5th Avenue – 21

0
71

ශෙනෝලි මලානික දෑස් වලින් බිය පත්වී තමා අසලින් වාඩි වී හිඳින රිහාන් දෙස බැලුවාය. 

” රිහාන් “

ඇය වෙතින් නික්මුණු හඬ දුර්වලය. ඇය මේ ආකාරයෙන් හිඳිනු සංගීත කණ්ඩායමේ කිසිවෙකුත් මින් පෙර දැක තිබුණේද නැත. හදවතේ සංකා කොතරම් තිබුනද ඇය මෙතෙක් කාලයක් ඒ සියල්ල සඟවාගෙන, සියල්ල දරාගෙන කලට වේලාවට තම රාජකාරිය ඉටු කළාය. නමුත් කුමක් හෝ හේතුවක් මත අද එම දරා ගැනීම යම් සීමාවක් කරා පැමිණ තිබේ.

” ඇයි ශෙනෝලි මේ ? ” 

රිහාන් ඇසුවේ මෘදුවය.

” I didn’t feel well “

අශේන් පැමිණ ශෙනෝලි ගේ අනෙක් පසින් වාඩි වූයේය. මේඝ ඇතුළු අන් අයද ඒ ආසන්නයේ අපිළිවලට තබා තිබූ අසුන් ඇදගෙන විත් ශෙනෝලිව පෙනෙන සේ වාඩි වූහ.

” කොයි වෙලාවේ ඉඳලද ? ” 

එවර අශේන් ඉස්සර වූයේය.

” උදේ ඉඳන් “

ශෙනෝලි පිළිතුරු දුන්නේ වරදකාරී හැඟීමකිනි.සියල්ලෝම පුහුණුවීම් නවතා දමා තමා වට කර වාඩි වී හිඳීම දරා ගත හැක්කක් නොවේ. 

” ඔයා කාටවත් කිව්වෙ නෑ ඉතින් ? ” 

රිහාන් ඇසුවේ නොරිස්සුමෙනි. සියල්ලන්ගේම වගකීම් දරනා ශෙනෝලි මෙවන් තත්ත්වයකට පත් වීම සුළු කොට තැකිය හැකි දෙයක් නොවේ. 

” මං හිතුවේ ඒක හරියයි කියලා “

මේඝ ඔහු අත වූ ශෙනෝලි ගේ වතුර බෝතලය ඇය වෙත දිගු කළේය. ශෙනෝලි සෝෆාවේ පහසුවෙන් හිඳි ඉරියව්ව වෙනස් කරමින් වාඩිවී වතුර බෝතලය අතට ගෙන උගුරු කිහිපයක් පානය කළාය.

” I am sorry ” 

අනතුරුව ශෙනෝලි මිමිනුවාය.අතිශය කාර්යබහුල දිනයක පුහුණුවීම් අඩාල වන්නට තමා හේතුවක් වීම පිළිබඳව ඇය උන්නේ ශෝකයෙනි.

” Apologize කරන්න දෙයක් නැහැ ශෙනෝලි. ඒත් අපි හැමෝම බය වුණා.අපි හැමෝමවම ඇදගෙන ඉස්සරහට යන ඔයාට එකපාරටම මෙහෙම උනහම මම නම් හොඳටම බය වුණා “

මේඝ පැවසුවේ ඇත්තටමය. පහසුවෙන් ශෙනෝලි සමග එකඟ නොවන ඔහු ඒ මොහොතේ පවා උන්නේ බියෙනි. ඒ වන විටත් ශෙනෝලි ගේ දෑත් යන්තමින් වෙව්ලන ආකාරය රිහාන් හට නිරීක්ෂණය වූයේ අනතුරුවය.

” ශෙනෝ අපි ඔයාව ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කන් යන්නද ?” 

ශෙනෝලි එසැණින් අශේන් දෙසට හැරී ” එපා “යයි කියන්නට මෙන් හිස වැනුවාය.

” You ‘ re saying you’re fine?” 

රිහාන්ගේ ස්වරයේ තැවරී තිබුණේ තරවටුවක හඬකි. සියල්ලෝම තමා පිළිබඳව ඕනෑවට වඩා වද වීමද ශෙනෝලි වෙත ගෙන එමින් තිබුණේ අපහසුවක් වුවත් ශාරීරිකව දැඩි අපහසුවකින් පෙළෙමින් හුන් නිසා ඇය ඕනෑවට වඩා ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී උන්නාය.

” මං හරියට කෑවේ නෑ.කෑවෙ නෑ කියන්නේ බඩගින්නක් තිබ්බේ නෑ.ඒක වෙන්න ඇති මේ “

රිහාන් ගේ දෑස් පුදුමයෙන් මහත් වූයේ ශෙනෝලි දුන් ඒ පිළිතුර ඇසුණු පසුවය.

