” දුමී..! දරුවෝ..! ඔයා කියන දේ මට තේරෙන්නෑ.. මොකක්ද ඔයා කියන්නේ ? “
” පුංචි කාලේ ඉඳන් මගේ තාත්තාගේ පැත්තේ නෑයෝ කියන කතාව ඇත්ත ආන්ටී. මං ඉපදුණේම වැරදි වෙලාවක. මං ඉපදිලා තියෙන්නෙම කරදර ගොඩක් අරන්. මං යන තැන මිනිස්සුන්ට වෙන්නෙත් මං නිසා කරදර විඳින්නමයි. ඒ නිසා කාත් එක්කවත් එකට නොඉඳ මං තනියම ඉන්න එක හොඳයි ආන්ටී. “
මහීකා නැවත වතාවක් පුත්‍රයන් දෙදෙනා දෙස බැලුවාය.
” ඔයා ඔය කතා කරන්නේ ඊයේ සිද්ධිය ගැනද දුමී ? “
ඈ හිස සළමින් ඔව් යැයි පැවසුවාය.
” මගෙනේ වැරැද්ද ආන්ටී. ඒ කතා කළේ අම්මා. වෙන කවුරුවත් නෙමෙයි. මගේ කතාවෙන් ආන්ටිලට ඩිස්ටර්බ් වෙයි කියලා හිතලයි මං ටේබල් එකෙන් නැඟිටලා ගියේ. ඒත්… කවුද හිතුවේ එහෙම දෙයක් වෙයි කියලා. “
ඈ නැවත නැවතත් කඳුළු වැගිරෙන දෙකොපුල පිසදා දැමුවාය.
” අනේ.. දරුවෝ..! බලන්නකෝ පුතේ මෙයා..”
මහීකා මාරුවෙන් මාරුවට ඈ දෙසටත් පුත්‍රයින් දෙදෙනා දෙසටත් දෑස කැරකවූවාය.
” පිස්සු විකාර වැඩ කරන්නෙපා දුමී. ඔයා නෙමෙයි වෙන ඕන ගෑනු ළමයෙක්ට එහෙම තැනකදි ඒ වගේ දෙයක් උනා උනත් ඕනම පිරිමියෙක් හැසිරෙන්නේ එහෙම තමා. එතන ලොකූ හිටියත් , තේජ් හිටියත් , මම හිටියත් සමහර වෙලාවට ඔයාගේ මාමා හිටියත් එච්චරයි. තමන් ගැන ඔය තරම්ම අඩු වටිනාකමකින් හිතන්න එපා දුමී.. “
අෂ්මිල පැවසූ කතාවට හිස සොළවා එකඟ වූ මහීකා යළි තරුණිය වෙත හැරී ඇගේ හිස පිරිමැද්දාය.
” විශාඛා අක්කයි , භරණයි ඔයාගේ පවුලේ අය කියලා හිතනවා වගේම අපිවත් එහෙම හිතන්න බැරිද දුමී ? අපිව ඔයාට පිට අය වගේ දැනෙනවද ?”
” සමන් දෙයියනේ.. ! නෑ ආන්ටී.. මං කවදාවත් එහෙම හිතලා නෑ. “
” එහෙනං ඉතිං මොනාද ? බලන්න..! ඇස් දෙකත් එක්ක රතු වෙලා. කම්මුල් දෙක ඉදිමිලා වගේ අඬලා අඬලම. ගිහිල්ලා හොඳ දරුවා වගේ මූණ සෝදන් එන්න. ඊට පස්සේ අපි කමු. ආයේ මේ ගෙදරින් යනවා කියන කතා බෑ. අපි කවුරුත් ඔයාට වචනෙකින්වත් වරදක් කියන්නෑ දුමී.. දැන් හොඳ ළමයා වගේ අඬන එක නතර කරන්න. “
මහීකා එක දිගට මිහිදුමීගේ කොපුල් පුරා ගලා යන කඳුළු පිසළමින් පැවසූ අතර ඈට අවනත වූ තරුණිය ආපසු හැරී සෙමින් සෙමින් තරප්පු පෙළ නැග්ගාය.
” මෙයා තමයි ඊයේ රෑ ඒ කෙල්ලටත් කෑගැහුවේ. පව් අසරණ කෙල්ල. අඬලම හෙම්බත් වෙලා. “
හිඳ උන් හැඩිදැඩි තරුණයාගේ පළල් උරපත්තකට පහරක් ගැසූ මහීකා ඔහු දෙස ඔරවා බැලුවාය.
” ලොකු නෝනා.. ! “
උඩු මහල වෙතට දෑස යැවූ සරෝජා රහසක් කියන්නට මෙන් කෑම මේසය අසලට ළං වූවාය.
