” අක්කේ ගුඩ් මෝනින් ..!”
” ගුඩ් මෝනින් නංගි. මේ.. මං අරක ගැන බැලුවා. “
” මොකද්ද අක්කේ ?”
” සින්දුමීගේ මැරේජ් සෙටිෆිකේට් එක ගන්න වැඩේ “
” ආ.. මොකද්ද අක්කේ ඒකට උනේ ?”
” නංගි, මේ වැඩේ චුට්ටක් අමාරුයි. මැරේජ් සෙටිෆිකේට් එකක් කියන්නේ පෞද්ගලික දෙයක් නිසා අපිට ඩොකියුමන්ට්ස් ටිකක් ඉදිරිපත් කරන්න වෙනවා. නිකන්ම ගිහිල්ලා නමයි , දිනෙයි දීලා මේ දවසේ කසාද බැඳපු කෙනෙක් ගැන අහන්න බෑ. ඒකට එයාලා,ඩොකියුමන්ට්ස් වගයක් ඉල්ලනවා. “
” මොනවද අක්කේ ඉදිරිපත් කරන්න ඕනේ.?”
මිහිදුමී පොත් බෑගය සකසා මේසය මත තබා යහන මත හිඳ ගත්තාය.
” මුලින්ම අපිට සින්දුමීගේ මරණ සහතිකයයි , ඒකේ කොපි එකකුයි ඕනේ වෙනවා. ඊලඟට එයාගේ උප්පැන්න , ඊට පස්සෙ අයිඩී එක. මේ මැරේජ් සෙටිෆිකේට් එක ඉල්ලන්නේ ඔයා නිසා අපිට කියන්න වෙනවා ඔයාගේ අක්කාගේ උරුමකම් පැවරීමකට කසාද සහතිකයේ පිටපතක් ඕනේ කියලා. ඊලඟට එයාගෙයි , ඔයාගෙයි සම්බන්ධය තහවුරු කරන්න වෙනවා. ඒකට ඔයාගෙත් උප්පැන්නයි , අයිඩී එකයි ඕනේ. ඊලඟට දිවුරුම් ප්‍රකාශයකුත් ඕනේ. ඒකනං අපේ බාප්පට කියලා කරගමු. ඔයා ලඟ ඔය කියපු ඩොකියුමන්ට්ස් ටික තියනවද නංගි ? “
” ඔව් අක්කේ. මං ලඟ ඔය ඔක්කොම තියනවා.”
” හ්ම්ම්.. එහෙනං මෙහෙම කරමු නංගි. මං අද දවසම ටිකක් බිසී. අපි දෙන්නා අනිද්දාට වගේ ගිහිල්ලා ඔය ඩොකියුමන්ට්ස් බාර දෙමු. මං අපේ බාප්පට කියලා අර ලියුමත් හදාගන්නං “
” අක්කට කරදරයක්ද මන්දා. “
” අයියෝ.. එහෙම දෙයක් නෑ. ඒක එච්චර ලොකුවට හිතන්න එපා. කොහොමත් ඔය ඩොකියුමන්ට්ස් ටික පිළිවෙළට දුන්නත් අපිට ඕක හෙටම අතට ගන්න වෙන එකක් නෑ. අඩුම වැඩ කරන දවස් පහක්වත් යයි. දන්නවනේ ලංකාවේ ගවර්මන්ට් ඔෆිස් ගැන? නංගි.. , මං මේ ඔයාට තව දෙයක් ගැන කියන්නත් එක්ක ගත්තේ. ඇයි ඔයා අස්නකගෙන් මේ ගැන අහන්නේ නැත්තේ ? අස්නක හිටියේ සින්දුමීලගේ බැච් එකේනේ ?”
