ෂණිකව ඔහු දෙසට විතැන් විය. නමුත් අසුරු සැණකින් ඕ එය වහා ඉවත් කර ගත්තාය.

නිවැරදිනම් දැන් තමා මින් බැස යා යුතුය. නමුදු නිහඬවම එසේ සිදුකිරීමට හදවතින් ඉඩක් නොලැබුණු කළ ඈ නිහඬවම පොත් බෑගය පොඩි කරමින් සිටියාය.

” පරක්කු වෙන්නැද්ද ?” 

මිනිත්තු කිහිපයක්ම ගෙවී අතර තව දුරටත් මෝටර් රථය තුළ කල් මරමින් උන් ඈ දෙස බැලූ ඔහු විමසා සිටියේය.

” සොරි..” 

කෙඳිරිලි ස්වරයෙන් එලෙස පැවසූ ඈ තවමත් පැළැඳ උන් ආසන පටිය ගලවා දැමුවාය.

” යන්නං “

නැවත වතාවක් කෙඳිරිලි ස්වරයක් පිට වුණිද බැල්මක් හෝ ඔහු වෙතට නොවැටුණි. ඈ පොත් බෑගයත් , කඩදාසි බෑගයත් අතට ගෙන මෝටර් රථයේ ද්වාරය විවර කරන්නට සැරසුණාය. නමුත් ක්ෂණිකව රළු හස්තය ඇගේ සියුමැලි අතැඟිලි අතර දැවටුණේය. විසල් වූ හුස්මක් ඉහලට ගත් තරුණිය තම අතැඟිලි සියල්ල සන්තකයට ගෙන උන්නා විසල් හස්තය දෙස වෙව්ලන දෑසින් බලා වහා කවුළුවෙන් පිටත බැලුවාය. තදට පියවුණු දෑසට ඉනූ නොවැළැක්විය හැකි අන්දමේ කඳුළු බිඳු රාශියක් පොඩිව මිරිකී කොපුල මතට වැටිණි. තදකරගත් තොල්පටින්ද , හදවත තුළින් මතුවන සීරුමක වේදනාවද රඳවාගත් වැළපෙන දෑස අතැඟිලි පටළැවුණි දෑත දෙස හෝ කඳුළු වසා ගත් උවන හෝ දෙස නොබලා කවුළුවෙන් අනෙක් පස දෙස බලා සිටියේය.

සන්තකයම උදුරා දැමූ කල දැනෙන ස්පර්ශය කෙතරම් සුවදායික වුවද ඉන් පසුව නැඟෙන අමිහිරිම කටුක සත්‍යයට මුහුණ දීමට හෝ තවත් රිදවා ගැනීමකට ඉඩක් නොදෙනිමියි යන අදිටනින් දස වසරක හැඟීම් කොටු කර , සිර කර ගත් ප්‍රතාපවත් තරුණයා පිටතට පිට කර ගත නොහැකි රළු හා දුක්ඛිත හැඟීම් රාශියකින් ඇතුළාන්තයෙන් පීඩා විඳිමින් සිටියේය. අත හැර දැමිය යුතු වුවද අත හැරිය නොහැකි බැඳීමක වේදනාව හදවතට දැනෙන්නේ අනන්ත අප්‍රමාණ ස්වර පරාසයකින් වුවද හදවත පසාරු කර ඉහලට මතු වන්නාවූ ලෝබකාරී හැඟීම් කිසිවක් අත හැරීමට ඉඩක් නොදෙන්නේය.

කාලයට වේගයක් ඇත වුවද , නිහඬතාවයට මිම්මක් නැත. ගණනය කළ නොහැකි කාලයේ වේගයත් , නිහඬබවේ තීව්‍රතාවයත් දරාගත නොහැකි වූ ඔහු තවමත් ඉවත බලා ඉකි බිඳින ඈ දෙසට යන්තමින් තම දෑස විතැන් කළේය. රෝස පැහැ පිරුණු කොපුල පුරා වියැළී ගිය කඳුළු රටා මත අලුතින් තව තවත් රටා මැවෙමින් ඇත. හෙමින් සීරුවේ පැළැඳ උන් ආසන පටිය ගලවා දැමූ ඔහු විසල් සුසුමක් හෙළා ඈ වෙතට හැරුණේය.

” දුමී…!” 

වචනය මුවින් පිටවුණාද යැයි ඔහුට සැක සහිතය. උගුර තුළින් නැඟ ආ ගොරෝදය වචනය පැහැදිලි නොකළේය. තව දුරටත් අසරණිය හැඬවීමේ පාපයෙන් මිදෙනු වස් ඔහු සෙමින් පැටළුණු දෑත මුදා ගැනීමට සැරසුණේය. නමුදු ලිහිල් වී ගිය රළු අතැඟිලි පෙරට වඩා තදින් සියුමැළි අතැඟිලි තම ග්‍රහණයට හසු කර ගත්තාය. 

” දුමී..!” 

නැවත වතාවක් ඔහු මුවින් එකී නාමය පිටවූ අතර එයටද කිසිදු ප්‍රතිචාරයක් නොපෙන්වූ ඈ දිගටම ඉවත බලා සිටියාය. තව දුරටත් එකී කඳුළු පිරි උවන දෙසට ළං වූ ඔහු ඒ දෙස එක එල්ලේ බලා සිටියේය.

