Healing

සමායා පරිගණක තිරයට දෑස් යොමා ගෙන හිටියා. මේ කරන්නේ තමන් කැමති විදිහේ රස්සාවක් නොවුනත් සමායා උනන්දුවෙන් ඒ රස්සාව කරන්න හැම වෙලාවෙම උත්සාහ කළා. කාර්යාල සහායිකාවක් හැටියට සමායා පෞද්ගලික කාර්යාලයක සේවයට බැඳිලා ඒ වෙනකොට අවුරුද්දක් ගතවෙලා තිබුණා. 

ඒ අවුරුද්දක කාලය ඇතුලත සමායා කාර්යාලයේ සගයන් සමඟ හිතවත්කම් පැවැත්වුවේ බොහොම සීමා සහිතව.ඒ නිසා ඇය ගැන වැඩි තොරතුරක් කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. කාර්යාලය ඇතුළෙදි හැමෝම එක්ක බොහොම සුහදශීලීව වැඩ කරපු සමායා හැම වෙලාවෙම තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න පරිස්සම් වුනා.

ඒ කොහොම උනත් හැම වෙලාවෙම සමායා ගැන උනන්දු වෙච්ච ඇස් දෙකක් ඒ කාර්යාලය ඇතුළෙම තිබුණා.

ඒ නිමේශ්.

වැඩ කරන වෙලාවෙදි හැමෝම එක හිනාවෙලා කතාබහ කරලා වැඩ කරන සමායා තමන්ගේ සීමාවල් රැකගන්න උනන්දු වෙන ගමන් ඇස් වල හැංගිලා තියෙන මොකක්දෝ දුකක් හංගන්නත් උත්සාහ කරනවා කියලා නිමේෂ් තේරුම් අරගෙන තිබුණා. ගෙදර විස්තරයක් ඇහුවත් හරියට උත්තරයක් නොදෙන සමායාගෙන් ඒ පේන වේදනාවට හේතුව ඇහුවත් උත්තරයක් නොලැබෙන බව දන්න නිසාම නිමේෂ් ඒකට ඉක්මන් උනේ නැහැ.

ඒ වෙනුවට නිමේෂ් කළේ නිහඬවම සමායා ගැන හොයලා බලපු එක. හැබැයි ඒ ඇයට කරදරයක් නොවෙන විදිහට.

එක මාසෙක අන්තිම සතියේ හැමෝම කාර්ය බහුල වෙලා ඉන්නකොට ගොඩක් අය කාර්යාලයෙන් පිටත් වෙලා ගියාට පස්සෙත් සමායා තමන්ගේ රාජකාරිය අවසන් කරන්න කාර්යාලයේ රැඳුනා. මේ ලැබෙන්නේ සමායා එක්ක කතා කරන්න හොඳම අවස්ථාව කියලා නිමේෂ් හිතුවේ ඒ වෙලාවේ.ඉවසීමෙන් තවත් විනාඩි ගණනාවක් බලාගෙන හිටපු නිමේශ් ලිපි ගොණුවක් අරගෙන සමායා වැඩ කරන මේසය ළඟට ගියා.

ලිපිගොනුව සමායාට භාර දීලා ආපහු එන්න හැරුන නිමේශ් එක තත්පරයකට සමායා ළඟ නතර වුණා.

” ඔයාට ලස්සනට ලියන්න පුළුවන්. ආපහු ඒක පටන් ගන්න සමායා “

එහෙම කියපු නිමේෂ් යන්න ගියත් සමායා මොහොතකට ගල් ගැහුනා. වේගයෙන් ඇහිපිල්ලන් ගහපු ඇගේ දෑස් වලින් නොනැවතීම කඳුළු කඩාගෙන වැටුණා. ඇය නිමේෂ් ගිය මග බැලුවත් ඔහු පේන්න හිටියේ නැහැ. නොසන්සුන් හදවතින් ඉක්මනින් වැඩ ඉවර කරපු සමායා ගෙදර යන්න පිටත් උනේ මහා වේදනාවක් වගේම පුදුමයකුත් හිතේ තියාගෙන.

පළවෙනි වතාවට සමායාට උවමනා වුණා කාර්යාලයේ කෙනෙක් එක්ක කතා කරන්න. තමන් කාටවත්ම නොකියා පරිස්සම් කරගත්ත අතීතයේ කොටසක් නිමේෂ් දැනගත්තේ කොහොමද කියලා දැනගන්න සමායාට වුවමනා වුණා.ඒ නිසාම ඊලඟ දවසේ දවල් කෑම වෙලාවෙදි සමායා කෑම එකත් අරගෙන නිමේෂ් කෑම ගනිමින් හිටපු තැනෙන් වාඩි උනේ අනවසරයෙන්මයි.

