“මිනිහට දැන්ද මතක් වෙලා තියෙන්නෙ තමන් කසාද බැඳලා විත්තිය?”
සාරා එහෙම ඇහුවෙ නෙත්මලී දිහා බලාගෙනමය.
“මෙච්චර දවසක් ඔයාට නිකන් හෝප්ස් දීලා ඔයාට feelings එනකම් ඉඳලා දැන් ඇවිල්ලා කියනවා මං බැඳපු මනුස්සයෙක් කියලා?”
නෙත්මලී කිසිවක් නොකියා අඬමින්ම බලාගෙන උන්නාය.
“ඒ මනුස්සයාට මුලින්ම ඒක කියන්න තිබුනනෙ ඒක නෙත්” කියා සාරා කිව්වාට නලින්ද්‍ර එහෙමටම නරක මනුස්සයෙක් යැයි කියා පිලිගන්නට හිත තවම සූදානම් නැත. නලින්ද්‍ර තමන්ගෙ හිත මේ සා රිදෙන්නට හේතුවක් වී තිබුණද, ඔහු තමන්ව රැවැට්ටුවා යැයි කියා හිතන්නට ඇගේ හිත ඉඩ දුන්නේ නැත. ඔහු තමන්ට ඇත්ත කියූ බවත්, තමන්ට බොරු බලාපොරොත්තුවක් දෙන්නට නොසිතූ බවත්, අන්තිමේදී හෝ තමන්ට සම්පූර්ණ කතාව කියන්නට ඔහු උත්සාහ කළ බවත් නෙත්මලීට මතක තිබුණේය.
ඒ නිසාම සාරාගේ වචනවලට එකඟ වෙන්නටත්, නලින්ද්‍රව සම්පූර්ණයෙන්ම වැරදිකාරයෙකු කරගන්නටත් හිත ඉඩ දුන්නේ නැත.
ඒත් අවසානයේදි ඇත්ත කියා ඔහු හොඳ මනුස්සයෙකු වීමෙන් තමන්ට මේ තරම් රිදුණු එක අඩු වූයේද නැත.
සමහරවිට නලින්ද්‍ර නරක මනුස්සයෙක් වුණා නම් මේ හැමදේම මීට වඩා ලේසි වෙන්නට තිබුණායැයි නෙත්මලීට හිතුන බව ඇත්තකි. එහෙම වුණා නම් නලින්ද්‍ර එක්ක අමනාප වෙන්නට තිබුණි. ඔහු ගැන වැරදි මතයක් හදාගන්නට තිබුණි. ඔහුගෙන් ඈත් වෙන්නට හේතුවක් හදාගන්නට තිබුණි. ඒත් ප්‍රශ්නය වූයේ නලින්ද්‍ර ගැන එහෙම කියන්නට තරම් දෙයක් තමන් ළඟ නොතිබීමය.
නලින්ද්‍ර වරදක් කර තිබුණ බව ඇත්තකි. තමන්ට රිදවා තිබුණ බව ඇත්තකි එහෙත් ඒ හැමදේම අතරේත් ඔහු තමන්ට ආදරේ නොකරන මිනිසෙකු ලෙස නොව තමන්ට ආදරේ කරලාත් ඒ ආදරේ එක්ක කිසිවක් කරන්නට නොහැකිව සිටින මිනිසෙකු ලෙස පෙනෙද්දී නරක නලින්ද්‍ර නොව නරක ඉතින් තමන්ගේ දෛවය යැයි නොසිතා ඉන්න හැටියක් නෙත්මලීට තිබුණේ නැත.
කෙනෙක්ව අමතක කරන්නට හේතුවක් හොයද්දී, ඔහු ගැන නරකක් හොයාගන්නවත් බැරි තරමටම හිත ඔහු වෙනුවෙන් පැත්තක් ගෙන තිබීමත් තමන්ගේම කරුමයක් බව නෙත්මලීට හිතුනේ ඒ නිසාය.
“හරි. එයා divorce වෙන්න යනවා කියලා කියමුකො. ඒගොල්ලන්ගෙ marriage එක හරි නෑ කියලා කියමු. ඒක එයාගෙ personal life එක. මං ඒ ගැන මොකුත් කියන්නෙ නෑ.” සාරා නෙත්මලී ළඟට මඳක් ළං වූයේ එසේ කියමිනි,
“ඒත් ඔයාගෙන් මං අහන්නෙ එක දෙයයි. ඔයා මොකටද මේ වගේ complication එකකට යන්නෙ? මෙහෙම complicated සම්බන්ධයක් පටන් අරගෙන ඔයා මොකටද ඔයාගෙ ජීවිතේ තව අමාරු කරගන්නේ?” නෙත්මලී හිස පහළට කරගත්තේ ඒ ප්‍රශ්නයට දෙන්නට උත්තරයක් හිතාගන්න බැරි හන්දාය,
“මොකක්ද මං කරන්නෙ සාරා මං ඉන්නෙ කරන්නෝන දේ හිතාගන්න බැරුව”
“එයා ඔයාගෙ boss. ඔයාට වඩා අවුරුදු ගාණක් වැඩිමල්. එයා කසාද බැඳපු මනුස්සයෙක්. දැන් divorce වෙන්න යනවා කිව්වත් තාම legally එයා married. ඒ මදිවට ඔයාටත් feelings තියෙනවා කියනවා. හරි පිස්සුවක්නෙ නෙත් මේක.”