” ඔයාට පරක්කු වෙනවා..” 

සුරුස් හඬින් නාසය ඉහලට ඇදුණා විනා එයටද පිළිතුරක් නැත. ඒ වෙනුවට කඳුළු පිරි උවන සෙමින් ඔහු දෙසට හැරිණි.

” එ.. එයාට තියන ආදරෙන් චූට්ටම චුට්ටක්වත් මට දෙන්න බැරිද ?” 

වේගයෙන් සැළුණු වැළපෙන දෑස වහා ඉදිරිපස මාර්ගය වෙතට විතැන් විය. නැවත වතාවක් නිහඬබවක් මිස වචනයකට ඉඩ නොලත් මෝටර් රථය තුළ වූ හිස් අවකාශය පවා පමණට වඩා බරැති බවක් පෙන්නුම් කළේය.

” එයා එන්නේ නෑ , නැති වෙලා කියලා දැන දැනමත් , ඔය තරම්ම දෙන ආදරෙන් චූටිම චූටි හැඟීමක්වත් මට දෙන්න බැරිද අයියේ ? මං වරදක් කරලා නෑනේ ?එහෙම එකේ ඔයාට විතරද රිදෙන්නේ ? මට රිදෙන්නෙ නැද්ද ? ඔහොම මූණ දිහාවත් නොබලා ඉන්නකොට මට රිදෙන්නෑ කියලා හිතනවද ? මට මේවා එපා. මට කිසි දෙයක් එපා. මට ඔයාගෙන් එක රුපියලක වටින දෙයක් එපා. අනිත් හැමෝම එක්ක හිනා වෙලා කතා කරන්න පුලුවන් එකේ ඇයි මට විතරක් එහෙම නොකරන්නේ ? ඇයි මාව මේ තරමටම මඟාරින්නේ කියන්නකෝ. ? මං කාත් කාවුරුවත් නැති කෙල්ලෙක් නිසාද ? මේ තියෙන්නේ පිනට හම්බෙච්ච ජීවිතයක් නිසාද ?” 

” දු.. දුමී.. පිස්සු හැදිලද ? මොනාද මේ කියවන්නේ ?” 

කලබල දෑස ඔහු දෙසටම වැටී උන් අසරණ උවන මත එහා මෙහා දිව්වේය.

” එක.. එක හොඳ හේතුවක් කියන්නකෝ.. මාව එපා කියන්න එක හොඳ හේතුවක් කියන්න. “

හැඳ උන් තද කළු පැහැ කමිසය එක අතකින් පොඩි කරමින් ඈ නැවත වතාවක් ඔහු ඉදිරියේ පින්සෙණ්ඩු වූවාය. සෙමින් හිස පහත් කළ ඔහු ඇගේ නළල මත නොරිදෙන අන්දමට තම නළල් තලය තැබුවේය.

” මුරණ්ඩු වෙන්නෙපා මැණික.. හොඳ ළමයා වගේ දැන් කැම්පස් එක ඇතුළට යන්න. ඔයාට පරක්කු වෙනවා. “

” මට බෑ.. “

” ඔය ඉතිං ?” 

” මට බෑ.. මට ගෙදර යන්න ඕනේ.. “

තවමත් කඳුළු වැගිරෙන දෑස සහිතව ඉකි ගැසූ ඈ මුරණ්ඩු ස්වරයකින් පැවසුවාය.

” ජීවිතේ විනාස වෙයි දරුවෝ .. කියන දේ අහන්න..!”

” කමක් නෑ..” 

” ඇයි මෙච්චරම අඬන්න කැමති ?” 

” පුරුදු දේනේ. අනේ මං දරාගන්නං “

” මට මේ දේවල් වලට ඉක්මනට හැඩ ගැහෙන්න බෑ ළමයෝ..”

” මං බලන් ඉන්නං. කොච්චර කාලයක් උනත් කමක් නෑ. මං ඉන්නං.. “

” නැති ප්‍රශ්න වෙයි දුමී. අවුරුදු දහයක් තිස්සේ මං තනි ජීවිතේකට හුරු වෙච්ච මිනිහෙක්. ඒකේ බෙදාගන්න දෙයක් දැන් නෑ. මගෙන් වැරදි වෙයි , අඩුපාඩු වෙයි. ඒව සැරින් සැරේට ඔයාට දැනෙයි. ඊට පස්සේ ඔයාටම රිදෙයි. හැමදේම ඉක්මනින් හදාගන්න බෑ. “

” කිව්වනේ බලන් ඉන්නං. කොයි කාලයක් උනත් කමක් නෑ. අනේ.. සමන් දෙයියනේ…! මං ඔයාට හරි ආදරෙයි…!” 

” දු…” 

වචනයක් පිට වීමට පෙරම ඈ එකී විසල් පපුතුරේ උවන තද කර ගත්තාය. සිටි වනම මිනිත්තු කිහිපයක් රැඳිව උන් ඔහු තදින් තම දෑස පියා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here