” මං හිතන්නේ අර දොස්තර මහත්තයා දවාලේ කතා කරලා හොඳටම දොස් කියලා තියනවා. “
” කවුද භරණ ?”
” නම නං දන්නෑ නෝනා. හැබැයි මාමා කියලා කිව්වේ.”
” සරෝජා එක්ක මොනාහරි කිව්වද ?”
” මාත් එක්ක නෙමෙයි. අපේ ශැඩෝ එක්කනං වරුවක් කියෙව්වා. දවාලේ කන්න ගත්තු බත් එකෙන් බත් ඇට දහයක් කෑවේ නෑ. ඒකත් අරන් ශැඩෝ ලඟට ගිහිල්ලා ඌට ඒක කන්න දීලා , උගේ ඔලුව අත ගගා ඇඬුවා. මාමා කිව්වලු යන යන තැන කරදර දාගන්නවා කියලා. නිකන් හරි ඊයේ අස්නක මහත්තයා ගහපු පාරක් අර ගුටි කාපු මිනිහගේ වැරදි තැනකට වැදුණනං මොකද කරන්නේ කියලා අහලා. ශැඩෝගේ ඔලුව අත ගගා ඇඬුවා මං නිසා මේ ගෙදර මිනිස්සුන්ටත් ප්‍රශ්න කියලා. “
” ඒ මනුස්සයට පිස්සුද මේ වගේ වෙලාවක ඕවා කියන්න ?”
අෂ්මිල මඳ කෝපයකින් එසේ පවසා ඉවත බලා ගත් අතර මහීකා විසල් සුසුමක් හෙළුවාය.
” අද උදේ විශාඛා අක්කා මට කතා කරලා කිව්වෙත් ඔය ටික. භරණ විතරක් නෙමෙයි එයත් සෑහෙන්න බය වෙලා. ඒ වෙච්ච දේ එතනින්ම අකා මකා ගිය නිසා හොඳයි. ඔයිට වැඩිය ඕක දුර දිග ගියානං මේ කෙල්ලටත් පොලිසී , උසාවි ගාණේ යන්න වෙනවා. මෙච්චර පරිස්සම් කරලා හදපු කෙල්ලට එහෙම උනොත් දරාගන්නේ කොහොමද කියලා මගෙන් ඇහුවා. ඒ මිනිස්සු දෙන්නා ප්‍රශ්න වලට හරි බයයි සුදු පුතා. මේ කෙල්ලත් සෑහෙන්න ප්‍රශ්න වලින් ගොඩ ආපු දරුවෙක්නේ. අපිට මෙතනදි කාටවත් වරදක් කියන්න බෑ. ඔයාලා පිරිමි ළමයි. ඒත්.. ඒ ගෑනු ළමයෙක්නේ. භරණ ඕවා කියන්නැත්තේ ඒකයි. “
” මිහිදුමීගේ තේ එක ?”
ප්‍රථම වතාවට මෙතෙක් නිහඬව උන් වැඩිමහලු තරුණයා එසේ අසමින් හිඳ උන් අසුනෙන් නැඟිට්ටේය. තේ බන්දේසිය අතැතිව උන් සරෝජා වහා තිගැස්සී එය ඔහු වෙත පෑ අතර තරුණියගේ තේ කෝප්පයත් , ඔහුගේ කෝප්පයත් අතට ගත් ඔහු නිහඬවම තරප්පු පෙළ නඟමින් ඉහල මහලට අඩි තැබුවේය.
” අම්මාහ්…! මගේ අත පොඩ්ඩක් කොනිත්තන්න “
අෂ්මිල වහා තම අත මව වෙත දිගු කළ අතර පමණට වඩා තදින් මහීකා එය කොනිති ගෑවාය.
” ආහ්..! ඔච්චර හයියෙන් එපා ඉතිං. ඔයත් අනේ මන්දා. “
මහීකාට කෑ ගැසූ ඔහු ඈ කොනිත්තා දැමූ අත වේගයෙන් පිරි මැද්දේය.
” මං කිව්වනේ.. දැන් වත් උඹ මං කියන දේ පිළිගන්නවද?”
” හරි.. හරි ශේප්.. ශේප්.. ඔයා දිනුම්. “
මහීකාගේ ප්‍රීතිමත් උවන දෙස බලා එරවූ අෂ්මිල තම තේ කෝප්පය අතට ගත්තේය.
