මිනිත්තු කිහිපයක් ගත වන තැන සුභාවීගේ ගේට්ටුව අභියස නැවතුණු මෝටර් රථයේ උන් තරුණිය ආයාචනාත්මක බැල්මකින් භරණ දෙස බැලුවාය. එකී බැල්මේ තැවරී ඇත්තේ යළිත් හැරී යන ලෙසට කරන ඉල්ලීම බව හොඳින් වටහා ගත් ඔහු එය මායිම් නොකරම ඉදිරිය බලා සිටියේය. විවර වූ ගේට්ටුවෙන් ඇතුළට පිවිසි මෝටර් රථය ගෙමිදුලේ නතර කරනු ලැබීය. සිනා මුහුණක් පුරවා ගනිමින් වැරැන්ඩාවට ඇවිද ආ තරුණිය දුටු මිහිදුමී මෝටර් රථයෙන් පිටතට බැස ඈ අසලට අඩි තැබුවාය.
” කාත් එක්කද ආවේ ? අස්නක එක්කද ?”
සුභාවීගේ පැනයට පිළිතුරු ලෙස නැත යැයි හිස දෙපසට සළා ඉඟි කෙරූ මිහිදුමී යළිත් හැරී මෝටර් රථය දෙස බැලුවාය. සුළු මොහොතකට පෙර මඳ කිපුණු නාලාගිරියෙකු සේ ගෝරනාඩු කරමින් , කඩා බිඳගෙන පැමිණි භරණ වැරැන්ඩාවේ උන් තරුණිය දුටු වනම හිඳි රියදුරු අසුනේම පාෂාණීභූතව සිටියේය. හදවත තුළ එතෙක් පැවති කෝපාවිශ්ට ස්වභාවය සැණෙකින් දුරුව ගොස් තිබූ අතර පිටතට බැසීමට පා ඔසවා ගත නොහැකිව ඔහු තව දුරටත් රථය තුළම කල් මැරුවේය.
” කවුද නංගි ආවේ..?”
පිළිතුරක් නොලදම දෑස මෝටර් රථයට යොමා උන් සුභාවී ඉන් පිටතට බට තැනැත්තා දුටු වනම තදින් මිහිදුමීගේ අත අල්ලා ගත්තාය. අඩියෙන් අඩිය තමා දෙසට ඇවිද එන ඔහු වෙතින් වෙව්ලන දෑස අපහසුවෙන් ඉවතට ගත් ඈ මිහිදුමී වෙතට හැරුණාය.
” ගෙ.. ගෙට යං..”
වචන මුවින් පිට වූවාද සැක සහිතය. නමුදු ඈ නිහඬවම නිවස තුළට ඇවිද ගිය අතර බර කර ගත් හිසින් මිහිදුමීද ඈ පසුපස වැටුණාය.
” ව.. වාඩි වෙන්න.. නංගි.. “
වෙව්ලන ස්වරයෙන්ම මිහිදුමී දෙස බලා පසෙක උන් සෝපාව පෙන්වූ ඈ ප්‍රධාන ද්වාරයෙන් ඇතුළට වන් ඔහු දෙසට පසුපස හරවා ගත්තාය.
” මො.. මොනවද බොන්නේ.. ? මේ.. මං.. මං .. ඔයාට තේ එකක් හද හද හිටියේ.. ඒ.. ඒකත් අරන් එහෙ යන්න හිටියේ.. මො.. මොනාහරි බොමුද.. ? සුප් එකක් හදන්නද ? ආහ්.. නෑ.. නෑ.. මං ඔයාට සුප් එකක් හද හද හිටියේ. දැන් දැන් බොන්න තේ එකක් හදන්නද ?”
” වතුර එකක්..”
සුභාවිගේ පැටළෙන වචන අවසන් වීමට පෙරම ඈ පසුපස හැර වූ ඔහුගේ හඬ ගැඹුරුව ඈ දෙසට ඇදුණේය.
” ආ.. ?”
” වතුර එකක්.. මුලින්ම වතුර එකක් බීලා ඉන්න.. ඔයා.. “
සිදු වූ අපහසුතාවය නිසාම ලැජ්ජාවෙන් හිස හකුළුවා ගත් සුභාවී වහා කෑම මේසය අසලට ගොස් පුරවා ගත් වතුර වීදුරුවක් එක හුස්මට පානය කළාය. ඉන් පසුව විසල් හුස්මන් කිහිපයක්ම එක දිගට ඉහලට හා පහලට හෙළමින් යන්තමින් තමාවම සන්සුන් කර ගත්තාය.
සුභාවී යළි ආලින්දය කරා එන විටත් මිහිදුමී හිඳ උන් සෝපාවට ඉදිරියේ තිබූ සෝපාවට බරව උන් භරණ දුරකතන තීරය වෙත මුහුණ ඔබා සිටියේය. නිහඬවම පැමිණ ඈ මිහිදුමී අසලින් අසුන් ගෙන ඇගේ අතකින් අල්ලා ගත්තාය.
