පසළොස්වක මල් – 20

0
301

” මොකෝ බං?” 

බොහෝ වේලාවක සිට මිතුරියගේ උවනේ හැඩතල කියවීමට උත්සාහ ගනිමින් සිටි පියවි අවසානයේ සියලු උත්සාහයන් පසෙකලා එක එල්ලේ පැනයකින්ම එසේ විමසුවාය. 

” මොකද ?” 

” මොකද අහන්නේ ? අද මාර ජොලියකින් ඉන්නේ ? තනියම හිනාවෙනවා. කල්පනා කරනවා. මං දැන් කීප පාරක්ම බැලුවා. “

මිතුරිය වෙත මුව ඇද කළ මිහිදුමී යළිත් මුව මත මල් සිනහවක් නඟා ගත්තාය. 

” අන්න.. අන්න.. දැක්කනේ.. ඔන්න ඕක තමා උඹේ පැණි හිනාව. “

” අනේ පලයන් යන්න..”

” මොකෝ.. මොකෝ.. ඔය හිනාවේ කෙළවර කොල්ලෙක් ඉන්නවා නෙහ් ? කවුද අර අස්නක ලොකු අයියද ?” 

” අනේ.. මේ..”

රතු කරගත් උවනින් මිහිදුමී ඈ වෙතින් දෑස මුදවා ගත්තාය.

” අනේ.. කියහන්කෝ බං..”

” මං අද උදේ ආවේ එයා එක්ක..”

” ආවුශ්.. ඉතිං ?” 

” හවසටත් එන්නං කිව්වා “

” අම්මපා කියහන්..”

” ඔව් බං. ආයේ ඕකට අම්මා අප්පා මොකටද ?” 

” යමන්.. යමන්..මටත් අද පොරව බලාගන්න ඕනේ.”

සිනහවෙනුත් , කතාවෙනුත් පා ඉක්මන් කරමින් විශ්ව විද්‍යාල ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට ආ මිහිදුමී මාර්ගය පුරා දෑස කරකවමින් උදෑසන සිටම දැකීමට යළි බලාපොරොත්තු වූ රුව සෙවූවද ඒ වෙනුවට ඈ ඉදිරියට පැමිණියේ කිසිසේත්ම අපේක්ෂා නොකළ අයෙකි. 

” හායි මිහිදුමී..!” 

” දි.. දිහස් ? ඔයා මෙහේ ?” 

” සර්ප්‍රයිස්..!” 

ඈ කිසිවක්ම නොපවසා ආයාසයක් දරා සිනහවක් නැඟුවාය. 

” යමු. මං එහෙ යන්නේ. ශනූ අක්කත් එහේ.”

” ආ.. දිහස් යන්න. මේ.. අස්නක අයියා මාව ගන්න එනවා කිව්වා. “

” මං ආවේ එහෙ ඉඳන් මිහිදුමී. අස්නක තමා මට කිව්වේ ඔයාට හතරට ලෙක්චර්ස් ඉවරයි කියලා. මං ආවෙත් අෂ්මිල අයියගේ වෙහිකල් එකේ “

” එහෙමද ?” 

හදවතේ ඉපැදී තිබූ කුළුදුල් බලාපොරොත්තු හා ආදරණීය හැඟීම් අමු අමුවේම පිළිස්සී ගිය අතර ඒ වෙනුවෙන් අලුතින් උපන් වේදනාත්මක හැඟුමන් දෙතොල පවා වෙව්ලා දමමින් තිබිණි. 

තදින් අල්ලා වුන් පියවිගේ සුරත තව තවත් තද වූ අතර ඈ සෙමින් තම අනෙක් අතින් මිහිදුමීගේ අතට තට්ටුවක් දැමුවාය.

තවත් සුළු මොහොතකින් මිතුරියට සමුදුන් මිහිදුමී කඩවුණු වේදනාබර හැඟුමින් දිහස්ගේ මෝටර් රථයට නැඟුණාය. නිවසට යන තෙක්ම වරින් වර දිහස් අසනා ප්‍රශ්න වලට වචනයකින් දෙකකින් පමණක් පිළිතුරු බැඳි ඈ ගමනාන්තය එළඹෙන තෙක් ඉතා නොඉවසිල්ලෙන් සිටියාය. 

විජේසිංහ නිවසේ ඒ වනවිටත් සිටි ශනුලි හා මඳක් දොඬමලු වූ ඈ ඉතා වෙහෙසකාරී බවක් මවා පෙන්වා නිදන කාමරය වෙතට ගොඩ වූවාය.

