නොදැල්වෙන හිත් – වෙසක් කෙටි කතාව

“එහෙම ඕන ඕන ඒවා ලිස්ට් එකක් එවලා දාන බාර ගන්න කියලා හරියනවද අම්මේ”

නවීන් සැරෙන් අහනකොට පාරමී මොකවත්ම නොකියා කරෝල තෙලට දාන අම්මා දිහා බලන් හිටියා. මේ වෙසක් සතිය. මස් මාළු සහ බිත්තර තහනම්. ඒ නවීන්ගේ අම්මාගේ නියෝග.

“කරෝලයි හාල් මැස්සොයි වේලලා හින්දා පව අඩු ඇති.”

නවීන් බනිනවා. ඔය බැනිල්ල නවීන් අවුරුදු තිහක් තිස්සෙ බැන ගන්න ඇති කියලා හිනා ගියත් පාරමී තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඒත් අම්මට ඒවාට කියන්නත් කතන්දර තියනවා.

“පිළී රහක් නැතුව ඔය ළමයින්ට බත් එක ගෙනිච්චකියැ. අනිත් එක පාරමීට ගුණ යමක් ඇඟට වැටෙන්න ඕන.”

ඉතිං තුන් වේලටම කරෝල හරි හාල් මැස්සෝ හරි දෙන්න අම්මා අමතක කරන්නේ නෑ. ඊයේ උදේට වේලපු කූනි මැල්ලුමක්. සේරම වේලලා හන්දා පව් අඩු වෙලා කියලයි නවීන්නම් කියන්නේ.

“පාරෝ, අම්මගෙ සදහම් සතිය කියලා ඔයාටයි පොඩ්ඩටයි නොකා නොබී ඉන්න දෙන්න බෑ. ඊළඟ මාසෙ චැනලින් යනකොට ඔයාගේ හිමොග්ලොබීන් අඩු වෙලා තිබ්බොත් අම්මාට නෙවෙයිනෙ ඩොක්ට කාරියවසම් බනින්නේ මටනෙ.”

ලන්ච් ටයිම් එක කිට්ටු කරලා නවීන්ගෙන් එහෙම ඇමතුමක් එනවා. ටික වෙලාවකට පස්සේ ආහාර ඇණවුමකින් පාරමී අතර මස් කරියක්, මාළු කරියක් ලැබෙනවා.

“පව් බං උඹලගෙ නැන්දම්මගෙ සීලේ.”

මල්කි නම් ඕවට හොඳට හිනා වෙනවා. පාරමීට දුකත් හිතෙනවා. හොරාට මේ කරන වැඩේ නවීන්ලගෙ අම්මා දන්නවනම්!

“මං රටේම තියන පන්සල් වලට බාර වුණා පුතා බැඳලා අවුරුද්දක් යන්න කලින් මාව ආච්චියෙක් කරන්න කියලා. ඒ ඉල්ලීම ඉෂ්ට වුණානෙ.”

අම්මා මහ පාන්දර එහෙම කියන ගමන් ගේ දෙක වෙන්න බණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනව. පාරමී ගැස්සිලා ඇහැරෙනවා. විවාහයෙන් මාස තුනකට පස්සෙ පාරමී අම්මෙක් වුණේ තමන්ගේ ඉල්ලීමේ බලයට කියලා නවීන්ගේ අම්මාට විශ්වාසයි.

“රිලේෂන්ශිප් එකක් අවුරුදු පහක් තියන් හිටියම බැඳපු හැටියෙ බබෙක් නොහදා ඉන්නේ මොකටද ඉතිං”

අම්මා එහෙමෙහෙ වෙනකන් ඉඳලා නවීන් කියනකොට පාරමීට නම් හිනා යනවා. යසෝදරා දේවී වගේ පින්වන්ත භාර්යාවක් වෙන්න කියලා කියපු නවීන්ගේ අම්මා ඔය කතා දන්නවානම්!

“යසෝදරා සිදුහත් කියන්නේ ආදරෙන් පතාගෙන ආව දෙන්නෙක්. තමන්ව අත් ඇරලා ලෝකයට දෙයක් කරන්න ගිය මනුස්සයෙක්ට පවා ආදරේ කරපු කෙනෙක්‍ යසෝදරා.ආදරේට ඒ දෙන්නා උදාහරණ දෙන එක වරදක් නෑ. ඇත්තටම බැලුවම මුළු බුද්ධ චරිතයම පුදුම ලස්සන කතාවක්නෙ පාරෝ. ඒ වගේ කෙනෙක් ලෝකෙට ඉතුරු කරලා ගිය දේකින් අපේ අම්මලා වැඩක් ගන්නවද? නෑ! රස්සාවට සිවුරු පොරවපු මිනිස්සු කියන සම්ප්‍රලාප අහනවා.”

නවීන් අම්මාට එහෙම දොස් කියන්නේ අම්මා බුද්ධ ධර්මය කියලා වෙන මොකක්ද එකක් පටවලන් ඉන්න හන්දා. හැමදාම පිළිමයක් හදන, පන්සලේ තීන්ත ගාන හාමුදුරුවෝ දැන් තමන්ගේ පන්සලේ විස්තර ෆේස්බුක් හරහාත් බෙදා ගන්නවා. අඩි ගාණක් උස පිළිමයක් පන්සලේ නිර්මාණය වෙනවා. විදෙස් රටවලින් පවා ආධාර ලැබෙනවා.

