වේගයෙන් දුව ආ මිහිදුමී මෝටර් රථයට ගොඩ ව වේගයෙන් හුස්ම ඉහල පහල යැව්වාය. වෙව්ලන දෙතොලින් වදනක් හෝ මුමුණා ගැනීමට නොහැකි වූ තරුණිය හිඳි මෝටර් රථයට ගොඩ වූ සුභාවී වහා ඇගේ දෑතින්ම අල්ලා ගත්තාය.
” අනේ.. නංගි..! ප්ලීස්.. ! රිලැක්ස් වෙන්න..!”
කඳුළු පිරි දෙනෙතින් තවමත් වේගයෙන් හුස්ම ඉහල පහල යවමින් උන් තරුණිය දෙස දරාගත නොහැකි අනුකම්පාවෙන් බැලූ සුභාවී විගසින් තම දෙනෙත මත ඇති කඳුළු බිඳු පිසදා දැමුවාය.
” අක්… අක්කේ.. අ.. අක්කේ.. එ.. එහෙම .. එහෙම කොහොමද උනේ ? අනේ.. නෑ අක්කේ.. එ.. එහෙම වෙන්න බෑ.. අනේ බෑ අක්කේ.. අනේ.. බෑ.. අනේ.. මට කියන්නකෝ.. එහෙම වෙන්න.. එහෙම වෙන්න බෑ නේද ?”
සුභාවීගේ දෝතම තදින් අල්ලා ගත් මිහිදුමී මෝටර් රථය දෙදරවා යන තරමට කෑගසමින් හැඬුවාය.
” අනේ.. දරුවෝ..!”
විගසින් ඉදිරියටවිත් ඈ තදින් වැළඳගත් සුභාවී ඈ වෙනුවෙන් කිසිවක් පැවසිය යුතුද යන්න තීරණය කර ගත නොහැකිව ගොලු වී උන්නාය.
හෝරා ද්විත්වයකට ආසන්න කාලයක් එක දිගට හඬා වැටුණු තරුණිය තවත් හෙළීමට කඳුළු නොමැතිව ගල් ගැසී උන්නාය.
” නංගී..! ඔයාව කන්ට්‍රෝල් කරගන්න නංගි . වෙලා තියන දේවල් අපිට ආපස්සට හරවන්න පුලුවන් දේවල් නෙමෙයි.. මේ වැඩේ පටන් ගනිද්දිම ඔයාට ආන්ටි විශාඛා වගේම මාත් කිව්වා මොන මොන දරුණු දේවල් වලට මූණ දෙන්න වෙයිද දන්නෑ කියලා. ඔයා මේ බැස්සේ ගැඹුර දන්නෙවත් නැති මුහුදකට නංගි. තවත් කල් තියනවා අනේ අපි මෙතනින් හැරෙමු.”
” දැන්.. දැන්.. මං කොහෙටද අක්කේ හැරෙන්න ඕනේ. ? මට දැන් හැරෙන්නවත් පාරක් ඉතිරි වෙලා නෑනේ ? අනේ.. මං එයාට හරි ආදරෙයි අක්කේ. ජීවිතේ පළවෙනි පාරට මනුස්සයෙක්ට ආදරේ කළා. මං කොහොමද අක්කේ දන්නේ ඒ මනුස්සයා කසාද බැඳලා හිටියේ මගෙම අක්කව කියලා ? මගේ අක්කා වළෙන් නැඟිටලා ඇවිල්ලා මට හෙණ ඉල්ලයි අක්කේ.”
සැඳෑ අඳුර ක්‍රම ක්‍රමයෙන් ගලා එන කාර්ය බහුල පරිසරයේ ඒ මේ අත දුවන අනේක ජනයා මැද හුස්ම නොවැටෙන මළ කඳක් සේ උන් තරුණිය දිගටම සුභාවිගේ උර මත හිස තියා සිටියාය.