හදවත පුරා උඩු දුවන්නේ ශෝකයක් පමණ නොව ඔහු වෙනුවෙන් උපන් කෝපයක්ද ඒ සමඟම පැතිර යයි. ඔහුට පැමිණීමට නොහැකි වීමට සමාවක් දිය හැක. නමුදු ඔහු වෙනුවට වෙනත් අයෙකු එවීමට ඔහුට කිසිසේත්ම අයිතියක් නොමැත. නිවස වටා දෑස යැවූවද ඔහු නිවසේ නොමැත. ශනුලි නිදන කාමරයට පැමිණම ඈට සමුදී නිවසින් පිටව ගියාය. හදවතේ මතුව තිබූ වේදනාකාරී හැඟීම් නිසාම වරදක් නොකළද දිහස් හට මුහුණ දීමේ අපහසුවකින් උන් ඈ අධික මහන්සිය අඟවාම නිදන කාමරයෙන් පිටතට අඩි නොතැබුවාය.

කල්පනා බැමි රාශියක් ඉවුරු බිඳිමින් දෙගොඩ තලා ගිය අතර ඒ සියල්ල අතරේ දෝලනය වෙමින් සිටි ඈ බොහෝ වේලාවක් යහනට වැද සිටි අතරතුර ඉබේම නින්දට වැටී තිබිණි. සදළුතලයෙන් ඇතුළට එබුණු රාත්‍රී අන්ධකාරය හමුවේ බොහෝ වේලාවකට පමණ පසු අවදි වූ ඈ නාන කාමරයට වැද සිරුර දොවා ගත්තාය. 

කීප වතාවක්ම මහීකා පැමිණ රාත්‍රී ආහාර ගැන්මට කතා කළද ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ ඈ අවසානයේ කුසගින්නක් දැනුණහොත් රාත්‍රියේ තනිවම ආහාරයක් සාදා ගන්නා ලෙසට පොරොන්දු වීමෙන් අනතුරුව තවත් ඈ හට පෙරැත්‍ත නොකළ  මහීකා ඇගේ නිදන කාමරයෙන් නික්ම ගියාය. 

” තව කන්න ලොකූ . අද අපි දෙන්නා විතරයි. “

තනිවම ආහාර ගනිමින් උන් වැඩිමහලු පුත්‍රයා වෙත ආ මහීකා පුටුවක් පසුපසට ඇද කෑම මේසයෙන් වාඩි වුවාය.

” චූටි නෝනා කන්නැද්ද නෝනා ?” 

” කන්න බෑලු සරෝජා. තේ එකක් හදලා දෙන්න. සැන්ඩ්විච් දෙකක් එක්ක. “

” හා නෝනා.. උදේ ගිය පාරනේ. ඇඟේ අමාරුව ඇති “

විදුලි කේතලයට වතුර පුරවා ස්විචය දැමූ සරෝජා පාන් පෙති කිහිපයක් අතට ගත්තාය. 

” ඇඟේ අමාරුවක්ද ? හිතේ අමාරුවක්ද මන්දා.” 

තමා අසල සිටි පුතුට පමණක් ඇසෙන සේ එසේ පැවසූ මහීකා බත් හැන්දක් පිඟානට දමා ගත්තාය. නිහඬවම ගත කළ සුලු මොහොතක් තුළ ආහාර ගෙන අවසන් කළ තරුණයා මුළුතැන්ගෙය දෙසට ගොස් දෑත සෝදන අතරතුර සරෝජා පිළියෙළ කළ තේ කෝප්පය හා සැන්ඩ්විච් පෙති කිහිපය පිඟානකට ඇසුරුවාය.

” මං ගිහින් දෙන්නං “

එපමණක් පවසා එයත් රැගෙන උඩු මහල වෙත යන පුත්‍රයා දුටු මහීකා සිහින් සිනහවක් නැඟුවාය. 

සඳළුතලයේ කෙළවර ටයිල් පොළොව මත හිඳ ගනිමින් දෙදණ අතර හිස තද කර දුර කල්පනාවක ගිලී උන් ඈ ලඟ ලඟම ඇසුණු ආහාර බඳුනේ ගැටීමේ හඬට හිස ඔසවා බැලුවාය. ලී මේසය මත වූ ආහාර බඳුනත් , සිට ගෙන සිටිනා ඔහු දෙසත් බැලූ ඈ නිහඬවම හිඳ උන් තැනින් නැඟිට්ටාය.

” කාලා ඉන්න “

” මටෝන්නෑ..”

පිළිතුර දරුණුය. කළකිරීමක් සේම එහි චෝදනාවක්ද තැවරී ඇති හැඩය. තවත් එක දිගට ඉවත බලා සිටිනු නොහැකි වූ ඈ  නිදන කාමරය වෙතට අඩි තැබූ අතර ක්ෂණිකව අඩියක් ඉදිරියට තැබූ ඔහුගේ රළු හස්තය ඇගේ අතින් අල්ලා ගත්තේය. 