” අසනීප තියාගෙන ඇයි ආවේ ළමයෝ..?”
” මං ගෙදර යනගමන් අක්කේ. “
” රත්නපුරේ..?”
” හ්ම්ම්.. “
තමා දෙසට බැල්මක් හෝ නොහෙළා ආයාසයෙන් මිහිදුමී දෙසට හැරී ඈ සමඟම කතා බස් කරමින් උන් තරුණිය දෙස එක එල්ලේ බැලූ භරණ අතැති ජංගම දුරකතනය ටීපෝව මත තබා දෑතම තම ළය මත බැඳ ගත්තේය.
” දොස්තර නෝනා රහස් පරීක්ෂක වැඩ කරන්න පටන් ගත්තේ කොයි කාලෙද ?”
බොහෝ දුරට අතුරුදන්ව ගොස්ව තිබුණද තවමත් ඉතිරිව ඇති මඳ කෝපය පමණට වඩා දිග හරිමින් භරණ ඈ දෙස එක එල්ලේ බලා සිටියේය . ඔහුගේ හඬින්ම නැවතත් තැති ගත් ඈ විසල් සුසුමක් හෙළා මිහිදුමී දෙස බැලුවාය.
” මේ ඉන්නේ පොඩි කෙල්ලෙක් සුභාවී.. පොඩි එකීගේ මෝඩකම කියලා අතෑරලා දාන්නැතුව එකා එකාගේ මරණ සහතිකයි , කසාද සහතිකයි හොයන්න රට වටේ දුවන්න තමුන්ට පිස්සුද ?”
” මං.. මං.. කළේ උදව්වක් විතරයි. “
” කුණු ගොඩවල් අවුස්සගත්තම ගඳ ගහනවා කියන එක මේ කෙල්ලට තේරුම් කරවන්න බැරි උනාද ?”
ඔහුගේ හඬ පෙරටත් වඩා උස් ස්වරයක් ගත්‍තේය.
” ඒ දරුවා හෙව්වේ ඒ දරුවාගේ අක්කාගේ මරණේ ගැන මිස්ටර් මහවලතැන්න . “
යන්තමින් මෝදුවී එන කෝපය හමුවේ ඈ මිස්ටර් මහවලතැන්න යන වචනය තවත් බර කොට පැවසූ අතර එකී වදනටම භරණගේ හදවතේ වූ කෝපය තවත් වැඩි විය.
” එයාට අක්කලා නෑ. එයාට ඉන්නේ මාමෙකුයි , අම්මා කෙනෙකුයි විතරයි. ඒ කෙල්ල මෝඩියෙක් උනාට තමුන් එහෙම නෑනේ ? මොළයක් කියලා දෙයක් තියන නිසානේ අද ඔය වගේ රස්සාවක ඉන්නේ ? “
මඳින් මඳ කෝපය වැඩි වෙමින් උන් සුභාවී එවර එක එල්ලේ ඔහු දෙස බැලුවේය.
” ඒ දරුවට තිබ්බෙ ප්‍රශ්නයක්. එයා ඒකට උත්තරයක් හෙව්වා. ඒක වැරදි වැඩක් නෙමෙයි. “
” මොකටද ? අවුරුදු ගාණකට කලින් පොළොවට පස් වෙලා ගිය මළ කුණු උඩට ඇදලා ගන්නේ මොකටද ? කාට ප්‍රයෝජනේකටද ? ඒකෙන් මේකෙන් දැන් වෙලා තියන විනාසේ පේනවනේ ? දැන් මේ අසනීප හැදිලා ෆේන්ට් වෙලා වැටෙන්න තරමට මෙයා වීක් උනේ ඇයි ? ඔය කෙහෙල්මල ගැන හොයපු නිසානේ? අනික අස්නකටත් තිබ්බනේ මේවා ගැන හොයන්න ? ඒ වගේ එකෙක් තමන් කසාද බැඳපු කෙල්ලට මෙහෙම දෙයක් උනාම ලේසියෙන් අතෑරලා දායි කියලා හිතනවද ? නෑ.. ඌට මොළයක් තියෙන්න ඇති කුණු ගොඩවල් උඩට ඇදගෙන ආයේ ආයේ ගඳ ගස්සගන්න ඕන නෑ කියලා ඌ උනත් හිතන්න ඇති. ප්‍රශ්න කියන දේවල් ඉබේ එන්නෑ. අපි ගිහිල්ලා ඒවා බලෙන් ඇඟේ දාගත්තොත් මිසක්. ඌට පුලුවන් උනානං , මට පුලුවන් උනානං , තව දුරටත් මේවා හාරා හාරා හොයන්න ගියොත් සිද්ධ වෙන්නේ තවත් ප්‍රශ්න වැඩි වෙන එක කියලා තේරුම් ගන්න , ඇයි තමුන්ට බැරි එහෙම දෙයක් තේරුම් ගන්න ? පිරිමියෙක්ට තියන මොළෙන් බාගයක්වත් ගෑණු වෙච්ච තමුන්ලට නැද්ද ?”