සාරා අත් දෙක පටලවාගෙන මඳ වේලාවක් නෙත්මලී දෙස බලා සිටියාය.
“ඔයා හරියට එකක් කියන්නකො? ඔයාට මොකද්ද වෙන්නෝන”
නෙත්මලී ඒ ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ නැත. ඇත්තටම දෙන්නට උත්තරයක් තිබුණේ නැත. දෙන්නෝන උත්තරේ මොකද්ද කියා හිතාගන්න පුළුවන්කමක් තිබුණේ නැත.
“ඔයාට දැන් වයස කීයද?”
“විස්සයි”
“විස්සයි. තාම අපි පොඩියි. ඔයාට මොකටද මේ වගේ මිනිහෙක්?”
නෙත්මලීගේ ඇස් නැවතත් තෙත් විය.
“ඔයා කියන විදියට එයා නරක කෙනෙක් නෙවෙයි සාරා”
“මං එයා නරකයි කිව්වෙ නෑ”
“ඒත් ඔයා කියන්නෙ එයා මට ගැළපෙන්නෙ නෑ කියලා”
“ඔව් ඉතින් ඒක බොරුවක් නෙවෙයිනෙ නෙත්. මං හිතන්නෙ ඔයාගෙ පැත්තෙන් නෙත්. මොකද ඔයාට මේ වයසෙදි ඕනෙ මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන මිනිහෙක් නෙවෙයි. ඔයා දැනටම ඉන්නෙ ගෙදර ප්‍රශ්න එක්ක අවුලෙන්. එහෙමෙකේ ඔයා තව ඔලුවට ප්‍රශ්න දාගෙන හරියනවද?”
“එහෙනම්?”
“ඔයාට පුළුවන් ඔයාගෙ වයසට ගැළපෙන කොල්ලෙක් එක්ක යාලුවෙන්න”
“කොල්ලෙක්?”
“ඔව් කොල්ලෙක්.ඔයා වගේම තාම ජීවිතේ පටන් ගන්න කෙනෙක්. ඔයා එක්ක එකට grow වෙන්න පුළුවන් කෙනෙක්. ඔයාට ආදරේද නැද්ද කියලා හිතන්න කලින් divorce papers, wife, marriage problems වගේ දේවල් ගැන හිතන්න ඕන නැති කෙනෙක්”
“මං දන්නවා සාරා. ඔයා කියන දේ වැරදි නෑ. එයා මගේ boss. මට වඩා ගොඩක් වැඩිමල්. තාමත් married. ඒ හැමදේම මං දන්නවා. ඒත් ප්‍රශ්නෙ ඒවා දැනගෙනත් මට එයාව අතාරින්න බැරි එක” කියූ නෙත්මලී ටික වේලාවක් නිහඬව සිටියාය. අනතුරුව ආය වතාවක් තමන්ගෙ පැත්තෙන් කතාව කියන්නට දෙතොල් විවර කරාය.
“මං එයාට කැමති වෙන්න පටන් ගත්තෙ එයා මට කැමතියි කියලා දැනගෙන නෙවෙයි. එයා married කියලවත් මං දැනගෙන හිටියෙ නෑ. එයා මට හොඳ boss කෙනෙක් වුණා. මං අලුතෙන් office එකට ගිය කාලෙ මට මං ගැනවත් විශ්වාසයක් තිබුණෙ නෑ. මං කරන හැම දෙයක්ම වැරදෙයි කියලා මං බයෙන් හිටියෙ. ඒ වෙලාවෙ එයා මං කියන දේ අහගෙන හිටියා. මං හොඳ දෙයක් කළාම ඒක දැක්කා. මට වැරදුණාම මාව අතෑරියෙ නෑ. ඒවා මට ලොකු දේවල් වුණා සාරා. මට මං ගැන විශ්වාසයක් නැති වෙලාවක කවුරුහරි මං ගැන විශ්වාස කරනවා කියන එක මට දැනුණා. ඔයා හොඳටම දන්නවා ඒ කාලෙ මං උන්නෙ කොයි වගේ situation එකකද කියලා. එයා මට දුන්න ඒ feeling එකත් එක්කයි ටික ටික මං එයා ගැන හිතන්න පුරුදු වුණේ. එයා office එකේ ඉන්නවද බලන එක, එයාට මගේ වැඩ පෙන්නන්න හිතෙන එක, එයා මොනවා කියයිද කියලා බලන් ඉන්න එක ඒවා මට පුරුදු වුණා.