මුහුණ දොවා යළි පහත මහලට එන ලෙස මහීකා පැවසූවාට යළි එදෙසට යාමට මිහිදුමීට සිතක් නොවුණි. අහංකාර දුෂ්ටයාගේ උවනේ තමා පිළිබඳව ප්‍රේමයක , කරුණාවක තබා අනුකම්පාවක හෝ සේයාවක් තැවරී නොමැති බව දෑසින්ම දැක වටහා ගත් පසුත් තව දුරටත් ඔහු ඉදිරියේ එකල මෙකල වීමට ඈට නොසිතුණි. මහීකා කෙසේ පැවසුවද ඔහුගේ මේ බැල්මක් හෝ නොවැටෙනා පහත් කිරීම් මැද තව දුරටත් විජේසිංහ නිවසේ සිටීම කළ නොහැකි බව ඈ තනිවම සිතුවාය. මුවින් වචන පිට නොකළද ඔහු සැබැවින්ම තමා මෙහි වාසය කිරීමට සිත යටින් අකමැති බැව් ඈ විශ්වාස කරමින් සිටියාය. සැමට වඩා හදවත පුරා ලැජ්ජාවක් මිශ්‍ර කෝපයක් පැතිරෙන්නේම ඔහු පිළිබඳව තම හදවතෙහි ඉපිද ඇති හැඟීම් සියල්ල ඔහු පෙර දිනක එක දිගට පැවසූ ආකාරය මතක් වන විටය. එදා පටන් හැකි සෑම විටම ඔහුව මඟ හැරීමට කෙතරම් උත්සාහ කළද එකී උස් සිරුරු ලාභියා දෙසට රහසින් හෝ දෑස විතැන් වීම කිසිසේත්ම සිදු කළ නොහැකිව තිබුණේය.
” මූණ සෝදන් එන්න කියලා නේද අම්මා කිව්වේ?”
සුපුරුදු වැල් රෝස පඳුර අභියස සඳලුතලයේ පොළොවට බරවී පසුපස බිත්තියට හිස තබා දෑස පියා සිටි ඈ එකී ගොරෝසු හඬට තිගැස්සී ගියාය. වකුටු කරගත් දෙපය පාමුල පහත්වී ඇගේ තේ කෝප්පය තැබූ ඔහු ඇගේ අනෙක් පස පොළොව මතට බර වී හිඳ ගත්තේය. තමා සමඟ එක පෙළට එකට බිම හිඳ උන් ඔහු කෙරෙහි හදවතේ නැඟී ආ කෝපය නිසාම ඈ නැඟිට සිටීමට උත්සාහ දැරුවද ක්ෂණිකව අල්ලා ගත් ඇගේ අතින් ඔහු යළි ඈ හිඳ උන් තැනටම බර කළේය. තුෂ්නිම්භූතවූ තරුණිය විසල් කර ගත් දෙනෙතින් ඔහු දෙස බලා නැවතත් ඔරවා ඉවත බලා ගත්තාය.
” ඕක බීලා ඉන්න. “
තවමත් එක බැල්මක් හෝ ඈ වෙතට පා නොකළ ඔහුගේ ඉඟියෙන් දෙපය අසල වූ තේ කෝප්පයට දෑස විතැන් කළ ඈ යළිත් ඔහු දෙස බැලුවාය. කිසිදු කලබලයකින් තොරව අතැති තේ කෝප්පය උගුරෙන් උගුර තොල ගාමින් හිස් අවකාශයේ ඈතට බැල්ම යොමා සිටි ඔහුගේ මුහුණ මත කිහිප වරක් එහා මෙහා ගිය කඳුළු පිරි දෑස එකී රළු දෙතොල් මතින් මුව තුළට යන තේ උගුර දෙසට ඉව ඇල්ලුවාය. බොත්තම් ද්විත්වයකින් විවර වී ඇති සරාගී පිරිමි ගෙල දිගේ පහලට වැටුණු තේ උගුර ගිල දැමෙන ආකාරය රත් වූ දෙනෙතින් බලා සිටි ඈ ඉන් දෑස මුදවා ගැනීමට අසමත් වූවාය.
” මාව ගිලින්නැතුව තේ එක බොන්න.. “
උණු තේ කෝප්පය හිසේ සිට හළා මෙතැනම දියවී ගියානම් මැනවැයි ඈට සිතුණාය. දරාගත නොහැකි ලැජ්ජාව හමුවේ කිටි කිටියේ දසන් එකට තද කරගත් තරුණිය වහා අනෙක් පස හැරී දෑස තදින් පියා යටිසිතින් තමාටම බැණ වැදුණාය.
” ශිට්..! විලි ලැජ්ජාවේ බෑ. ලේ නෑයෝ නොවුණත් මේවා දැනගත්තොත් මහවලතැන්න පරම්පරාවේ මිනිස්සු වළවල් වලින් නැඟිටලා ඇවිල්ලා මට ගහලා ගිහින් ආයේ වැළලෙනවා. “
තව දුරටත් සිත යටින් පසුතැවුණු ඈ දිගටම ඉවතට හැරී දෑස තද කරමින් සිටියාය.