” මං දැනගෙන හිටිය කොයිවෙලාවේ හරි ඔයා ප්‍රශ්නයක් අහන්න මං ගාවට එයි කියලා ” 

නිමේෂ් කිව්වේ සැහැල්ලු හිනාවකින්.ඒ හිනාවේ තිබුණේ අව්‍යාජ බවක් නිසා සමායාට නිමේෂ් ගැන අහිතක් හිතුනේ නැහැ 

” මං ගැන කවුරුත් දන්නෙ නැති දෙයක් ඔයා විතරක් දැනගත්තේ කොහොමද කියලා මට දැනගන්න ඕනේ නිමේෂ් ” 

නිමේෂ් ළඟ තිබුණ වතුර බෝතලයෙන් උගුරක් බීලා සමායා දිහා බැලුවා.හැමදාම වගේ ඇගේ ඇස් වල දැක්ක වේදනාව ඒ මොහොතෙදිත් නිමේෂ් සමායාගේ ඇස් වලින් දැක්කා.

” මං කෙළින්ම කතාවට බහින්නන් සමායා “

සමායා බලාගෙන හිටියා. ඒත් නිමේෂ්ට කිසිම හදිසියක් තිබුණෙ නැහැ.

” මං ටික කාලෙක ඉඳලා ඔයා දිහා බලාගෙන හිටියා සමායා. අනිත් අය වගේ ඔයා හැමෝම එක හිනා වෙලා කතා කරාට හැම වෙලාවෙම ඔයා මොකක් හරි දෙයක් ඔයාගේ හිත ඇතුලේ හංගගෙන ඉන්නවා කියලා මට හැමදාම හිතුණා ” 

” ඔයා ඊයේ හවස මට කියපු දේ ඔයා දැනගත්තේ කොහොමද ? ” 

සමායා ආයෙම ඇහුවා.

” මං ඔයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බැලුවා.ඒකෙ තිබුණේ මේ මෑත කාලෙදි ගත්ත ෆොටෝස් කීපයක් විතරයි.අඩුම ගානේ ඔයා අපේ ඔෆිස් එකේ කිසිම කෙනෙක්වත් ඇඩ් කරගෙන තිබුණේ නෑ නේ.මමත් ඔයාට රික්වෙස්ට් එකක් දාලා හුඟක් කල් ” 

සමායා ඒ කතාවට පුදුම වුණේ නැහැ. කාර්යාලයේ කිසිම කෙනෙක්ව සමායා ඒ වෙනකොට මුහුණු පොතට එකතු කරගෙන හිටියේ නැහැ. ඇයට ඇරයුම් කරලා තිබුන හැම දෙනාටමත් ඇය කිව්වේ ඇය වැඩිය මුහුණු පොත භාවිතා කරන්නේ නැහැ කියලා විතරයි.

” වෙලාවකට ඔයා හරි ගුප්ත කෙනෙක් කියලා මට හිතුනා. ඒ නිසා මං ඔයා ගැන ටිකක් වැඩිපුර හෙව්වා. එහෙම හොයනකොට මං දැක්කා අවුරුදු හතරකට විතර කලින් ඔයා ලියපු නවල් එකකට අවෝඩ් එකක් ලැබිලා තියෙනවා “

සමායාගේ දෑස් වලට කඳුළු පිරුණා. තමන්ගේ සිතුවිලි අකුරු කරපු ඒ අතීතය, ඒ සිතුවිලි වලට ලැබුණු ඇගයීම් සහ ආදරය ඇයට මතක් වුණා.

” මං ඒ පොත හොයාගෙන කියෙව්වා ” 

නිමේෂ් තවදුරටත් කියනකොට සමායාගේ ඇස් පුදුමයෙන් මහත් වුණා. 

” පෙනුමෙන් වගේම සිතුවිලි වලිනුත් ඔයා කොච්චර ලස්සන කෙල්ලෙක්ද කියලා ඒ පොත කියවල ඉවර කරද්දි මට හිතුනා. ඊට පස්සේ මං තවත් ඔයා ගැන හොයනකොට එතනින් පස්සේ ඔයා කිසිම දෙයක් ලියලා නෑ කියලත් මං හොයා ගත්තා ” 

නිහඬව බලා ගෙන ඉන්න සමායා ගේ දෑස් වල තියෙන කඳුළු වලට ලොකු හේතුවක් තියෙනවා කියලා නිමේෂ් ඒ වෙද්දි තේරුම් අරගෙන හිටියා.ඒ නිසාම කතාව නතර කරලා,  සමායා යමක් කියනකං නිමේෂ් බලා ගෙන හිටියා.

