” ආන්ටී..! ආන්ටී..!”
” මං කිචන් එකේ දුමී..!”
වේගයෙන් තරප්පු පෙළ බැස ආ තරුණිය අතෙහි තිබූ පෑන් , පැන්සල් අසුරණයද කරකවමින් මුළුතැන්ගෙට හිස පෙව්වාය.
” ඒෆෝ කොළ දෙක තුනක් ගන්න තියෙයිද ආන්ටී ? මගේ ලඟ තිබ්බ ඒවා ඉවර වෙලා. “
” ඔෆිස් රූම් එකේ ඇති දුමී. ඕන තරමක් ගන්න.”
” අනේ .. තැන්ක් යූ..”
ආ වේගයෙන්ම පැන්සල් අසුරණය කරකවමින් යළි කාර්යාල කාමරය වෙත කඩා බිඳ ගෙන දිව ගිය ඈ එහි තිර රෙද්ද පැටළී අඩි දෙක තුනක් විසිවී ගිය අතර අතෙහි තිබූ පැන්සල් අසුරණය බිම වැටී ඒ තුළ තිබූ පෑන් , පැන්සල් සහ කාසි කිහිපයක් සියල්ල සීසී කඩ විසිර ගියේය.
” සිහියක් නැද්ද ?”
විසල් වූ කටහඬට හිස එසවූ ඈ ඒ වනවිටත් එහි කාර්යාල මේසය අසල පුටුවකට බරවී ලිපි ගොනුවක් බලමින් සිටි ගෝරනාඩුකාරයා දෙස බලා මුව ඇද කළාය.
” මේ බැබුනුත් මෙතනද ? හිටහන්කෝ.. කකුලේ චූටි ඇඟිල්ලෙන් උඩට ගණන් ගන්න හොඳ නෑ..”
යටිසිතින් තමා වෙතම එසේ පවසා ගනිමින් බිමට පහත් වූ ඈ කාමරය පුරා දණ ගාමින් විසිරී ගිය පෑන් , පැන්සල් සියල්ල එකතු කරන්නට වූවාය. ඈ වෙත කිසිදු සහයක් නොදැක්වූ ඔහු යළි දෑස ලිපි ගොනුව මත රඳවා ගත්තේය.
” පොඩ්ඩක් එහාට යන්නකෝ. මගේ දහයේ කාසියක් මේසේ යටට ගියා “
ඔහු දෙස නොබැලූ ඈ දණගාමින්ම මේසේ යට කොන පීරමින් විසිරුණු ආම්පන්න එකතු කළාය. හදවතට ඇතුළු වූ කෝපය පිට කරගත නොහැකි වූ ඔහු ඒ කේන්තියටම සිටි වනම සිටි අතර කිසිදු එහා මෙහා වීමක් නොවුණේය.
” ලොකුවා..!”
හදිසියේ කාර්යාල කාමරයට කඩා වැදුණු තේජ් මේසය අසල පුටුවකට බර වී සිටින මිත්‍රයා දෙසත් ඔහු අසල මේසය යටට වී දණ ගසා සිටි තරුණියත් දැක විසල් කර ගත් මුවින් කෑ ගැසූවේය.
” what the f#$%..! අඩෝ.. නෝ.. සොරි මචං .. මං වැරදි වෙලාවක ආවේ..”
විසල් කරගත් උවන දෝතින්ම වසා ගත් තේජ් අනෙක් පස හැරී මහ හඬින් සිනාසුණු අතර ඔහුගේ සිනහවත් , තමා අසල දණගසා සිටින තරුණියත් දෙස බලා මිතුරාගේ සරදමින් කෝපයෙන් පිපිරුණු අහංකාරයා දඩාස් හඬ නංවා හිඳ උන් අසුන පසුපසට කර නැඟී සිටියේය.
” පිස්සුද #$& ? තොට #$& පරයා.. !”
දෝතින්ම මුව වසා ගනිමින් දෙකට තුනට නැමී සිනහවෙන තේජ් දෙසත් , කෝපයෙන් පිපිරෙමින් පරුෂ වදනින් ඔහුට බැණ වදින තරහාකාරයා දෙසත් මාරුවෙන් මාරුවට බැලූ තරුණිය කිසිවක් තේරුම් ගත නොහැකිව මේසය යටින් සොයා ගත් කාසියද සහිතව යළි නැඟී සිටියාය.
” සමන් දෙයියනේ..! හම්බ උනා..”
ඈ ඉතා ජයග්‍රාහී ලෙස එය ඉහලට ඔසවා තේජ් දෙස බැලුවද ඔහු තවමත් සිනහව නතර කර ගත නොහැකිව සිටියේය.
” බලාගෙන ඔච්චර හිනාවෙන්නේ. පැලෙයි..”