” කෑවේ නෑ ? කොයි වෙලාවෙද එතකොට ඔයා අන්තිමට කෑවේ ? “

ශෙනෝලි ඉවත බලා ගත්තේ වුවමනාවෙන්ම රිහාන්ගේ දෑස් මඟ හරිමිනි.

” ඊයේ දවල් “

ශෙනෝලි මිමිනුවාය. එවර රිහාන් සැබැවින්ම කෝපයට පත් වූයේය. එය ඔහුගේ මුහුණෙන් පැහැදිලිවම දක්නට තිබිණි.

” Shit. You came here without eating anything? “

එවර ශෙනෝලි පිළිතුරක් නොදී බලා හිඳ අත තිබූ වතුර බෝතලය විවෘත කර තවත් වතුර උගුරක් පානය කළාය. 

” ඒකනං එච්චර හොඳ සෙල්ලමක් නෙමෙයි ශෙනෝ. මෙතන අපි කාටත් වඩා වෙලාවකට මහන්සි වෙන්නේ ඔයා “

අශේන් එසේ පැවසුවද ශෙනෝලි ඔහු දෙසවත් නොබලා ඉවත බලාගෙනම උන්නාය. හදවතේ නැගෙන ගින්දර මේ සියල්ලටම වඩා බලවත්ය.  නින්දන් නොනින්දත් අතරේ ගතකරන බොහෝ රාත්‍රීන් තමාව ශාරීරිකව දුර්වල කරමින් හිඳින බව පිළිගන්නට සිදුව ඇතත් තමා වටා තිබෙන වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතු මොහොතක තමා පිළිබඳව තැවෙමින් නතර වී හිඳින්නට ශෙනෝලි හට උවමනා වූයේ නැත. තමාව නිරන්තරයෙන් පෙළන තනිකම, ශෝකය සහ සංවේගය කිසිවෙකුටත් නොපෙනෙන්නට වග බලා ගැනීමට උත්සාහ කළත් මේ උදා වී තිබෙන්නේ එම උත්සාහය නිශ්ඵල වූ දිනයකි.

” ඔයාට තාම අමාරුද? මං අහන්නේ නිකන් කැරකිල්ල වගේද ? “

රිහාන් සාක්කුවේ වූ ජංගම දුරකථනයත් වාහනයේ යතුරත් අතට ගෙන නැගී සිටියේය.

” ටිකක් ” 

ශෙනෝලි පිළිතුරු දුන්නේ ඇසෙන නෑසෙන ගානටය. ඇය තමන් පිළිබඳව නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව කෝපයක් ඒ මොහොතේ හිතේ තිබුණද රිහාන් නොපෙන්වා හිඳීමට උත්සාහ කළේය.

” Then you’re not getting up.”

රිහාන් විධානයක ස්වරයෙන් කීවේය.

” මට වැඩ ගොඩක් තියෙනවා රිහාන් “

” ඒවා ගැන අපි බලාගන්නම් ශෙනෝ ” 

අශේන්ද සෝෆාව මතින් නැගී සිටි අතර රිහාන් හැරුනේ මේඝ වෙතටය

” මේඝ. Let ‘ s go. අපි මෙයාට කන්න බොන්න මොනව හරි අරගෙන එමු “

මේඝ වචනයක්වත් නොකියා රිහාන් සමඟ පිටව යන්නට සූදානම් වන විට ශෙනෝලි කිසිවක් නොකියා බලා උන්නේ සිතට සහ ගතට දැනෙන දුර්වල කමත්, මේ මොහොතේදී තමා මොනවා පැවසුවත් රිහාන් එයට එකඟ නොවන බවත් දන්නා නිසාත්ය. 

” මීට වැඩිය හොඳ නැද්ද අපි ශෙනෝලි ව ගෙදරට ඩ්‍රොප් කරානම් ? එයාට රෙස්ට් කරන්න පුළුවන්නේ. හොඳට කාලා බීලා ටිකක් නිදා ගත්තනම් හොඳයි කියලා මට හිතෙන්නේ” 

මෙතෙක් වේලා නිහඬව සිටි සිහින ඇසුවේ මේඝ සමග පිටතට යන්න සූදානම් වන රිහාන්ගෙනි.

” මෙයා ගෙදර තනියම ඉන්න වෙලාවක මෙහෙම ෆේන්ට් වෙලා වැටුනොත් අපිට මෙයාව හොයන්න වෙන්නේ පොලිස් බල්ලො දාලා තමයි “

රිහාන් යන්තමින් සිනාසෙමින් වුවද පැවසුවේ ඇත්තකි. නිවසේ තනිවම ජීවත් වන තමාට කුමක් වුවත් කිසිවෙකුටත් දැනගන්නට හැකියාවක් ඇත්තේ නැත.