” කෑම ටික ගෙනාවේ ඔයාට. කාලා ඉන්න. “

” එපා කියලා කිව්වනේ.. “

පිළිතුරු නැඟෙන්නෙ අහම්බයෙන් හෝ ඔහු දෙසට විතැන් නොවූ මුවකිනි. අල්ලා සිටි අත අතනෑරම ඈ වෙත තවත් අඩියක් තැබූ ඔහු එක එල්ලේ ඇගේ උවන දෙස බලා සිටියද ඔහුගේ මුහුණ දෙස බැලීමට හිස නොඑසවූ ඈ දිගටම එය පොළොවට බර කරමින් සිටියාය. 

” කරදර වෙන්නෙපා. උදේ ලිෆ්ට් එකක් ඉල්ලපු එකට සොරි. හවස් එයි කියලා බලන් හිටපු එකටත් සොරි. “

” දිහස් කියන්නේ හොඳ කොල්ලෙක් “

පොළොවට බරව තිබූ දෑස වහා ඔහු වෙතට එසවුණි. 

” එයා හොඳ උනත් , නරක් උනත් මට මොකද ?” 

දුකකට , කලකිරීමකට වඩා ඇගේ කටහඬෙහි ඇත්තේ කෝපයකි.

” එන්න බැරි නං ඇයි එන්නං කියලා කිව්වේ ?” 

” කොහොමහරි වැඩේ උනානේ ? පරිස්සමට ගෙදරට ආවනේ ?” 

” ඒ මිනිහා මාව වෙන කොහෙවත් එක්කන් ගියානං ?” 

” පිස්සු හැදිලද ? ඌ එහෙම කොල්ලෙක් නෙමෙයි “

” ඔයා කොහොමද එහෙම හරියටම කියන්නේ ? මොකෝ කාලයක් තිස්සේ ලඟින් අඳුනනවද ? අද ඊයේ අඳුරගෙන කොහොමද එහෙම විශ්වාස කරන්නේ?” 

” එහෙනං ඇයි මාව බලාපොරොත්තු උනේ ? ඔය විදිහටම මං ගැනත් හිතන්න පුලුවන්නේ?  මාවත් දැන අඳුනගෙන වැඩි කාලයක් නෑනේ ?” 

එවර ඔහු දෙසට එල්ල වී තිබූ දෑසින් කඳුළු බිඳුවක් කොපුලක් මතට කඩා වැටුණු අතර ඔහුගේ අත ඉබේටම ඇගේ අතින් මිදී ගියේය. 

” හරි.. සොරි. ආයේ කරදර කරන්නෑ. සොරි. මිස්ටර් විජේසිංහ. මං කොහොමත් පිට කෙනානේ. සොරි. “

නැවත වතාවක් ඈ හැඬුම් බරව නිදන කාමරය වෙතට පා එසවුවද යළිත් ඔහු විගසින් ඇගේ අතකින් අල්ලා ගත්තේය.

” මිහිදුමී..! මේ අහන්න ..! බොරු වැඩ කරන්නෙපා. “

රළු පරළු ස්වරය බොහෝ මන්ද වී තිබූ අතර එකී ස්වරයටම ඇයට ඉකි ගසා හැඬුණාය. 

” මං හරියන එකෙක් නෙමෙයි. නිකන් ජීවිතේ විනාස කරගන්න එපා. “

සවන මත පතිත වන කර්කශ වදන් හමුවේ තවත් පිළිතුරු රහිත වූ ඈ දිගින් දිගටම කඳුළු වැගිරුවා විනා වචනයක් හෝ පිට කර ගැන්මට නොහැකිව ගොලු වී සිටියාය.

” මුලින්ම ඉගෙනගෙන ඉන්න. ඔයාට ජීවිතේ තව ගොඩක් දේවල් කරන්න තියනවා. මං වගේ හිස් මිනිහෙක් ලඟ නතර වෙන්න ලෑස්ති වෙන්නෙපා. “

” මං.. මං…”

” මං මේ දේ කියන්නේ බොහෝම හොඳින්. මං මගේ පාඩුවේ මේ ගෙදරට වෙලා හිටියා. මට මගේ ජීවිතේ ඒ විදිහට ජීවත් වෙන්න දෙන්න. ඒක විනාස කරන්නෙපා. මං ගැන හිතලා ඔයත් විනාස වෙන්න එපා. “

තවත් මොහොතක් එක දිගට ඔහුගේ උවන මත කඳුළු පිරි දෑස ඉකි ගසමින් බලා සිටියද ඒ පිළිබඳව මායිම් නොකළ ඔහු සෙමින් ඇගේ අත හැර ඔහුගේ නිදන කාමරය වෙත ඇවිද ගියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here