පසළොස්වක මල් – 34

0
99

කෙටි අත් සහිත මෙරුන් පැහැ ගත් දණහිස තෙක් පමණක් දිගු වූ ගවුමක් හැඳි යුවතිය උදෑසන සිට ගෙඩියක් සේ බැඳ දමා සිටි කොණ්ඩය නෑමෙන් පසු වියළා පිට දිගෙහි විසුරුවා දැමුවාය. ඉන් පසුව ක්‍රීම් පැහැ ගල් ඇල්ලූ රවුම් හැඩැති කරාඹු ද්විත්වයක් හා ඒ ආකාරයටම නිම වූ බඳ මහත වළල්ලක් පමණක් එක් අතක පළඳා ගත්තාය. 

” මේ ඇති..” 

තනිවම සිතූ ඈ කුඩා විසිතුරු අත් බෑගය පමණක් රැගෙන තරප්පු පෙළ පහළට බැස එනවිටත් මහීකා ආලින්දයේ ඈ එනතුරු රැඳී සිටියාය. 

” ආව්ව්..ආව්ව්.. මෙයාගේ ලස්සන.. මොකෙක් හරි එකෙක් උස්සන් යයිද කියලත් මට බයයි දෙයියනේ දැන් නං “

” අනේ.. ආන්ටී..!” 

” පරිස්සමින් ගිහින් එන්න. “

” හරි ආන්ටී..!” 

එවේලෙහිම ගේට්ටුව දෙසින් ඇසුණු නලා හඬට එදෙසට හැරුණු මහීකා වහා ගේට්ටුව විවර කළාය.

” තේජ්ලා ඇවිල්ලා. “

” යන්නං ආන්ටී..!” 

මහීකාගේ දෙපා නැමැඳූ ඈ හිස ඔසවා යළි ඈ සමඟ සිනාසුණාය.

” අපේ ලොකූවත් චුට්ටක් බලන්න දුමී. දවලුත් ලන්ච් අරන් තිබ්බේ නෑ. මීෂා ප්ලේට් එකක් අතටම දීලත් මේ කොල්ලා කාලා නෑ. ‍රෑටත් ඔය කට්ටිය එක්ක බීමට වැටිලම ඉඳී. “

සිනාපිරි මුව ක්ෂණිකව අඳුරු වී ගිය අතර පිළිතුරක් නුදුන් ඈ මහීකාට සමුදී වහා නවතා තිබූ මෝටර් රථයට ගොඩ වූවාය.

” ඔයා හරි ලස්සනයි අක්කේ.. “

දෙපතුල තෙක් දිග් වූ තනි කළු පැහැ ටියුබ් ගවුමක් හැඳ සිටි උමන්දා දුටු පමණින් මිහිදුමී එසේ පැවසුවාය.

” මං විතරක්ද ? උදේ සාරියක් ඇඳන් හිටපු කෙල්ලද කියලා හිතන්නවත් බෑ. “

උමන්දා එසේ පවසමින් ඇගේ කොපුලක් මිරිකුවාය. 

ජීවිතයේ ප්‍රථම වතාවට සමාජ ශාලාවකට ගොඩ වූ මිහිදුමී එක දිගට සවිදිය පුරන , ගීත ගයන , නර්තනයේ යෙදෙන තරුණ තරුණියන් හා එකිනෙක ගැටෙන මත් පැන් වීදුරු හඬ , ගීත හඬ හා වෛවාරණ ආලෝක කදම්බ මධ්‍යයේ වටපිටාවේ අසිරිය විඳිමින් සිටියාය. 

” තේජ් ..! අස්නක කෝ..?” 

උමන්දා තමා අසල වූ වයින් වීදුරුව තොල ගාමින් සැමියා දෙසට හැරුණාය.

” ඒක තමයි මාත් බැලුවේ. එනවා කියලා කිව්වනේ. “

” තේජ්..! හායි දුමී..!” 

” හායි අෂ්මිල අයියා..!” 

” මේ ලොකුවා කෝ බං ?” 

” මීෂාව එක්කන් එන්න ගියා . දැන් එයි “

අෂ්මිල එසේ පවසා ටීපෝව මත තිබූ වයින් වීදුරුවක් අතට ගෙන මිහිදුමී දෙසට හැරුණේය.

