5th Avenue – 20

0
91

උදෑසන පහයි විස්ස වන විට රිහාන් අවදි වූයේ එලාම් ඔරලෝසුව ක්‍රියාත්මක වන්නටත් පෙරය. ඔහු යහනෙන් නොබැස බොහෝ වේලාවක් සිවිලිම දෙස බලාගෙන කාලය ගත කළේ මනස පැහැදිලි කර ගැනීමේ ඉවමනාවෙනි. අඩ අඳුරේ ගිලී තිබුණු කාමරය වෙත තිර රෙදි අතරින් යන්තමින් එළිය ගලා එන බැවින් රිහාන් යහනේ අනෙක් පසට හැරුනේය. අලුත් දවසක් උදා වී තිබුණද ඔහු නින්ද සහ නොනින්ද අතරත් පෙර දිනයේ මතකය අතර මැදත් අතරමංව දෑස් පියා බොහෝ වේලාවක් හිඳ විවර කළේය. දුරකථනය තිබුණේ යහන මත රිහාන්ට පෙනෙන මානයේ ය. එසැණින්ම ඔහුගේ මතකයට පැමිණියේ ඉශිනි ය.ඔහු යළිත් දෑස් පියා ගත්තේ ඒ මතකය තමාගේ මතකයෙන් ඈත් වේ යයි බලාපොරොත්තුවෙන් වුවත් එය එසේ වූයේ නැත.

ඉශිනි ගේ සියුම් මදහස, සන්සුන් කතාබහ සහ හැඟීම් ප්‍රකාශනයේ සෘජු බව රිහාන්ගේ හදවත නැවත වාරයක් සසල කරමින් තිබිණි.ඇය පැවසූ ආකාරයට තරුණියකට වසර ගණනාවක් තරුණයෙකු හඹා ආ හැකිද? 

රිහාන් දුරකථනය අතට ගත්තේය. ඉශිනි පෙර දින රාත්‍රියේ දී සුභ රාත්‍රියක් පතා එවූ කෙටි පණිවිඩයට තමා පිළිතුරු නොදුන්නේ හිතාමතාය. ඇත්තටම තමා එවැන්නක් කලේ ඇයිදැයි කියා රිහාන් නැවත කල්පනා කළේය.දුරකථනයේ තිරය නිවා දමා රිහාන් අනෙක් පසට හැරෙන්නට සූදානම් වන විටම whatsapp ඔස්සේ කෙටි පණිවිඩයක් පැමිණි බවට සලකුණක් තිරය මත සටහන් විය.

” Good morning “

පණිවිඩය ඉශිනි ගෙන් වූ අතර රිහාන්ගේ මුහුණෙහි මදහසක් ඇඳුනේ නිරායාසයෙනි. ඔහු මද වේලාවක් විවෘත නොකල පණිවිඩය දෙස බලා හිඳ එය විවෘත කලේය.

” Good morning ” 

අනෙක් පසෙන් යමක් ටයිප් කරන බවට සලකුණු පෙනෙන්නට තිබුණු බැවින් පණිවිඩයක් පැමිණෙන තුරු රිහාන් බලා උන්නේය.

” Did you sleep?” 

ඉශිනි අසා එවා තිබුණේ එවැන්නකි. පුහුණුවීම් අවසානයේදී සුව නින්දක් බලාපොරොත්තුවෙන් නිවසට පැමිණියද එවැන්නක් ලැබුණේ නැත.තමා මේ මොහොතේ ද සිටින්නේ අවදියෙනි. ඒ කවරදාකවත් නොවන තරමේ නොසන්සුන් බවක් හදවතේ පවතින බැවින් යැයි රිහාන් අනුමාන කළේය. 

” Not really ” 

එසේ සටහන් කර යැවූ රිහාන් යහන මතින් වාඩි වී අසල වූ දුරස්ථ පාලකය ගෙන වායු සමීකරණ යන්ත්‍රය නිවා දැමුවේය.

” I knew it. ඔයා තාමත් ඊයේ ගැන හිතනවා”

ඉශිනි තමාගේ සිතැඟි කියවනා ආකාරය පුදුම සහගතය. සමහරවිට කෙනෙකු තවත් කෙනෙකුට තදබල ලෙස ආදරය කරන විට එය සාමාන්‍ය දෙයක් වනවා විය හැකිය. රිහාන්ගේ මුහුණේ ඇඳී තිබූ මදහස මොහොතකින් අතුරුදහන් වී ගියේය. තමා බලාපොරොත්තු වූවාටත් වැඩිය ,තමා සිතා සිටියාටත් වැඩිය ඉශිනි තමාව හොඳින් හඳුනන්නේය. 