ඔහුගේ සිනහවට හේතුව නොතේරිණිද තව දුරටත් එකී සිනහවට හේතු නොසෙයවූ ඈ මේසය මත වූ කඩදාසි කිහිපයක්ද රැගෙන ඉන් පිටව ගියාය.
” අඩෝහ්…!”
” පල.. #$&; @#% “
අත දිගු කර නැවත වතාවක් තේජ් හට බැණ වැදුණු තරුණයාද වේගයෙන් කාර්යාල කාමරයෙන් පිටතට අඩි තැබුවේය.
**************************************
” දුමී..! දුමී..!”
පහත මහලින් එක දිගට ඇසෙන මහීකාගේ හඬ ගෑමට නිදන කාමරයේ සිට ගමන් මල්ල සකසමින් සිටි තරුණිය පමණක් නොව ඊට අනෙක් පස කාමරයේ හිඳ තේජ් හා එක දිගට සිනහවේ නිරත වී උන් අෂ්මිලද කලබල වී පිටතට පැමිණියේය.
” දුමී.. දූ.. ඉක්මනට එන්නකෝ..!”
නැවත වතාවක් මහීකා හඬ ඇසුණු සැණින් තරප්පු පෙළ දිගේ දිව ආ තරුණිය ආලින්දයේ ප්‍රධාන ද්වාරයෙන් මතුවූ ඒ පින්සාර රුව දැක හද පත්ළෙන්ම නැඟි ප්‍රීතියෙන් පිනා ගියාය.
” අම්මා..!”
දිව ආ තරුණිය වහා විශාඛා මහවලතැන්න තදින් වැළඳ ගත් අතර ඇයද මුව පුරා සිනහවක් නඟා දියණිය වැළඳ ගත්තාය.
” ඔයත් ආවද ?”
විශාඛා සිප වැළඳ ගැනීමෙන් අනතුරුව ඈ පසෙක වූ ශමෙල් වෙතටද දිව ගිය තරුණිය ඔහුවද ආදරයෙන් වැළඳ ගත්තාය.
” හොඳින් ඉන්නවා නේද දුමී.?”
” විශාඛා අක්කා එන්න ..! වාඩි වෙන්න..! “
තරප්පු පෙළ බැස ආ තරුණයින් තිදෙනා වෙතටද සුපුරුදු ලෙංගතු සිනහව පෑ විශාඛා හා ශමෙල් ආලින්දයට ඇවිද ආ අතර නැවතත් විජේසිංහ නිවසේ ප්‍රධාන ද්වාරය අතරින් මතුවූ තේජාන්විත රුව දැක මිහිදුමී සිටි තැනම ගල් ගැසුණාය.
” සමන් දෙයියනේ..! මාමා..!”
ඔහු කරා දිව යන්නට අඩියක් එසවූවද යළිත් පෙර දින කිසිදු නිදහසට කරුණක් පැවසීමට ඉඩක් නොතබාම තමා වෙත ඔහුගේ දෝෂාරෝපණය එල්ල වූ අයුරු සැණකින් මතකයට නැඟුණු ඈ වහා කඳුළු පිරි දෙනෙතින් ඉවත බලා ගත්‍තාය. විජේසිංහ නිවසට ගොඩ වීමට පෙරම ඇගෙන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු වූ භරණ දෙබැම ඔසවා ශමෙල් දෙසත් මව දෙසත් බැලූ අතර විශාඛා යළිත් වතාවක් සුපුරුදු සිනහව පෑවාය.
” තාම මෙහෙ ගිනි නිවිලා නෑ වගේ නේද මහීකා. ?”
දෝතින්ම යළි කුඩා යුවතිය තුරුළු කරගත් විශාඛා මහීකා හට ඉඟි කරමින් එසේ ඇසූ අතර සන්සුන් ගමනින් තරුණිය වෙත ආ භරණ මහවලතැන්න හෙමිහිට ඇගේ අතකින් අල්ලා ගත්තේය. නමුදු බලාපොරොත්තු වූ අන්දමට එයද ගසා පසෙකට කළ ඈ නැවත ඉවත බලා ගත්තාය.
” ඒයි.. ඒයි.. දුමී..! Okay.. okay..! සොරි.. මං බැනපු එක වැරදියි. මගේ වැරැද්ද. දැන් හරිනේ. ? “
ඔහු කෙතරම් පින්සෙණ්ඩු වුවද එය මායිම් නොකළ ඈ දිගින් දිගටම ඉවත බලා සිටියාය.
” ඔහොමනං සොරි කියලා මදි වෙයි මිස්ටර් භරණ. මොකද ඔයාලගේ දුව සෑහෙන්න හිත රිද්දගෙන මෙහෙන් යන්න බෝඩිමකුත් බලලා ඔය ඉන්නේ ?”