” ඕක මගේ ඔලුවටත් ආවා අක්කේ. ඒත් .. මෙහෙ ලොකු අයියා එහෙම වැඩිය කතා කරන කෙනෙක් නෙමෙයි. මං වචන දහයක් කිව්වොත් එයා එකම එකක් කියයි. “
” ඒක නං එහෙම තමා. අස්නක ඒ දවස්වලත් එහෙම ලොකුවට කාත් එක්කවත් කතා බහ කරපු කෙනෙක් නෙමෙයි “
” අනික අක්කේ මේ පරණ දේවල් මං ආයේ ආයේ උඩට ඇදගෙන ඔයා එක්ක මෙහෙම කතා කළාට විශාඛා අම්මාවත් , මාමාවත් කැමති නෑ මං අපේ අක්කා ගැන කතා කරනවා අහන්න. එයාලා මට පොඩි කාලේ ඉඳන් පුරුදු කළේ අම්මයි , අක්කයි ඇක්සිඩන්ට් එකක් වෙලා නැති උනා කියන උත්තරේ කාටහරි අවශ්‍ය උනොත් දෙන්න. ඉතිං ඒ පුරුද්දට මට මෙහෙ මහීකා ආන්ටිලටත් කියවුණේ අම්මායි , අක්කයි නැති උනේ ඇක්සිඩන්ට් වෙලා කියලා. මුලින්ම එහෙම කියලා දැන් වෙනමම කතාවක් කියද්දි ඒ මිනිස්සු මං ගැන වැරදියට හිතයි කියලත් මට බයයි අක්කේ. “
” ඒකත් ඇත්ත නේහ්. ?”
” අනික ඒ පස් දෙනාගේ මරණේ උනත් ඒ දවස්වල සෑහෙන්න කතාබහ වෙච්ච දෙයක් වෙන්නැතිනේ. සතුටු කාරණා ආයේ ආයේ කතා කරන්න මිනිස්සු කැමති උනත් , මේ වගේ දේවල් ආයේ ආයේ කතා කරන්න කැමති වෙයිද ? මට බයයි ඊට පස්සේ මං ගැන වැරදි වැටහීමක් ඇති කර ගනී කියලා. “
” ඒක හරි නංගි. මිනිස්සු ඕන කමින් වැරදියට දේවල් හිතන්නෑ. ඒත්.. මිනිස්සුන්ට එහෙම දේවල් හිතෙනවා. පිරිසක් එක්ක ජීවත් වෙද්දි අපි හරි කල්පනාවෙන් ගණුදෙනු කරන්න ඕනේ. අපේ හැසිරීමෙන් වගේම වචනෙකින්වත් කාගෙවත් හිතක් රිදෙන්න හොඳ නෑ. මේ දේවල් වැඩිය කාටවත් නොදන්වා රහසේම කරගන්න එක හොඳයි. මොකද අපි නොදන්නවා උනාට කවුරු කවුරු මේකේ පිටිපස්සේ ඉන්නවද දන්නෑනේ ? හොඳයි නංගි , කමක් නෑ. මං ඔයාට කෝල් එකක් දෙන්නම්කෝ. “
” හරි අක්කේ..”
දුරකතන ඇමතුම විසන්ධි කළ මිහිදුමී තවත් මොහොතක් යහන මත හිඳ ගෙනම කල්පනාවට වැටුණාය.
සත්‍ය වශයෙන්ම තමා මේ යට ගියාව විජේසිංහ කුටුම්භයෙනුත් , ඔහුගෙනුත් සඟවන්නේ සුභාවී හමුවේ පැවසූ කාරණා නිසාවෙන්මද ? නැතහොත් ඔහු හමුවේ උපන් වෙනත් පිරිමියෙකු හමුවේ නූපන් හැඟීම් උදෙසාද ? මෙතරම් කල් මෙකී නිවස යට ජීවත් වුවද එක් බැල්මකින් , එක් ඉඟියකින් හෝ අනවශ්‍ය ආකාරයට යමක් තමා වෙත මුදා නොහළ ඔහු කෙරෙහි හදවතේ ඒක පාර්ශවීය ලෙස ගොඩ නැඟී ඇති කුළුදුල් ප්‍රේමය ඔහු කිසියම් දිනක පිළිගනු ලැබුවද , තම යටගියාව හේතුවෙන් පසුකලෙක ඔහු එය ප්‍රතික්ෂේප කරාවීදෝ යන බියෙන්ද කියා ඇයට වැටහීමක් නොවුණාය. තව දුරටත් එකී කල්පනාවේ නොගැටුණු ඈ සුසුමක් හෙළා පොත් බෑගයද රැගෙන නිදන කාමරයෙන් පිටතට පැමිණියාය. දිව්‍ය දූතයෙකුගේ සැලැස්මකට අනුව කටයුතු කරන්නේ යම් සේද එය සාර්ථක කර ගනිමින් ඔහුද හැඳ සිටි කමිසයේ අත නවමින් ඒ මොහොතේම නිදන කාමරයෙන් පිටතට පැමිණියේය.