” නංගි..! මේ අහන්න..! මේක අපි කියවන නවල් එකක්වත් , බලන ෆිල්ම් එකක්වත් නෙමෙයි. මේ ලෝකේ මිනිස්සු ඕන තරම් ඉන්නවා කසාද බැඳලා ,දික්කසාද වෙන. ඒ වගේම දෙපාරක් නෙමෙයි ඊට වැඩි පාරක් හරි ආයේ කසාද බඳින මිනිස්සු ඉන්නවා. දරු මල්ලෝ හැදුවට පස්සෙත් කසාද අතාරින මිනිස්සු ඉන්නවා. අනික ඔය වගේ සිද්ධිත් ඕන තරම් තියනවා නංගි. ඔයා මේ ගැන හිතනවා වැඩියි. මුලින්ම රිලැක්ස් වෙන්නකෝ.. පොඩ්ඩක් ඉන්න. “
ඈ ඉන්පසුව අත් බෑගයේ වූ වතුර බෝතලයක් අතට ගෙන තරුණිය වෙතට දිගු කළාය.
” මේක බොන්න.. “
නිහඬවම එය අතට ගත් මිහිදුමී හිස ඔසවා වතුර උගුරක් පානය කළාය.
” මං කසාද බැඳපු මිනිහෙක් මිහිදුමී. එයා කාලෙකට කලින් නැතිඋනා. කියලා කියද්දිත් ඒ එකක්වත් ගලපලා බලන්න මට මොළයක් තිබ්බේ නැති හැටි අක්කේ. “
” නංගි..! මේ අහන්න.! පළවෙනි දේ.. අස්නක මැරි කරපු කෙනෙක් කියලා ඔයා දැනගෙන හිටියා. ඒ කෙනා නැති වෙලා බවත් ඔයා දැනත් හිටියා. ඒත් ඒ සිංදුමී බව ඔයා දැනන් හිටියේ නෑ. අස්නක මැරි කරපු කෙනෙක් කියලා දැනගන්නත් කලිනුයි ඔයා එයාට ආදරේ කරන්න පටන් ගත්‍තේ. අන්න ඒ නිසා මේ වෙච්ච දේවල් ඔයාටම වැරැද්ද පටව ගන්න එක නතර කර ගන්න නංගි. එතන ඔයාගේ කිසිම වරදක් නෑ.
අනිත් කාරණේ.. අපි මේ දේ ගැන හෙව්ව නිසාම මේ ගැන දැනගත්තා. ඔයා කවදාවත්ම සිංදුමීට වෙච්ච දේ හෙව්වේ නැත්තන් මේ ගැන ලේසියකට දැනගන්නේ නෑ නේද ? අනික මේ කාරණේ මහා ලොකුවට ගන්න එපා නංගි. අක්කා අස්නකව මැරි කළා කියලා මොකෝ ඒ දෙන්නා එකට ජීවත් වෙලාවත් නෑනේ ? අස්නකම පැහැදිලිව කිව්වා නේද එයාගේ මැරේජ් එක ගැන අම්මා , අෂ්මිල තියා යාලුවෙක්වත් දන්නෑ කියලා ? එතකොට ඒ ගැන දන්නෙත් ඔයයි , එයයි විතරයි.
භරණලා කවදාවත් සිංදුමී ගැනවත් , ඔයාගේ පරණ පවුලේ අය ගැනවත් කතා කරන්න කැමති නෑනේ. භරණට වගේම විශාඛා ආන්ටිටත් ඔයා එයාලගේ දුව. ඉස්සර වෙච්ච දේවල් හැම එකක්ම නරක හීනයක් කියලා ඒ ගොල්ලො අමතක කරලා දාලා ඉවරයි. මං ඔයාටත් කියන්නේ මේ දේවල් දැන් ඇති නංගි. තව දුරටත් මේ දේවල් හොයන්න එපා. ඔයත් මේ හැමදේම නරක හීනයක් කියලා හිතලා අමතක කරලා දාන්න. අස්නකට කවදාවත් ඕනෙ නෑ එයා කසාද බැඳපු කෙනෙක් කියන එක ලෝකෙට කියන්න. ඔයාටත් අස්නක කසාද බැන්ඳේ කාවද කියන එක අනවශ්‍ය කාරණයක් කියලා හිතලා අමතක කරන්න නංගි. සිංදුමී වගේම මින්දුලාත් දැන් අතීතේ කොටස් විතරයි. මේ ලෝකේ ජීවතුන් අතරවත් නැති මිනිස්සු නිසා තමන්ගේ සතුටයි , ජීවිතෙයි නැති නාස්ති කරගන්න එපා නංගි. ප්ලීස්..!”