රිහාන් දුරකථනය පසෙකින් තැබූවේය. සමහර විට පෙර දිනය කිසිවක් වෙනස් කර නැතුවා විය හැක.එසේත් නැත්නම් එය සියල්ල වෙනස් කර ඇතුවා විය හැක.දුරකථනයේ එලාම් ඔරලෝසුව ක්‍රියාත්මක වූයේ පුහුණුවීම් පිළිබඳව මතක් කිරීමක්ද සමඟය. එය අක්‍රීය කර දමමින් රිහාන් යහනෙන් බැස ගත්තේ අලසකමිනි.

නුවරඑළියේ පැවැත්වෙන සංගීත උළෙලට දින දෙකකට පෙර පිටත්ව යා යුතු බැවින් අවසාන වතාවට පැවැත්වෙන පුහුණුවීම් දිනය පිළිබඳව මතක් කිරීමක් මේඝ විසින් උදෑසන 7 වන විට watsapp හරහා සියල්ලන්ටම එවා තිබිණි. පිටත්ව යාමට සූදානම් වීම සඳහාත් විවේක ගැනීම සඳහාත් පසු දිනය වෙන් කළ යුතුව තිබෙන නිසා වෙනදාට වඩා ඉක්මනින් පුහුණුවීම් අවසන් කිරීමද කළ යුතු බව ඔහු එම පණිවිඩයේ තවදුරටත් සටහන් කර තිබුණේය.

මේඝගෙ පණිවිඩය පැමිණෙන විටත් ශෙනෝලි උන්නේ අවදියෙනි. පෙර දින රාත්‍රියේදී ආහාරයක් නොගැනීමත් බිඳක් හෝ නින්ද නොයාමත් නිසා ඇය උන්නේ වෙහෙසට පත්වීය. හිත තද කර ගනිමින් රිහාන්ගේ වෙනස පිළිබඳව නොසිතා ඉන්නට කොතෙක් උත්සාහ කළද ඒ සෑම විටකම එම උත්සාහය ව්‍යාර්ථ වන්නේ ඔහු තම හදවතේ බොහෝ තැන් වල නොසෙල්වී හිඳෙනා නිසා බැව් ශෙනෝලි හට ඒ වන විට පිළිගන්නට සිදුවී තිබිණි.

එහෙත්, තම දෛවය ලියවී ඇත්තේ අහිමි වීම් රාශියක් සමඟ නම් තමා කොතෙක් දේ බලාපොරොත්තු වුවද ඉන් පලක් නැතැයි සිතමින් ශෙනෝලි ගෙල අසලට වනතෙක් පෙරවාගෙන සිටි බ්ලැන්කට්ටුව පසෙකට කර යහනෙන් බසින්නට සූදානම් වූවාය.

තම නිදන කාමරයම තමා වටා කැරකෙන්නාක් මෙන් එකවරම දැනෙන්නට පටන් ගත් බැවින් ශෙනෝලි යහන් ගැට්ටේ වාඩි වී දෑස් තද කර පියා ගෙන තත්පර ගණනාවක් උන්නාය. යළිත් මොහොතකින් ශෙනෝලි දෑස් විවර කර ඉදිරියෙන් පෙනෙන දුහුල් තිර රෙදි දෙස බලන්නට උත්සාහ කළාය. දෑස් බොඳ වී අනතුරුව හිසෙහි බර ගතියක්ද තද බල ලෙස දැනුණු බැවින් ඇය ආයාසයෙන් දෙපා පොළොවට තද කර යහනෙන් නැගිට නාන කාමරය වෙත පැමිණ සීතල වතුර බිඳකින් මුහුණ තෙමා ගත්තාය.

කන්නාඩියෙන් පෙනෙන මලානික වූ දෑස් සහිත තම මුහුණ දෙස ශෙනෝලි බොහෝ වේලාවක් බලා උන්නේ ශෝකයෙන් බර වූ හදවතිනි. දෙමව්පියන්ගේ වියෝව හැරුණු කොට තමාව තද බල ලෙස කම්පාවට පත්කළ යමක් මේ වන විට තම ජීවිතයේ වේ නම් ඒ රිහාන් ය. ඔහු නිසා හිත රිදවා නොගෙන ඉන්නට මොනතරම් උත්සාහ කළද යථාර්ථයෙන් පලා යාම කළ නොහැක්කක් බව සිතමින් ශෙනෝලි නාන කාමරයේ දොර වසා ගත්තේ ස්ටූඩියෝව වෙත යාමට ප්‍රමාද වන බැව් සිහි කර ගනිමිනි.

