පසළොස්වක මල් – 23

0
293

නිවසට ගොඩ වූ ඇසිල්ලේ සිට කඳුළු වගුරවමින් උන් තරුණිය තමන් කුමන වේලාවක නින්දට වැටුණාදැයි වැටහීමක් නොවුණාය. පසුදිනට එළිය වැටුණද නාඳුනන්නෙකුගේ අප්‍රසන්න ස්පර්ශයකට වඩා ගැහැනු හදවත අප්‍රමාණව සෝ සුසුම් සැළුවේ බලාපොරොත්තු නොවූ ඔහුගේ ගෝරනාඩුව යළි යළිත් මතකයට නැඟෙන බැවින් ය. ඉදින් ඈ දිගටම එකී වේදනාවෙන් ගැලවීමට නොහැකිව සිටියාය. බොහෝ වේලාවක් දෑස හැර හිස් බැල්මකින් ඔහේ බලා සිටියද යහනෙන් නැඟිටීමට හෝ උවමනාවක් ඈ හට නොවූවාය.  කල්පනාබර හැඟුම් දහසක් අතරේ දුරකතනයේ හඬට තිගැස්සී ගිය ඈ වහා දුරකතනය අතට ගත්තාය.

” හෙලෝ.. මාමේ..!” 

” මොකද්ද දුමී උනේ ?” 

සුසුමක් හෙළුණා විනා පැනයට පිළිතුරු දීම ආරම්භ කිරීමට මුව විවර නොවුණි. 

” මාමේ.. මේ.. මං..” 

” මොළයක් කියලා දෙයක් නැද්ද දුමී ?” 

එවර භරණගේ ගෝරනාඩු ස්වරයද ඇයව ඇතුළාන්තයෙන්ම අවුළුවා දැමුවේය.

” මාමේ.. මං කියන දේ…”

” මට මුකුත් අහන්න ඕනේ නෑ දුමී. වෙච්ච හැමදේම මං දන්නවා. යන තැනක කරදරයක් දාගන්නැතුව ඉන්න තේරෙන්නෙම නැද්ද දුමී..?” 

නැවත වතාවක් දෑසින් කඳුළු බිඳු පේළියක් රූරා වැටුණු අතර කිසිවක් පැවසීමට උත්සාහ නොගත් තරුණිය තදින් තොල්පට සපා ගත්තාය. 

” පිරිසක් එක්ක ජීවත් වෙද්දි හැමතිස්සෙම අපිට ඕන ඕන විදිහට ජීවත් වෙන්න බෑ දුමී. අපි කරන කියන හැම දෙයක්ම හිතන්නෙවත් නැති විදිහට තවත් මනුස්සයෙක්ට විනාසයක් ළං කරලා දෙන්න පුලුවන් . ඒක ඔය මොළේට තේරෙන්නේ නැද්ද ? “

” අනේ.. මාමේ.. ! මං හිටියේ අම්මා එක්ක කෝල් එකක මාමේ. “

” මං ඒකත් දන්නවා. කතා කළේ අම්මානං මොන කෙහෙල්මලකටද දුමී ෆෝන් එක උස්සන් හතර වටේ ඇවිද්දේ. ඔයාට ටේබල් එකෙන් නැඟිටලා යන්න උවමනාවක් නෑනේ? එහෙම ගිය නිසා නේද ඔය කරදරේ දා ගත්තේ. ? ඔයා ටේබල් එකේ හිටිය විදිහටම ඉඳගෙන හිටියානං ඔය කරදරේ වෙන්නෑ නේද ? ඔය ප්‍රශ්නේ ඔතනින් ඉවර වෙච්ච නිසා හොඳට ගියා. නිකන් හරි ඔය ගුටි කාපු එකා ගිහින් හොස්පිට්ල් ඇඩ්මිට් උනානං එහෙම ? එහෙනං මිසිස් විජේසිංහගේ පුතා මෙලහට පොලීසියේ. පහරදීමකට පොලීසියෙන් අල්ලන් ගිහිල්ලා, උසාවිත් දාලා , අන්තිමට දවස් දාහතරකට වි‍තර ඒ කොල්ලට හිරෙත් යන්න වෙනවා. ඒකත් පැත්තකින් තියමු. හිතට ආපු කේන්තියට ගහපු පාරක් වැරදිලා අරූ මැරුණනං ? වෙන දේ ඔයාට හිතාගන්න පුලුවන්ද දුමී ?” 