” ආ.. මෙහෙන් යන්න.. ? මෙයා දැන් එච්චර ලොකු වෙලාද ?”
මහීකා පැවසූ දෑට පිළිතුරු ලෙස එසේ ප්‍රශ්නයක් නැඟු භරණ යළි තරුණිය දෙසට හැරුණද ඈ ඔහු මායිම් නොකර ඉවත බලාගෙනම සිටියාය.
” මාමා කිව්වලුනේ එයා යන යන තැන කරදර විතරයි කියලා. ඉතිං කාටවත් කරදරයක් නැතුව ඉන්න ඕනෙ නං තනියම ඉන්න එක හොඳයි කියලා ඔය බෝඩිමක් හෙව්වේ.”
” පේනවා නේද අම්මේ දූ පොඩ්ඩ ලොකු වෙලා තියන තරම. ? හැබැයි ඉතිං මං කියපු කතාවේ වරදකුත් නෑ , දුමී කොහෙද කරදර එතන. ඒක නං ඉතිං ඇත්ත.”
නැවතත් භරණ දෙස ඔරවා බැලූ ඈ දෑසින් ගලන කඳුළු බිඳු පේළියක් පිසළමින් ඉකි ගැසුවාය.
” හරි.. හරි.. දැන් ඒ ඔක්කොම ඉවරයි හරිද ?”
කුඩා උවන මත ඇති කඳුළු බිඳු දුටු භරණ හදවතේ නැඟුණු අප්‍රමාණ ශෝකය සහිතව ඈව වැළඳ ගන්නට උත්සාහ දැරූ අතර ඈ තව දුරටත් ඔහුගෙන් මිදුණාය.
” අනේ යන්න.. ඕගොල්ලෝ ඔක්කොම එකයි. මං කියන දේ එක තත්පරේකට ඇහුවේ නෑ. මං කොච්චර වෙච්ච දේ කියන්න හැදුවද ?”
” හරි.. හරි .. දැන් ඒ ඔක්කොම ඉවරයි. මගේ හොඳ දරුවා වගේ අඬන්න එපා. “
එවර භරණ ඇගේ අකමැත්ත නොතකාම ඈව වැළඳ ගත් අතර ඈ හඬමින්ම ඔහුට තුරුළු වූවාය.
” ඔක්කොමලා හරි. මං විතරයි වැරදි. “
භරණට තුරුළු වූ ඈ නෝක්කාඩු පවසමින්ම තරප්පු පෙළ අසල සිට ඔවුන් දෙස බලා හිඳින අෂ්මිලටත් , තේජ්ටත් පසුපසින් වූ වැළපෙන දෑස් ඇත්තා දෙස බැලුවාය. එතෙක් ඈ වෙත නතුව තිබූ දෑස ඇගේ බැල්ම හමුවේ වහා ඉවත් කර ගත් ඔහු වෙත රවා බැලූ තරුණියද යළි ඉවත බලා ගත්තාය.
” එයාට ඉතිං පුලුවන් ඔච්චර තමා. “
යටි සිතින් ඔහු වෙතද දෝෂාරෝපණයක් එල්ල කළ ඈ ක්‍රම ක්‍රමයෙන් හදවතේ ඇති නොරිස්සුම් සහගත හැඟීම් වලින් මිදෙමින් සිටියාය.
” භරණ.. ! මේ ඉන්නේ මගේ පුතාලා දෙන්නා. එතකොට මේ ඉන්නේ ලොකු පුතාගේ හොඳම යාලුවා. “
පසෙකින් උන් තරුණයින් තිදෙනාව භරණ වෙත අඳුන්වා දුන් මහීකා යළි ලෙංගතු සිනහවක් පෑවාය.
” අඳුරගන්න තිබ්බේනං මුහුණු වරින් විතරයි. හැමෝම ගැන මං අහලා තියනවා. “
එසේ පැවසූ භරණ ඔවුන් තිදෙනාටම අතට අත දිගු කොට සුහද මිත්‍රශීලීත්වයක් පෑවේය.
” ඩොක්ටර් භරණ ගැන මාත් සෑහෙන්න දේවල් අහලා තියනවා. ඒ දේවලුයි , මේ අලි බබා මාමා මාමා කියන ඒවයි නිසා මං හිතන් හිටියේ නං සෑහෙන්න මැචුවර්ඩ් කෙනෙක් කියලා. බලන් ගියාම පොඩි කොල්ලෙක්නේ..?”
” අහ්.. හා.. කොච්චර සන්තෝසයක්ද එහෙම අහන්න ලැබෙන එක. ?”
අෂ්මිලගේ කතාවට නැවත වාරයක් සිනහවූ භරණ යළි හැරී මිහිදුමී දෙස බැලුවේය.