ඉතින් දැන් වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න කියන එක මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට වෙන කෙනෙක් හම්බුණා කියලා නලින්ද්‍ර ගැන මට feel වුණ විදිය නැති වෙන්නෙ නෑනෙ
මං එයාගෙන් කිසිම දෙයක් ඉල්ලලා හිටියෙ නෑ. එයා මට ආදරේ කියලා කියන්න කියලා බලාගෙන හිටියෙත් නෑ. ඒත් මට එයාව වැදගත් සාරා. මට එයාව ඕන. මං ඒක නවත්තන්න ට්‍රයි කළා. එයා මගෙන් ඈත් වුණාම මං හිතුවා ඒක ටික ටික හරියයි කියලා. ඒත් එයා කතා නොකරන එක, මං දිහා බලන්නෙ නැති එක, කලින් වගේ මාත් එක්ක කතා නොකරන එක එක්ක මට එයාව කොච්චර මිස් උනාද කියලා දන්නෙ මං සාරා
මට එයාව අමතක කරන්න බෑ සාරා.
මං එයාට ආදරෙයි මට කියන්න තේරෙන්නෙ නැති තරං මං එයාට ආදරෙයි”
ඒ වචන දෙක කියා අවසන් කළ පසු නෙත්මලී ආය වතාවක් මඳ වේලාවක් නිහඬව සිටියාය.
“ඒක හරිද වැරදිද කියන්න මං දන්නෙ නෑ. අපි දෙන්නාට මොනවා වෙයිද කියලාත් දන්නෙ නෑ. ඒත් වෙන කෙනෙක් හොයාගෙන එයාව අමතක කරන්න මට බෑ. මොකද මං එයාට කැමති වුණේ තනිකමට කෙනෙක් ඕන වෙලා නෙවෙයි. මට ඕන වුණේ එයාව.”
සාරා කිසිවක් නොකියා ඇය දෙස බලා සිටියේ ඇත්තටම මේ ප්‍රශ්නයට දෙන්නට උත්තරයක් හිතාගන්න බැරි වෙච්ච හන්දාය.
“මං පොඩි කාලෙදි තාත්තා කියන්නෙ මං බය වුණාම බය වෙන්න එපා කියන කෙනා. මට මොනවා හරි වුණාම ඒක fix කරන කෙනා. මට ඕන දෙයක් තිබුණාම කොහෙන් හරි ඒක හොයාගන්න කෙනා. ඊට පස්සෙ එයා ගියා. මට ඒ වෙලාවෙ ඒක තේරුණේ නෑ. ඇයි ගියේ කියලා අහන්නවත් ඉඩක් තියලා නෙවෙයිනෙ තාත්තා ගියේ. ඒත් ඒ වෙනකොට අහන්න ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙලා තිබුණා.
නලින්ද්‍ර කියන්නෙ තාත්තා නෙවෙයි. ඒත් තාත්තා ගියාට පස්සෙ නැතිවෙච්ච මොනා හරි දේවල් ටිකක් නලින්ද්‍ර හන්දා ආයෙ ලැබුණා වගෙ මට දැනුණෙ.
තාත්තා ගියාට පස්සෙ මට අහන්න බැරිවුණ ප්‍රශ්න ගොඩක් ඉතුරු වුණා සාරා.ඒ නිසා වෙන්න ඇති..නලින්ද්‍රවත් එහෙමම අතාරින්න මට බය”
“නෙත් මිනිහෙක්ට තමන්ගෙ girlfriend වෙන්න ඉන්න කෙනෙක්ට තාත්තා කෙනෙක් වගේ ආදරේ කරන්න බෑනෙ. ඉස්සෙල්ලා ඔයා ඒක තේරුංගන්න. ඔයා නලින්ද්‍රට ආදරේ කරන එක බොරුවක් කියලා මං කියන්නෙ නෑ. ඒත් ඔයාගෙ ගෙදර වෙච්ච ප්‍රශ්න එක්ක හිතේ ඉතුරුවෙච්ච, ඇතිවෙච්ච හිස්තැනක් ඔයා එයාගෙන් හීල් කරගන්න හදනවද කියලායි මට බය.
ඔයාට එයා ළඟදි දැනුණෙ ආදරේ විතරක්ද නැත්තම් ඔයා තාත්තාගෙන් මිස් වෙච්ච මොකක් හරි දෙයක්ද එයාගෙන් හොයාගන්න හදනවද කියලා ඔයාම හිතලා බලන්න. මට බය ඔයා ඒ දෙක පටලවගෙන තියෙනවද කියල”