” සමන් දෙයියනේ.. මාමේ..!” 

තව දුරටත් කතා කරගත නොහැකි වූ ඈ එක දිගට ඉකි ගසමින් හඬා වැටුණාය. 

” දැන් ඉතිං ඇඬුවයි කියලා වැඩක් නෑ. දෙයක් නැති කරගත්තට පස්සේ ඒක නැති උනේ කොහොමද කියලා හේතු හොයලවත් , ඒක නැති වෙච්ච දුකට පෙරළි පෙරළි ඇඬුවත් වැඩක් නෑ දුමී. අපි දැනගන්න ඕනේ අපි ලඟ තියන දේවල් නැති කර නොගෙන ඉන්න. අපි දැනගන්න ඕනේ අපි නිසා කාටවත් කරදරයක් නොවෙන විදිහට ජීවත් වෙන්න. ඕක තව ටිකක් හරි දුර දිග ගියානං අද ඔය ගෙදර මිනිස්සුන්ට මාරුවෙන් මාරුවට පොලීසියටයි , උසාවියටයි , හිර ගෙදට්ටයි දුවන්න වෙනවා නේද ? සැලකිල්ලෙන් වැඩක් නොකළාම සිද්ධ වෙන පාඩුව තේරුම් ගන්න පුලුවන්ද දුමී ? පොතේ දැනුමෙන් විභාග පාස් කරලා මොන උපාධිය ගත්තත් වැඩක් නෑ දුමී , ජීවත් වෙන තියරිය දන්නැත්තං. “

එක දිගට එසේ පවසමින් ගිය භරණ සමුගැනීමකින් තොරවම දුරකතන ඇමතුම විසන්ධි කර දැමුවේය. 

වෙනදාට මේ ලෙස නිදන කාමරයට වී සිටියහොත් කිහිප වතාවක්ම පැමිණ කතා බස් කොට යන මහීකා අද එක්වරක් හෝ තමා වෙත පැමිණියේ නැත. එසේ නම් භරණ සේම ඈද තමා හා ඇත්තේ අමනාපයකිනි. ඔහු පැවසුවා සේම ගැටළුව මීට වඩා දුර දිග ගියේනම් අද විජේසිංහ කුටුම්භය අවුල් ජාලාවක් වනු නියතය. 

” මේ කෙල්ල උපන්නෙම මූසල කම අතින් අරගෙන. යන තැනකට වගතුවක් නෑ. “

අතීතයේ කන වැකී තිබූ බොහෝ කර්කශ වදන් යළි යළිත් ඇගේ හදවත අවුළුවා දමද්දී බොහෝ වේලාවක් කඳුළු වගුරවමින් සිටි ඈ නැවතත් ජංගම දුරකතනය අතට ගත්තාය .

*****************************************

” චූටි නෝනා නැඟිට්ටද ?” 

නිශ්ශබ්දතාවයෙන් පිරී ගොස් තිබූ නිවසේ මුළුතැන්ගෙහි සිටි එකම ප්‍රාණියා වූ සරෝජා මුව මත සිනහවක් තවරා ගෙනම ඇගෙන් විමසුවාය. 

” ඔව් සරෝජා නැන්දා. ආන්ටිලා ගෙදර නැද්ද?” 