” මං ලියන එක නතර කරලා දැන් අවුරුදු කීපයක් වෙනවා. ඒත් මං කරන්න වැඩිපුරම ආස කරපු දේත් ඒක ” 

සමායා ආයෙමත් තත්පර කීපයකට නතර වුණා.

” මට අකිලව හම්බ වුණේ යාලුවෙක්ගේ බුක් ලෝන්ච් එකකදි. එයත් ලියන කෙනෙක් නිසා එයා මගේ හොඳ යාළුවෙක් වුණා. අපි දෙන්නම ලියන නිසාද මන්ද අපි දෙන්නගේ අදහස් මාර විදිහට ගැළපුණා. අපි හුඟක් කතා කළා.හුඟක් දේවල් බෙදා ගත්තා. අපි දෙන්නාට දෙන්නා නැතුව බැරි වුණා. හැබැයි ඒක තැනකදී අපි දෙන්නට එකට ගමනක් යන්න බෑ කියලා එයා තීරණය කරා “

දෑස් වල එකතු වෙලා තිබ්බ කඳුළු බිංදු වලට නිදහසේ ගලාගෙන යන්න සමායා ඉඩ ඇරියා.

” එයා මගේ ජීවිතේට ආවට පස්සේ ලියන දේවල් වල ලස්සන වැඩිපුරම දැක්කේ එයා. මං මොනවා හරි ලිව්වට පස්සේ එයා මොනවා හරි කියනකං මං බලාගෙන හිටියා.ඒ නිසාම එයා ගියාට පස්සේ මට කිසි දෙයක් ලියා ගන්න බැරි වුණා. එදා නතර වෙච්ච මං තාමත් එතනම නතර වෙලා ඉන්නවා “

සමායා ලොකු සුසුමක් හෙළුවා. තමන්ගේ හිතේ කොනකවත් කරන්න බලාපොරොත්තුවක් නොතිබිච්ච රැකියාවක්  කරන ගමන් අතීතය හංගන්න ගත්ත උත්සාහය අත්ඇරලා දාන්න ඕනේ කියලා සමායා ඒ මොහොතේ තේරුම් ගත්තා.

ඒ විතරක් නෙමෙයි, නිමේෂ් මේ තරම් උනන්දුවෙන් තමන් ගැන හොයන්න හේතුවත් සමායා තේරුම් ගත්තා.

තමන්ගේ හදවතේ ඉතිරිවෙලා තියෙන තුවාල වලට සුව වෙන්න ඉඩ දෙන්න ඕනේ කියලා සමායා කාලයත් එක්ක තේරුම් ගත්තා. ඒ සුව වීමට සමායාට ලොකුම උදව්ව උනේ නිමේශ්.

අවුරුදු ගානකට පස්සේ සමායා නිදහසේ හිනා වෙන්න පටන් ගත්තා. අවුරුදු ගානකට කලින් වගේම, සමහර වෙලාවට ඊටත් වඩා ලස්සනට සිතුවිලි අකුරු කරන්න සමායාට පුළුවන් වුණා. ජීවිතය නිදහසේ ගලාගෙන යන බව සමායාට දැනෙන්න පටන් ගත්තා.

තවත් මාස ගානකට පස්සේ සමායා අලුත්ම නවකතාව ලියලා ඉවර කරේ අවුරුදු ගානකට පස්සේ දැනුණු සැහැල්ලු හැඟීමක් එක්ක හුස්ම ගන්න ගමන්.ඒ හැම මොහොතකදීම සමායා තමන්ට තමන්ව හොයාගන්න උදව් කරපු නිමේෂ්ට හදවතින්ම ස්තූති වන්ත වුණා.

” සමහර වෙලාවට තමන්ට තමන්ව නැතිවෙන්නේත් , තමන්ට තමන්ව හොයාගන්න පුළුවන් වෙන්නෙත් ආදරය නිසා. හදවතක් තුවාල වෙන්නෙත්, ඊට පස්සේ සුවපත් වෙන්නෙත් ආදරය නිසා. මේ නවකතාවේ තියෙන්නේ එහෙම සුවපත් වීමක්.එහෙම ආදරයක්. මේ නවකතාවේ හැම තැනකම තියෙන ඒ ආදරය මට ඇත්තටම ලැබෙන නිසා තමයි අද මගේ කතාව පොතක් විදිහට ඔයාලගේ අතේ තියෙන්නේ ” 

සමායා තමන්ගේ නවකතාව එළිදැක්වීමේ දී නිමේෂ් දිහා බලාගෙන එහෙම කිව්වේ ස්තුතිවන්ත වෙමින් වගේම බොහොම ආදරයකින්. 

More Stories

Don't Miss


Latest Articles