” මිහිදුමී..! ග්ලාස් එකක් ගන්න ” 

” එපා.. අයියේ . මං අමධ්‍යපයි “

” අම්මටසිරි “

සියල්ලන්ගේම සිනහ පිරි හඬ මැදින් සමාජ ශාලාවේ කෙළවරින් මතුවූ රූ ද්විත්වය දැක යළිත් වරක් මිහිදුමීගේ උවන අඳුරෙන් පිරුණි. සිහින් පටි යෙදූ දණහිසටත් මඳක් ඉහලින් කෙටි වූ සිරුරටම ඇළුණු තද රතු පැහැ ගවුමක් හැඳ පැමිණෙන ඇයත් , වැළමිට තෙක් නැවුණු අත් දිගු තද නිල් පැහැ කමිසයකින් හා තද කලු කලිසමකින්  සැරසී සිටි ඔහුත් දෙස එක එල්ලේ බලා සිටි මිහිදුමී අඳුරු කරගත් උවන පොළොවට බර කර ගත්තාය. 

” බැලුවොත් එල්ලිලා.. “

යටිසිතින් මීෂා කෙරෙහි නැඟුණු අමනාපය කෝපයක් බවට පත් වද්දී ඇගේ නොසන්සුන් උවන මත දෑස ගෙන ගිය උමන්දා යටැසින් සැමියා දෙස බැලුවාය. 

” හායි මිහිදුමී..!” 

හිඳ උන් අසුන පසුපසින් ඇසුණු හඬට හැරී බැලූ ඈ එහි වූ දිහස් දෙස බලා පුළුල් සිනහවක් පෑවාය. 

” shall we dance ?”

” sure “

දිහස් දිගු කළ අතට අත දුන් මිහිදුමී ඔහු සමඟ නර්තනයේ යෙදෙන්නවුන් අතරට ඇවිද ගිය අතර ඒ දෙස බලා සිටි වැළපෙන දෑස ගිනි ළෑවේය.

” ප්‍රහාරය අශිෂ්ටයි නං , ප්‍රති ප්‍රහාරයේ ශිෂ්ටත්වය හොයන්න එපා කියනවනේ. ඒ නිසා ගිනි පිබින්නැතුව හිටහන්.” 

” මීෂාට එන්න කෙනෙක් හිටියේ නෑ. “

” උඹ ඉතිං රථාචාරියාද ?” 

දිහස්ගේ දෑතේ වෙළී නර්තනයේ යෙදෙන ඇගෙන් දෑස මුදවා ගත් තරුණයා කිසිවක්ම නොදොඩා ඉහල මහල වෙත අඩි තැබුවේය. 

සමාජ ශාලාවේ ඉහල මහලේ ඔවුනටම වෙන් කෙරුණු කුටියක් තුළ විසල් මත්පැන් බෝතල් කිහිපයකට මැදිවී ඉන් වීදුරුවක් අතට ගත් අස්නක විජේසංහ හදවතේ නැඟි වේදනාව හමුවේම හිඳ උන් තැනින් නැඟිට කුටියේ වීදුරු ද්වාරයෙන් පිට පෙනෙන විදුලි පහන් දල්වා ඇති විසල් ගොඩනැගිලි දෙස නිහඬවම බලා සිටියේය. තව දුරටත් මිත්‍රයාගේ හෝ ඇගේ මුරණ්ඩුකම් වලට ඉඩ නොතැබිය යුතු බව වටහා ගනිමින් උන් තේජ් ජංගම දුරකතනය අතට ගෙන උමන්දා හට කෙටි පණිවිඩයක් තැබුවේය.

” නංගි..! වොශ් රූම් එකට යන්න ඕනේ. උඩට යන්ද ? ” 

බොහෝ යාප්පුවෙන් නර්තනයේ යෙදෙමින් උන් දිහස්ගෙන් සමු ගෙන පැමිණ යළි උමන්දා අසල අසුන් ගත් මිහිදුමී දෙස බලා උමන්දා එසේ පැවසූ අතර ඈ වහා උමන්දා සමඟ හිඳ උන් තැනින් නැඟී සිටියාය.

උමන්දා හා ඇතුළු වූ කුටියේ සෝපාවක් අසල වූ ටීපෝවක් මත වූ විසල් මත් පැන් බෝතල් තොගයත් , එහි පසෙක මත්පැන් වීදුරුවක් අතැතිව සිට ගෙන සිටින තරුණයා දෙසටත් බැල්මක් හෙළූ තරුණියට වහා මහීකාගේ වදන් සිහියට නැඟුණාය. 

” අපේ ලොකූවත් චුට්ටක් බලන්න දුමී. දවලුත් ලන්ච් අරන් තිබ්බේ නෑ. රෑටත් ඔය කට්ටිය එක්ක බීමට වැටිලම ඉඳී. “

” හායි ඩාලින් “

හිඳ උන් සෝපාවෙන් නැඟිට ආ තේජ් උමන්දාගේ බඳ වටා අතක් යවා ඈ තමාගේ තුරුළට ගත්තේය. 