” ලොකු නෝනාගේ අම්මට අසනීපයි කියලා උදේ පණිවිඩයක් ආවා. ලොකු නෝනායි , සුදු මහත්තයයි එහෙ ගියා. අස්නක මහත්තයත් එයාර්පෝට් ගියා. ලොකු නෝනා මඟින් මඟටම කියලා ගියේ නෝනාට ඇති වෙනකන් නිදාගන්න දෙන්න , කතා කරන්න එපාය කියලා. ඉතිං මං උඩට ආවේ නෑ. තේ එකක් හදන්නද ? බත්ම කනවද නෝනේ ? “

යන්තමින් සැනසුම් සුසුමක් හෙළිණි. මෙතෙක් වේලා මහීකා තමා පිළිබඳව අමනාපයකින් ඇතැයි සිතා සිටි සිතුවිල්ල එතැනින්ම දිය වී ගියේය. නමුදු තවත් පැනයක් හදවතේ ඉතිරිය.

” එයාර්පෝට් ගියා කිව්වේ ?” 

” අපේ නෝනාගේ අයියාගේ දුව , මීෂා නෝනා එනවා අද. එයාව ගේන්න ගියා. ඒ නෝනාත් චූටි කාලේ ඉඳන් අපේ අස්නක මහත්තයයි , සුදු මහත්තයයි එක්කම තමා හැදුණේ. පස්සෙ කාලෙක නෝනේගේ අයියා අපේ අස්නක මහත්තයට , මීෂා නෝනාව ජෝඩුත් කළා. ඒත් අපේ මහත්තයා ඒකට කැමති උනේ නෑ. දැන් අවුරුද්දකට විතර කලින් මීෂා නෝනා එයාගේ අයියා ලඟට ගියා එංගලන්තේ. අද ඔය ආයෙම එනවා. “

තව තවත් අලුතින් කරදර හැදෙනවා විනා එකකට හෝ විසඳුමක් නොලැබෙන බව දැනුණු තරුණියට විසල් සුසුමක් හෙළුණාය. 

” ආන්ටිලා එන්න හවස් වෙයිද ?” 

” ඔව්. චූටි නෝනා. හැන්දෑ වෙයි “

හෝරාවක් පමණ එකල මෙකල වෙවී සරෝජා හා මුළුතැන්ගෙහි රැඳෙමින් කතා බස් කරමින් සිටි මිහිදුමී නැවත වතාවක් උඩු මහලට වැදුණාය. ඉන් පසුව එක දිගට හෝරා කිහිපයක්ම පාඩම් කටයුතු වල නිරත වීමට උත්සාහ ගත්තද පෙර දින වූ සිදුවීමේ සෙවනැළි විටින් විට මතකයට නැඟීමෙන් ඈ හට එයද නිසියාකාරව කර ගැනීමට බාධා ඇති විණි. සැඳෑ අඳුර වටින් ගොඩින් නිවසට ඇතුළු වද්දී සිරුරේ මෙන්ම සිතෙහිද තිබූ කෙඩෙත්තු ගතිය පහව යනතුරු ස්නානය කළ ඈ යළි පහල මහලට එන විට මහීකා හා නිවසේ තරුණයින් දෙදෙනාම කෑම මේසය අසල අසුන් ගෙන සිටියහ. 

” දුමී..! මේ හැන්දෑවේ නෑවද ? මං රූම් එකට ආවා. ඔයා වොශ් රූම් එකේ නිසා ආයේ හැරිලා ආවා. එන්න… ! අපි ආප්ප ගෙනාවා. එන්න කාලා  , තේ බොමු. “

මහීකා පෙර දින සිදුවීමේ කිසිදු ජායා මාත්‍රයක හෝ මතකයක් නොමැති අයුරින් පෙර වූ ලෙංගතුකමින්ම තරුණිය ආමන්ත්‍රණය කළාය. 

” ඔන්න අද නං රෑ කෑම ටික ඉතුරු වෙනවා. “

සරෝජා නෝක්කාඩුවක් නඟමින් මඳ සිනහවක් පෑවාය.

” දුමී.. වාඩි වෙන්න..!” 