තනියම යන්නට හැකි බව කොතරම් පැවසුවද සුභාවි විජේසිංහ නිවසේ ගේට්ටුව අභියස තරුණියව නවතා ගියේ දහසකුත් අවවාද රැසක් දීමෙන් අනතුරුවය. කෙතරම් හිතට ධෛර්යයක් ගෙන පැමිණියද ගෙමිදුලේ පසෙක නතර කර ඇති ඔහුගේ මෝටර් රථය දුටු සැණින් ඒ සියල්ල දියාරු වී වැටිණි. හදවතේ රිදුම සිරුරටද බෝ වී ඇත්තා සේ ය. දෙකකුලින් පටන් ගන්නා වේදනාව මුළු සිරුරම අඩපණ කරමින් හිස් මුදුනින් පිටව යන්නාක් සේ ය. මහීකාගේත් , සරෝජාගේත් කටහඬ මුළුතැන්ගෙය දෙස ඇසින් ඇසෙන්නේ ඔවුන් රාත්‍රී ආහාරය පිසිනවා විය යුතුය. අපහසුවෙන් පා තබමින් තරප්පු පෙළ නැඟ ආ ඈ පොත් බෑගය මේසය මතම අත හැර නාන කාමරය තුළට වැදුණාය. ගිනි ළන්නාක් මෙන් සිරුරෙන් මතුවන දැවීම නිසාම ඈ බොහෝ වේලාවක් වතුර මල යට හිස අල්ලා සිටියාය.
” දුමී..! දුමී..! “
” ආ.. ආන්ටී.. මං වොශ් රූම් එකේ..”
” කොයි වෙලේද දරුවෝ ආවේ ?”
” දැන් ආවේ ආන්ටී.. “
” පරක්කු උනේ ඇයි දරුවෝ ? හතරටනේ ලෙක්චර්ස් ඉවර වෙනවා කිව්වේ. ඔයාට කෝල්ස් කීයක් ගත්තද ? එකක්වත් ආන්සර් කළේ නෑ. දැන් හයත් පහුවෙලා. “
මිහිදුමී නාන කාමරයෙන් පිටතට එන තෙක් හෝ ඉවසා සිටීමට නොහැකි වූ මහීකා චෝදනා පත්‍රයක් දිග හැරියාය. ඈ සේම නිදන කාමරයෙන් පිටත වූ රෞද්‍ර දෑසද එකදු දුරකතන ඇමතුමකට හෝ පිළිතුරු නොදී , පමණට වඩා ප්‍රමාද වී නිවසට පැමිණි තරුණිය කෙරෙහි කෝපයෙන් පිරෙමින් සිටියේය.
” මං සුභාවී අක්කා එක්ක පොඩ්ඩක් එළියට ගියා ආන්ටි.. “
වතුර මල යට සිටම ඈ උස් හඬින් මහීකා වෙත පිළිතුරු බැන්ඳාය.
” හ්ම්ම්.. එහෙනං වොශ් එකක් දාන් එන්නකෝ..”
මහීකා නිදන කාමරයෙන් පිටතට ගිය බව දැනුණු මිහිදුමී තව දුරටත් නාන කාමරයේ බිත්තියට වාරු වූවාය.