අවසාන පුහුණුවීම පැවැත්වෙන දිනය බැවින් සියලු දෙනාම දැනුම් දී තිබූ වෙලාවටත් පෙර ස්ටූඩියෝව වෙත පැමිණෙමින් සිටියේ වෙනදා නොවූ උද්යෝගයෙනි. උදෑසනම අවදි වූ බැවින් රිහාන් ද උදෑසන 9 වන විට ස්ටූඩියෝව වෙත පැමිණ පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානමින් බලා උන්නේය. විවෘත වූ විශාල දොරටුවෙන් ඊළඟ මොහොතේදී ස්ටූඩියෝව වෙත ඇතුළු වූයේ පොඩි වී ගිය ටී ෂර්ටයකින් සැරසී මලානික මුහුණකින් යුතු වූ ශෙනෝලි ය. සියලු දෙනාම ඉතා සාමාන්‍ය ලෙස ඇයව පිළිගත්තත් රිහාන් පමණක් ඇගේ අස්වාභාවික බව නිරීක්‍ෂණය කළේය. ස්ටූඩියෝව කෙළවරේ ඇති සෝෆාවට මෙහායින් තිබෙන මේසය වෙත ගොස් නතර වූ ශෙනෝලි ඇගේ බෑගය එය මතින් තබා අසල වූ ලිපිගොනුව දිගහැර ගෙන එහා මෙහා පෙරළුවාය.

කඩදාසි මත ඇති අකුරු එකිනෙක පැටලී යන්නාක් මෙන් පෙනෙන්නට පටන් ගත් බැවින් ශෙනෝලි දෑස් තදකර පියාගෙන තප්පර කිහිපයකින් නැවත විවර කළාය. තමා වටා ඇති සියල්ලක්ම භ්‍රමණය වන්නාක් මෙන් නැවත දැනෙන්නට වූ නිසා ඇය ලිපි ගොණුව මේසය මත තබා මේසයේ කොනක් තද කර අල්ලා ගත්තාය. දෙපා පොළොවට තද කරගෙන නොසෙල්වී සිටින්නට ගත් උත්සාහය ව්‍යාර්ථ කරමින් දෙපා පණ නැති වීගෙන යන්නාක් මෙන් දැනෙද්දී ශෙනෝලි උදෑසන සිටම ආයාසයෙන් පාලනය කරගෙන හිඳී ශරීරයේ සියලු ශක්තිය අතහැර දැම්මාය. 

ශෙනෝලි ගේ අසාමාන්‍ය හැසිරීම දෙස බලා හිඳි රිහාන් යමක් ඉවෙන් මෙන් තේරුම් ගෙන අත තිබූ ගිටාරය පසෙක තබා සැණෙකින් ශෙනෝලි දෙසට යන්නට පියවර තබද්දීම ඇය තත්පරයක් වැනි කෙටි කාලයක් තුළදී බිම ඇද වැටුණාය.

” ශෙනෝලි “

රිහාන් ගේ කෑ ගැසීමත් ,ශෙනෝලි ඇද වැටුණු ශබ්දයත් නිසා සියල්ලන්ගේම අවධානය ඇය සිටි දෙසට යොමු වූයේ නිමේෂයකිනි. රිහාන් වහාම ඉදිරියට පැන බිම ඇද වැටුණු ශෙනෝලි ගේ හිස යටින් අත තබා ගෙන අනෙක් අතින් ඇගේ මුහුණට කිහිප වරක් තට්ටු කළේ දැඩි ලෙස බියපත් වීය.

මේඝ වහාම මේසය මත තිබූ ඇගේ බෑගය විවර කර ඇගේ කුඩා වතුර බෝතලය ගෙන එය විවෘත කර අත්ලට වතුර බිඳක් ගෙන ශෙනෝලි ගේ මුහුණ මතට ඉස්සේය.එහෙත් ශෙනෝලි දෑස් විවර කරන සේයාවක් හෝ පෙනෙන්නට තිබුණේ නැත.මේඝ නැවත කිහිප වරක් ඇගේ මුහුණ මතට වතුර ඉස බලා හිඳි අතර රිහාන් ශෙනෝලි ගේ මුහුණ පුරා වතුර තවරමින් මුහුණට තට්ටු කරමින් ඇයව පියවි සිහියට ගෙන ඒමට උත්සාහ දැරුවේය.

” Come on ශෙනෝලි.Please ” 

රිහාන් උන්නේ ගැහෙමිනි.තමාගේ දෑස් ඉදිරියේ මෙවැන්නක් සිදුවන්නේ ප්‍රථම වතාවටය.එයද තම සංගීත කණ්ඩායමේ කොඳුනාරටිය බඳු වූ යුවතියටය.

” ශෙනෝව හොස්පිට්ල් වත් අරගෙන යමුද රිහාන්? “

අශේන් තම සාක්කුවේ තිබුණු වාහනයේ යතුර පිටතට ගත්තේ එසේ අසමිනි. රිහාන් ඔහු දෙස හැරී බලා නැවත වාරයක් ශෙනෝලි ගේ මුහුණට තට්ටු කර ඇයව දෑතින්ම ඔසවා සෝෆාව මත තැබුවේ බොහෝ ප්‍රවේශමිනි.

ඊළඟ මොහොතේදී ශෙනෝලි යන්තමින් ඇසිපිය ගසමින් ආයාසයෙන් දෑස් විවර කළාය. රිහාන් වහාම ඇය අසලින් වාඩි වී ඇගේ දකුණත මෘදුව අල්ලා ගත්තේය.

” ශෙනෝලි ? Can you hear me ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here