” ඒකත් ඇත්ත නේ “

රිහාන් බැරෑරුම් ලෙස ශෙනෝලි දෙස නැවත බලා මේඝ සමග පිටව ගියේය. අන් සියල්ලෝම තම අසුන් වලට යද්දි අශේන් නැවත ශෙනෝලි අසලට විත් වාඩි වූයේ ඇය සෝෆාව මතට හිස බර කර ගෙන ඉදිරියෙන් පෙනෙන බිත්තිය දෙස නිසොල්මනේ බලා ඉන්නා අතරේය.

” ශෙනෝ ” 

අශේන් ගේ හඬ කවර දාටත් වඩා වෙනස්ව, මෘදුව තිබිණි. ශෙනෝලි ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.සියල්ලක්ම විහිළුවට ගන්නා, සංගීත කණ්ඩායමේ වගකීම් පිළිබඳව පවා සැහැල්ලුවෙන් සිතන අශේන්ගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම තිබුණේ වෙනස් වීය.

” ඔයා මොකක් හරි ප්‍රශ්නෙක නේද ඉන්නේ? “

ශෙනෝලි වහා ඉවත බලා ගත්තාය. හැඟීම්බර වීම හෝ පෞද්ගලික දෑ බෙදා ගැනීම තමා කිසි දිනකත් රාජකාරී වේලාව තුළ හෝ ස්ටූඩියෝව තුළදී මෙතෙක් සිදුකර නැත. හිස කෙලින් තබාගෙන තමාට රාජකාරියේ නියැළීමට හැකිව ඇත්තේ ද ඒ නිසාය.කවර තත්ත්වයක් යටතේ වුවද තමාට ඒ බැමි බිඳ දැමිය නොහැක.

” එහෙම දෙයක් නෑ අශේන්. කෑවෙ නැති උනාම ඕනම කෙනෙක්ව ෆේන්ට් වෙන්න පුළුවන්නේ “

මොහොතකට පෙර වූ සිදුවීම ඉතා සරල සාමාන්‍ය එකක් බව අශේන් හට ඒත්තු ගන්වන්නට ශෙනෝලි උත්සාහ දැරුවාය. එහෙත් අශේන් ඒ පිළිතුර භාරගත් බවක් දක්නට තිබුණේ නැත.

” සමහර මිනිස්සු සමහර දේවල් සෑහෙන්න ඉවසන් ඉන්නවා ශෙනෝ. හැබැයි එක වෙලාවක් එනවා ඒක එහෙම කරන්න බැරි. මං අද ඔයාගෙන් දැක්කේ එහෙම දෙයක් “

ශෙනෝලි දෑසට නැගෙමින් තිබෙන කඳුළු වළක්වා ගත්තාය. මෙය සංවේදී විය යුතු,හැඟීම්බර විය යුතු මොහොතක් නොවේ.

” මං විතරක් නෙමෙයි, ඔයාට වෙච්ච දේ දැකලා, ඔයා හිටපු විදිහ දැකලා හැමෝම ගොඩක් බය වුණා. මොකද මෙච්චර කාලයක් අපි දැකල තිබුණ ශෙනෝලි හරිම strong  කෙනෙක්. ඒ strong මනුස්සයටත් මෙහෙම වෙන්න පුළුවන් කියන එක මං හිතන්නේ අනිත් අයටත් හිතාගන්න බැරි උනා “

ශෙනෝලි තවදුරටත් මුනිවත රකිමින් උන්නාය. පිට කර ගන්නට නොහැකි වූ හැඟීම් බොහොමයක් හදවතේ එක් රැස් වෙමින් තිබුණද ඒවා තමා සතුවම තබා ගන්නවා හැරුණු කොට වෙනත් විකල්පයක් නැති හෙයින් නිහඬවම හිඳින්නට ශෙනෝලි ඒ වන විටත් තීරණය කර තිබුණාය.

” අපි හැමෝම ඉන්නේ එක පවුලක් වගේ. සතියේ දවස් හතෙන් වැඩි දවසක් අපි හැමෝම ඉන්නේත් එකට. උදේ ඉඳන් රෑ වෙනකන්ම. ඉතින් එහෙම එකේ ඔයාට වැඩ වැඩි නම්, ස්ට්‍රෙස් වැඩි නම්, එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් නම් ඔයාට අපිත් එක්ක කතා කරන්න බැරි නෑ නේද ? මං අහන්නේ ඔයා මොකක් හරි දේකට තනියම සෆර් කරනවනම් ඔයාගේ වටේ අපි ඉන්න එකේ තේරුම මොකක්ද ශෙනෝලි ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here