” මා.. මාමේ.. ! සු.. සුභාවි අක්කා මේ වැඩේ ගැන ඔය විදිහටම මට දේවල් කිව්වා. ඒත්.. මගේ උවමනාවටයි එයා මට උදව් කළේ..”
කෝපයෙන් පුපුරන භරණ දෙස බලා මිහිදුමී නිදහසට කරුණු ගොනු කළාය.
” ඔයා.. ඔයා ඇයි උත්තර බඳින්නේ මේවට ? ඔයාට ඕන දෙයක් කරන්න ඔයාට අයිතියක් තියනවා. ඔයා කෙල්ලෙක් නංගි. ඒක අමතක කරන්නෙපා. පිරිමි වගේ ප්‍රශ්නයක් දැක්ක තැන පැනලා යන්න ගෑනු අපිට බෑ. මහ ලොකුවට ඇත්තු වගේ හිටියට පිරිමි දන්නේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඒකෙන් පැනලා ගිහින් කොහේ හරි මුල්ලක හැංගෙන්න විතරයි. එතනින් එහාට ඒ ප්‍රශ්නෙට මොකද උනේ ? තමන් එක්ක ඒ ප්‍රශ්නෙට මූණ දීපු අනිත් අයට මොකද උනේ ? තමන්‍ට ආදරේ කරපු , තමන්ව විශ්වාස කරලා හැමදේම කැප කරපු මිනිස්සුන්ට මොකද උනේ කියලා හිතන්නේ නෑ. මහ ලොකු පිරිමි. අර පොඩි උන් වගේ කවුරුහරි හප් කියපු ගමන් ගිහිල්ලා අම්මගේ ඔඩොක්කුවේ හැංගෙනවා වගේ කොහෙට හරි ගිහින්න හැංගෙන්න විතරයි දන්නේ. අනිත් උන්ට හෙණ ගහලා ගියත් කමක් නෑ. “
” සුභාවී…!”
පමණට වඩා කෑගැසූ භරණ හිඳ උන් අසුනෙන් නැඟී සිටියේය.
” ඇයි කෑ ගහන්නේ ? ආ.. ? ඇයි කෑ ගහන්නේ ? මං බය වෙන්න ඕනෙද ? ඔයාගේ කෑ ගැහිල්ලට මං බය වෙන්න ඕනෙද ? “
සුභාවීද හිඳ උන් අසුනෙන් නැඟී සිට පෙරට වඩා වේගයෙන් කතා කළාය.
” අනේ.. අක්කේ.. !”
වහා නැඟිට ගත් මිහිදුමී ඇගේ අතේ එල්ලුණු අතර කොපුල වෙත කඩා වැටුණු කඳුළු ගංගාවක් කිසිදු බාධාවකින් තොරව සුභාවීගේ උවන මතින් ගලා ගියේය.
” දැන් සතුටුයිද භරණ ? ආ.. ? දැන් සතුටුයිද ? දැන් ලෝකප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක්නේ ? මිනිස්සු ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වලට උත්තර හොයන එකට භරණ. ඒත්.. ඔයා.. ඔයා හැමදාම කළේ ප්‍රශ්න වලින් පැනලා ගිය එක. ඒ ගිහිල්ලා ඔයා ඔයාගේ ජීවිතේ ලස්සනට ගොඩ දා ගත්තා. ඊට පස්සේ ඔයාව විශ්වාස කරලා හිටිය ගෑනිට මොකද්ද උනේ කියලා හෙව්වද? පිරිමියෙක්ට ආදරේ කරලා , ඒ පිරිමියා එක්කම නිදි වැදලා එයා ඉතුරු කරලා ගිය ප්‍රශ්න වලට ඒ ගෑනු දරුවොත් එක්ක තනියම උත්තර හොයනවා. හිතන්න එපා ඔයාලට වගේ අපිට ඒවයින් පැනලා යන්න පුලුවන් වෙයි කියල. අපි ගෑනු භරණ. අපිට ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ. අන්තිම වෙනකන් හරි අපිට ඕන උත්තර හොයන්න. නංගී… !”
විසල් කර ගත් දෙනෙතින් වේගයෙන් කතා කරමින් උන් සුභාවී දෙස තුෂ්නිම්භූතව බලා සිටින භරණගෙන් දෑස මුදවා ගත් ඈ එවර මිහිදුමී දෙසට හැරුණාය.
” ප්‍රශ්නයක් තියනවනං උත්තර හොයාගෙන මිසක් අතාරින්න එපා නංගි. ඔයාට උදව්වක් ඕනේ ඕනම වෙලාවක මං ඉන්නවා. මං ප්‍රශ්න වලට බයේ පැනලා යන බයගුල්ලියක් නෙමෙයි . ඔ.. ඔයාට සුප් එකක් හැදුවා. අරන් එන්නං බොමු “
දෑසින් වැගිරුණු කඳුළු බිඳු දෑතින්ම පිසදා ගත් ඈ භරණ වෙතට බැල්මක් හෝ නොහෙළා මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය.