” ගුඩ් මෝනින්..! ලොකු අයියා දැන්ද යන්නේ ?”
සෑම මොහොතකම ඔහු හා දොඬමලු වීමට අවස්ථාවක් බලා හිඳි ඈ ක්ෂණිකව ලැබුණු අවස්තාවෙන් ප්‍රයෝජනයක් ගත්තාය.
” හ්ම්ම්..”
” මාව පාර ලඟින් දාන් යන්න පුලුවන්ද ?”
වැළපෙන දෑස පිළිතුරක් නොදීම ඈ දෙසට විතැන් විය. පෙර දිනක ඔහු හා යෑමට ඉඩක් ලබා දුන් මොහොතේ එය හිතුවක්කාරී ලෙස ප්‍රතික්ෂේප කිරීම තවමත් ඒ හදවතේ තියනවා හැකිය.
” හ්ම්ම්..”
නැවත වතාවක් හුමිටි තැබූ ඔහු නිහඬවම තරප්පු පෙළ බැස ගිය අතර ඈද මුව මත මඳ සැනසිලිදායක ස්වරයක් මවා ගනිමින් තරප්පු පෙළ බැස්සාය.
” මාව බස් පාරෙන් දැම්මම ඇති. මං එතනින් බස් එක ගන්නං “
මහා මාර්ගය පෙනි පෙනී ඈ ගමන් මල්ල අතට ගත්තද නැවතීමක් නොවුණු මෝටර් රථය විශ්ව විද්‍යාලය දෙසට එක දිගට ධාවනය වූයේය.
” ලයිබ්‍රි එකේදි පරණ magazines කීපයක් බැලුවා. කීප තැනකම නම තිබුණා. බැච් ටොප් වෙච්ච තැනුත් එක්ක. “
නිහඬවම ධාවනය වන මෝටර් රථය තුළ නිශ්ශබ්දතාවය පැතිර ගොස් තිබූ මිනිත්තු කිහිපයකට සමුදුන් ඈ ඔහු දෙස නොබලාම මුව විවර කළාය.
” මං ගැන ඔත්තු බැලුවද?”
මාර්ගයෙන් ඉවත් නොවූ දෑස ඒ මතම රඳවා ගත් ඔහු ඈ දෙසට නොහැරීම ප්‍රශ්න කළේය.
” ඔව්. එක පැත්තකින් බැලුවොත් හරි “
එවර යන්තමින් ඈ වෙතට වැටුණු බැල්මෙන් දෑස සඟවාගත් ඈ වහා කවුළුවෙන් පිටත බැලුවාය.
” හේතුව ?”
” විශේෂ දෙයක් නෑ. නිකන් magazines ටික බලද්දි අහම්බෙන් දැක්කේ. ඊට පස්සේ ඉතිං කියෙව්වා. සුදු අයියයි , ආන්ටියි , සරෝජා නැන්දයි මාත් එක්ක ඕන වෙලාවක , ඕන දෙයක් කතා කරනවා උනාට අයියා ඇයි එහෙම නොකරන්නේ ? ගේ ඇතුළට අනවශ්‍ය කරදරයක් ගෙනත් දාගත්තා වගේ එකක් දැනෙනවද ? නැත්තන් අර කිව්වත් වගේ මං ළං වුණොත් කරදරයක් වෙයි කියලා බයද ? “
කිසිදු දිනක ඔහු වෙතින් අසන්නට හදවතේ අංශු මාත්‍රයක හෝ නොතිබුණු ප්‍රශ්න වැලක් ඈ මුවින් නොදැනීම පිට වුණි. අවසන් පැනය පෙරට වඩා බොහෝ බිඳුණු ස්වරයක් ගත් අතර දෑතින්ම තද කර ගත් ගමන් මල්ලත්, එකිනෙක තෙරපවාගත් තොල්පටිනුත් ඈ වහා කවුළුවෙන් එපිට බැලුවාය. මොහොතකට ඈ දෙසට දෑස විතැන් කළ ඔහු විශ්ව විද්‍යාලය පෙනෙන දුරින් මාර්ගයේ නිදහස් ස්ථානයක මෝටර් රථය නතර කර තවත් මොහොතක් නිහඬව හිඳ ඈ දෙසට හැරුණේය.