තවමත් සිට ගෙන බලා හිඳිනා තරුණිය දෙසට හැරුණු අෂ්මිල එසේ පවසා වතුර වීදුරුවක් අතට ගත්තේය. ඔහු වෙත පෙරළා මඳ සිනහවක් පෑ ඈ නිහඬවම දෑස ඔසවා ඔහුට අනෙක් පසින් හිඳ උන් තරුණයා දෙස බැලූවද පුරුදු පරිදි ඔහු ඈ වෙත බැල්මක් හෝ නොහෙළා හිස පහත් කරමින් ජංගම දුරකතනය වෙත දෑස යොමු කරමින් සිටියේය. ඔහුගේ මඟ හැරීම සේම පෙර දින රාත්‍රියේ තමා වෙත බැණ වැදුණු ආකාරය සිහි වීමෙන් විසල් සුසුමක් අත හැරි ඈ යළිත් මහීකා දෙසට හැරුණාය. 

” ආන්ටී…! “

” ඕ.. පුතේ කියන්න..!” 

” මේ.. මේ.. කැම්පස් එකේ යාළුවෙක් ඉන්නවා. නාවින්නේ පරණ පාරේ කියලා කිව්වේ. “

කිසිදු ප්‍රාණවත් බවකින් තොර වූ ඇගේ කටහඬ මන්ද ස්වරයක් ගත් අතර විටින් විට වෙව්ලීමකටද ලක් වී තිබිණි. 

” එ.. එයා ඉන්නේ බෝඩිමක. මේ.. මං.. අද.. . මේ කතා කළා. එතන තව කෙනෙක්ට ඉඩ තියනවලු. මං කිව්වා ආන්ටී හෙට උදේට මං එන්නං කියලා. අද රෑ විතරක් ඉඳලා මං හෙට උදෙන්ම යන්නං ආන්ටී. “

අවසන් වාක්‍ය හමුවේ දෙනෙතින් නැවතත් කඳුළු බිඳුවක් රූරා වැටුණු අතර ඈ එය වහා පිස දැමුවාය. තුෂ්නිම්භූතවූ අෂ්මිලත් , මහීකාත් වචන රහිතව තත්පර කිහිපයක් ඈ දෙස බලා සිටියදී රක්ත වර්ණ ගැන්වු වැළපෙන දෑස තව දුරටත් ජංගම දුරකතනයටම එබී සිටියා විනා ඉන් ඉවතට නොවැටුණේය. 

” ඒ.. ඒ මොකටද ? දැන් ඇයි ඔයා මෙහෙන් යන්නේ ? කවුරු හරි ඔයාට අපේ ගෙදර ඉන්නෙපා කිව්වද ? නැත්තන් අපි අතින් ඔයාට මොකක් හරි අඩුපාඩුවක් , වරදක් උනාද ? “

හිඳ උන් තැනින් නැඟිට ආ මහීකා වචන පැටළෙමින් කඳුළු පිරි වතින් බලා සිටින තරුණියගෙන් ප්‍රශ්න කළාය. ඇගේ කලබලය හමුවේ තරුණිය වහා ඇගේ සුරත තම දෝතින්ම අල්ලා ගත්තාය. 

” නෑ.. නෑ.. ආන්ටී.. ! එහෙම මුකුත් උනේ නෑ. මට ඔයාලගෙන් කිසිම වරදක් උනේ නෑ. ඒත්.. එක දිගට මං මේ ගෙදර හිටියොත් මං නිසා ඔයාලට වරදක් වෙයි ආන්ටී. ඒ හින්දා මං නිසා ඔයාලට තවත් ප්‍රශ්න නොවෙන්න මං මෙහෙන් යන්නං. “

මහීකා විසල් කරගත් දෙනෙතින් ඈ දෙස බලා හිඳ යළිත් පුත්‍රයන් දෙදෙනා දෙස බැලුවද තුෂ්නිම්භූතව සිටිනා අෂ්මිල හැරුණු කොට වැඩිමහලු පුත්‍රයාගේ බැල්මක් හෝ ඈ වෙත නොවැටුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here