” මොනාද තේජ් ? පාටි එකකට ඇවිල්ලා ඔයාලා තනියම මෙහෙට වෙලා බිබී ඉන්නවා. “

” මේ අපේ ලොකූගේ කෙල්ල තරහා වෙලාලු බබා. ඌ දුකට මෙතනට වෙලා බොනවා. කොහොමද කියන්නකෝ දාලා එන්නේ ? ඔයා ආපු එක හොඳයි . එන්නකෝ.. ඔයත් එක්ක පොඩි කතාවක් දාන්න තියනවා. “

” මේ වෙලාවේ මොන කතාද ? ඔයාටනං වැඩියි වගේ තේජ් “

” අඩේහ්.. මගේ ගෑනි නේද ? මෙන්න මෙහෙ එනවා. ඔයත් එක්ක නැති කතා මං වෙන කාත් එක්ක කරන්නද ?” 

එසේ පැවසු තේජ් මිතුරා දෙස බලා ඇසක් ඉඟි මරමින් කුටියේ පසෙක වූ නිදන කාමරයක් තුළට උමන්දා සමඟ ඇවිද ගියේය. 

හදවත පමණක් නොව වටපිටාවේ පරිසරයද බොහෝ බර මෙන්ම තද ගතියකින් පිරී ඇති බවක් මිහිදුමීට දැනුණාය. කුටිය තුළ සිටි ඔහු ඉදිරියේ තව දුරටත් සිට ගෙන සිටීමට අපහසු වූ ඈ සෙමින් අනෙක් පස හැරී යළිත් පහත මහලට යාමට අඩි තැබුවාය . නමුත් රළු හස්තයකට මැදි වූ ඇගේ අතක බාහුවක ඇගේ ගමන නවතාළුවේය. 

” කොහෙද යන්නේ ?” 

රළු ස්වරයට පිළිතුරු බැඳීම අනවශ්‍ය ලෙස සිතූ ඇගේ හදවත පුරාම මීෂාගේ රුව උඩට නැඟිණි. 

” කන් දෙක ඇහෙන්නැද්ද ? කොහෙද යන්නේ ?” 

” ප.. පහලට..” 

පිළිතුරු ලැබෙන්නේ තවමත් ඔහුගෙන් ඉවත බලාය.

” මොකටද ? ආයේ දිහස් එක්ක ඩාන්ස් කරන්නද ?” 

” නෑ.. මීෂා අක්කට එන්න කියන්න. ආන්ටී එද්දි කිව්වා බලලා ඩිනර් ඇරේන්ජ් කරලා දෙන්න කියලා. “

තව දුරටත් රළු වූ හස්තය තදින් අල්ලා ගත් ඇගේ දෙවුරින් අසල වූ බිත්‍තියට තද කර දැමුවේය. ඉන් පසුව රත් පැහැයෙන් කෝපයෙන් පිපිරෙන මුහුණ තවමත් වෙව්ලමින් රතුව චෙරි ගෙඩියක් බඳු වූ උවන අද්දරට පහත් විය.

” මීෂා කියන්නේ මට මගේ නංගි වගේ. ඒ කෙල්ල පොඩි කාලේ ඉඳලම මායි , මල්ලියි එක්කමයි හැදුණේ. “

” ඉතිං මට කියන්නේ ඇයි ?” 

වෙව්ලන ස්වරය මුරණ්ඩුව පමණක් ප්‍රධාන කොට තිබිණි.

” දැනගන්න ඕනේ නැද්ද ?” 

” නෑ.. “

” හ්ම්ම්.. වෙන්නැති. දැන් ඉන්නවනේ ශනූගේ මල්ලි.”

” ඌ හොඳ එකා කියලා මුලින්ම චරිත සහතික දුන්නේ කවුද ? මමද ? ආ..? “

” දුමී..! රණ්ඩු වෙන්නෙපා..ප්ලීස්..! දැන් ඇති නැද්ද ? මුලින්ම ගමේ ගිහින් දවස් ගාණක් හිටියා. ඊට පස්සේ ආපු දා ඉඳන් අද මේ වෙනකන් සතියකට වැඩිය මාව මඟ ඇරියා. දැන් ඇති නැද්ද දුමී..?” 