” මං යන්නං , බොහෝම ස්තූතියි “
ඔහුගේ බැල්මට ප්‍රති බැල්මක් හෙළන්නට මහත් අපහසුතාවයක් දැනුණු ඈ නිහඬවම ආසන පටිය ගලවා දැමුවාය.
” ඉන්න..!”
තිගැස්සුණු දෑස තව දුරටත් කවුළුවෙන් එපිටට හරවා ගත්තී තව තවත් බෑගය තද කර අල්ලා ගත්තාය.
” මොනාද ඒ කිව්වේ ?”
නැවතත් ගැඹුරු ස්වරයෙන් පැනයක් නැඟුණද පිළිතුරු ඇමිණීමට ශක්තියක් නොවුණු ඈ යළිත් වරක් තොල්පට තදින් සපා ගත්තාය.
” තමන්ට හිතෙන හැමදේම වචන කරලා එළියට දාන්න එපා. ඒක කැතයි. අනික පිට මනුස්සයෙක් ඉස්සරහා කොහොමත් එපා. ඕනම මනුස්සයෙක්ට තමන් ගැන තමන්ගේ හිතේ වටිනාකමක් තියෙන්න ඕනේ. ඒක තමන් ලඟ ඉන්න කවුරු ඉස්සරහ උනත් නැති කරගන්න එපා. එහෙම උනාම අනිත් මනුස්සයා හිතනවා ඔයා මහ දුර්වල කෙනෙක් කියලා. අන්න ඒ පොයින්ට් එකම ඇති ඔයාව අනවශ්‍ය විදිහට යූස් වෙන්න. “
එතුවක් කලකට ඈ හා දොඬමලු වූ දීර්ඝම වචන පේළිය ඔහු එලෙසට ඈ හමුවේ තැබූ අතර දෙනෙතින් ගලා යන කඳුළු පේළියක් ඇගේ කොපුල මතට වැටෙණු දුටු ඔහුට බර සුසුමක් හෙළුණේය.
මේක මගේ විදිහ. අපේ අම්මා කියලා නැද්ද?”
දිගු තත්පර කිහිපයකට පසු ඔහු නැවතත් ඈ දෙස නොබලාම ප්‍රශ්න කළේය.
” ගිහින් එන්නං , සමන් දෙයියන්ගේ පිහිටයි..!”
තවත් මොහොතකට පසු ඈ ඔහුට සමුදීමට සැරසුණාය.
” හ්ම්ම්..”
පිළිතුර පෙර පරිදිමය. ගමන් මල්ලද අතට ගෙන මෝටර් රථයේ ද්වාරයද විවර කළ පසු ඈ නැවතත් ඔහු දෙසට හැරුණාය.
” ලෙක්චර්ස් හතරට ඉවරයි..”
පෙර සියල්ලටම වඩා ඈ මන්ද ස්වරයකින් මිමිණුවාය.
” හ්ම්ම්.. මං එන්නං “
ක්ෂණිකව තිගැස්සුණු ස්ත්‍රී දෑස ඔහු වෙතට යොමු විණිද ඔහු වහා යළි ඉවත බලා ගත්තේය. මඳ සිනහවක් මුවට නැඟුණද වහා එය වළක්වා ගත් ඈ නිහඬවම මෝටර් රථයෙන් බිමට බැස්සාය.