බොහෝ වේලාවක් එලෙසම සිටි ඈ නාන කාමරයෙන් පිටතට පැමිණ සැහැල්ලු ඇඳුමක් ඇඟ ළා තෙත කොණ්ඩය කෙටි තුවායකින් ඔතා ගත්තාය. කෙතරම් වේලා වතුර මල අසල සිට ගෙන සිටියද ඵලක් නොවුණි. සිරුර අභ්‍යන්තරයෙන් හට ගන්නා පිළිස්සුම් සහගත දැවීමේ නිමාවක් නොවීය. දෑසින් මෙන්ම හිස් මුදුනින්ද ගිනි ජාලා පිටවනවා සේ ය.
බොහෝ වේලාවක් සඳලුතලයේ එහා මෙහා ඇවිදමින් උන් කෝපාවිෂ්ට තරුණයා ඈ නිදන කාමරයෙන් පිටතට එන තෙක් ඇඟිලි ගනිමින් සිටියේය. ඉන්පසුව ඈ සෙමින් සෙමින් තරප්පු පෙළ බැස පහත මහලට යනු දැක ඔහුද ඒ පසුපසින් තරප්පු පෙළ බැස්සේය.
” දුමී..!”
ගොරෝසු කටහඬ සවන පිනවූයේ නැත. ඒ වෙනුවට එය හදවත යළි යළි පාරා දැමුවේය. හිස ඔසවා ඔහු දෙස බැලීමට හදවතේ චකිතයක් ඉපිද ඇත. එකී උවන දෙස කෙලින් බැලීමට ශක්තියක් නොමැත. සිටි තැනම නතර වූ ඈ ඔහු දෙසට නොහැරීම තොල් පට සපා ගත්තාය.
” කොහෙද ගියේ ?”
හැරීමකට කිසිසේත් ඉඩක් නොවුණි. ඔහු දෑස ඉදිරියෙන්ම සිට ගත්තේය.
” සු.. සුභාවි අක්කත් එක්ක එළියට ගියා. “
හිස ඔසවා ඔහු දෙස නොබැලු ඈ කෙඳිරිලි ස්වරයකින් පිළිතුරු බැන්ඳාය.
” මොන මඟුලක ගියත් ෆෝන් එක ආන්සර් කරන්න බැරිද ?”
ගෝරනාඩුව තවත් උච්ච වූ අතර එහි හඬ ඇසුණු මහීකාද වහා ආලින්දයට දිව ආවාය.
” ලොකූ.. ! ඇයි මේ ?”
” ෆෝ.. ෆෝන් එක බෑග් එක තිබ්බේ.. “
” හදිස්සියකට ආන්සර් කරගන්න බැරි ඔය ෆෝන් එක විසික් කරලා දානවා පාරකට. කී පාරක් කෝල් ගත්තද ? මෙතන මිනිස්සු බය වෙනවා කියල දන්නැද්ද ?”
” ලොකූ..!”
” බොරුද අම්මා කියන්නේ ?”
ඊලඟට ඔහු හැරුණේ මහීකා වෙතටය.
” කැම්පස් එකේ ගේට්ටුව ගාවටම ගිහිල්ලා ඇරලුවට පස්සෙ , ආයේ එක්කන් යන්න එන්න ඕනේ කීයටද අහන්න දහ පාරක් විතර කෝල් ගත්තා. මං හිතුවා හවස් වෙනකන් ලෙක්චර්ස් කියලා. එයා එයාගේ ගමන් ගිහින්. “
ඔහු එසේ පවසා යළිත් ඈ වෙත හැරුණේය. මුවට නැඟි සිනහව වළක්වා ගත් මහීකා තොල් පට තද කර ගත්තාය. නමුදු තත්පරයක් හෝ ගත වූයේ නැත. එතරම් වේලා ආයාසයෙන් සිට ගෙන දරා සිටි තරුණිය තමා ඉදිරියේ උන් තරුණයාගේ සිරුර මතටම කඩා වැටුණාය.