පිරිමි ස්වරයේ කිසිදු කෝපයක් තැවරී නොතිබුණි. එකී ස්වරයටම හදවතේ වූ තරහව දිය වී ගිය ඇගේ දෙනෙතින් ඊලඟ මොහොතේ කඳුළු පේළියක් කොපුල් මතට වැටිණි. 

” මීෂා දිහා මගෙම නංගි විදිහට ඇරෙන්න මට වෙන විදිහකට බලන්න බෑ දුමී.. මීෂාව හේතුවක් කරගෙන මට මෙහෙම රිද්දන්න එපා.

මං අවුරුදු ගාණක් තිස්සේ විඳවන මිනිහෙක්. එක දවසක්වත් සැනසීමෙන් ඉන්න එපාද දුමී.? ඔයාට ඕනෙත් මට රිද්දන්නද ? ඔයාට ඕනෙත් මං විඳවනවා බලන්නද ? ආ..? “

පිළිතුරු නැති ප්‍රශ්න කන්දක් හමුවේ ඈ දිගින් දිගටම පොළොවට බර කරගත් උවනින් කඳුළු වැගිරුවාය.

” ගමේ ගිය වෙලාවේ කෝල් එකක් ගත්තේ ඉක්මනට එනවද කියලා අහන්න. ඒක අහන්න ගත්තම මං වැඩිකල් ඔයාලගේ ගෙදර ඉන්නෑ. මාමා තැනක් අරන් දෙනවා කිව්වා. , ඊට පස්සේ ඔයාට පාඩුවේ ඉන්න පුලුවන් කිව්වා. එතනත් බැලුවේ මට වචනෙකින් හරි රිද්දන්න. “

” ඉතිං ඔයානේ කිව්වේ ඔයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා. මං කොහෙවත් ඉඳලා ඔයාලගේ ගෙදරට ඇවිල්ලා ඇයි ඔයාට කරදර කරන්නේ ?”

කඳුළු පිරි උවන වහා ඔහු දෙසට එසවූ ඈ ඉකි ගසමින්ම පිළිතුරු බැන්ඳාය. කිසිවක්ම නොබිනූ ඔහු හිස පහතට කර වේදනාවෙන් සුසුම් ළෑවේය.

” කාලා නෑ නේද ? එන්න.. ගිහින් කමු. “

නිහඬව ගෙවී ගිය මිනිත්තු කිහිපයක් පුරාවටම ඔහුගේ වේදනාබර උවන දෙස බලා සිටි ඈ අවසානයේ මුව විවර කළාය. 

” ඕන්නෑ..”

” ආන්ටි කිව්වා දවල්ට කාලත් නෑ කියලා. “

” බෙදලා දෙන්න කිව්වම යන්න ගියේ ” 

” ඇයි අර එක්කෙනෙක් බෙදලා අතටම දුන්නේ ?” 

” අතට ලැබෙන හැමදේම කටට දාගන්න මං පිස්සෙක් නෙමෙයි දුමී. මට ඕන දේ ලැබුණෙ නැත්තන් ආ.. ඒක නැති උනාට කමක් නෑ මේක තියනවනේ කියලා එක දෙයක් වෙනුවෙන් තව තව ඔප්ෂන්ස් හොයන්න යන එකෙක් නෙමෙයි මං. එහෙම කරනවනං මට ඒවට ගොඩක් චාන්සස් තිබ්බා. ඒත්.. මට ඕන දේ නැත්තන් අනිත් දේවල් වලිනුත් මට ඇති වැඩක් නෑ.. “

ඈ යළිත් වහා උවන බිමට බර කර ගත්තාය.

” දෙයක් ඉල්ලන්න කරනවද ?” 

ඒ හඬ පෙරටත් වඩා බොහෝ පහත්ය.

” මො.. මොකද්ද ..?” 

” අපේ ගෙදරින් යන්නෙපා. යුනිවසිටි ගිහිල්ලා ඉවර වෙනකන් දිගටම ඉන්න. ඊට පස්සේ උනත් ඉන්න. හැමදාටම උනත් ඉන්න.. යන්නෙපා..”

පෙරටත් වඩා ඔහුගේ හඬ බිඳුණු ස්වරයක් ගත් අතර ඈ සුරුස් හඬින් නාසය ඉහලට ඇද්දාය. 

” යන්නෑ දෙයියනේ.. කවදාවත් දාලා යන්නෑ. මං ඔයාට මහ ගොඩක් ආදරෙයිනේ..!” 

තනිවම යටි සිතින් ඔහු දෙස බලා එසේ සිතූ ඈ නිහඬව කොපුල මතට වැටුණු කඳුළක් පිස දැමුවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here