“අම්මගෙ ආසාවට එක එක ඒවා කියන්න එපා අනේ”

පාරමී කොච්චර බැන්නත් නවීන් කියන්නේ ආගම සහ මිථ්‍යාව පටලවා ගන්න ඕනෑ නැති බවක්.

“දැන් මොනවද අම්මේ ඔය ලිස්ට් හැදිල්ල?”

නවීන්ගේ හඬ ඇහෙනකොට පාරමී ආයේ පියවි ලෝකෙට ආවා. අම්මා මොනවම හරි බාර අරගෙන නවීන්ගෙන් දොස් අහනවා.

“දැන් ඔය බුදු පිළිමෙ හදනවනෙ. ඒක බලන්න මිනිස්සු එනවනෙ. ඒ මිනිස්සුන්ට දවල්ට දන්සැලක් තියනවා. “

කාටහරි බඩගින්නට කන්න දෙන එකනම් නරක දෙයක් නෙවෙයි. ඒත් නවීන්ට තවත් ප්‍රශ්නයක් මතු වුණා.

“එතකොට අම්මේ ඔය දන්සැලෙන් අපේ ගමේ මිනිස්සුන්ටත් කන්න පුලුවන්ද? දැන් ඔය යසා නැන්දලා එහෙම කන්නෙ බොන්නෙත් අමාරුවෙන්. ඒ වගේ පවුල් කීයක් නම් ඉන්නවද?”

නවීන් එහෙම අහනකොට අම්මා උරහිස් ගස්සලා පුතා දිහා බැලුවා.

“හොඳට තියෙයි. ඊටපස්සෙ ඕකුන් ඔතනම පදිංචි වෙනවා.”

නොදන්නා ගමක හැදෙමින් පවතින රියන් ගණනක බුදු පිළිමයක් බලන්න ඈත පළාත්වල මිනිස්සු බස් අරගෙන එනවා. ඒ මිනිස්සුන්ට කන්න බොන්න දීම ගමේ මිනිස්සුන්ගේ වගකීම. ඒ වගේම තමයි මේ බුදු පිළිමෙට ඒ හැමෝගෙන්ම ආධාර ලැබෙනවා. අම්මාගේ පැහැදිලි කිරීම ඉවර වුණේ එහෙම.

“එහෙමයි කියලා ගමේ ඉන්න උන්ට කන්න බොන්න දෙන්න ඕනය.”

අම්මා යෝජනා කරලා ස්ථිරත් කරනවා.

“ඇත්තටම යසා නැන්දා වගේ අයට ඒ වගේ අමාරුවෙන් ජීවත් වෙන පවුල්වලට හැමදාම කන්න බොන්න දිදී බලා ගන්න ගමේ අයට බෑ තමයි නවීන්”

පාරමී එහෙම කියනකොට අම්මට දැනෙන්නේ සන්තෝසයක්. වෙලාවකට පුතාට වඩා ලේලි තමයි හැමදේම තේරුම් ගන්නේ. ඒ අතින්නම් රත්තරං කෙල්ල.

“ඒ වුණාට ඒ මිනිස්සුන්ට ජීවිතේ පවත්වා ගන්න මොනවා හරි වැඩපිළිවෙලක් හදන්න තිබ්බනෙ”

ඊළඟට ඇය යෝජනා කරන්නේ එහෙම දෙයක්. නවීන්ටත් ඕනෑ වුණේ අන්න ඒ කතාවට එන්න.

“ඉතිං හිතන්නකො පාරෝ. දැන් ඔය මහා සැතපෙන පිළිමයක් හදලා රියන් ගාණක් උස පිළිමයක් හදපු තැන මහා කුඹුරු යායක්නෙ. ඒක ගොඩ කළා. ඔය පන්සලේ කුඹුරු අඳේට වැඩ කරගන්න ඔය පවුල් කීපෙකට දුන්නනම් මොකද?”

ස්වයංරැකියා ආරම්භ කිරීම සම්බන්ධ වැඩමුළු කිහිපයකට පන්සලේ ඉඩකඩ ඉල්ලපු ප්‍රාදේශීය ලේකම් නෝනාට හාමුදුරුවෝ හොඳටම බැන්න කතාවත් නවීන් නොදන්නවා නෙවෙයි. ඊටත් පස්සෙ ප්‍රජා ශාලාව ඒ වැඩේට ලෑස්ති වුණා.

“ඔය ඈතින් වන්දනාවෙ එන මිනිස්සුන්ට කන්න දිදී බලාගන්නවට වඩා ගමේ ඉන්න ඒ වගේ පවුල් ටික මාසයක් බලා ගත්තානම් ගොඩ දාගන්න තිබ්බා.”

නවීන් දිගට දිගට විස්තර කරනවා.

“ඒ වුණාට ඔය පිළිමේ බලන්න වන්දනා නඩ එන්න ගත්තට පස්සෙ ඔය මිනිස්සුන්ට පොඩියට කඩ කෑලි කරන්න බැරිය. කොහොමටත් දැන් අපේ හාමුදුරුවෝ ටීවී එකේ බණටත් යනවනෙ”

ටීවී එකේ බණට වඩා ප්‍රසිද්ධ හාමුදුරුවන්ගෙ ෆේස්බුක් වීඩියෝ කියලා කියන්න හිතුණට පාරමී මොකුත්ම නොකියා ඉන්න හිතා ගත්තා. බුදු හාමුදුරුවෝ අද හිටියනම් මේ අදහන දහම ගැන පුදුම වෙයි. සමහර වෙලාවට පාරිලෙයිය වනන්තරේටම වෙලා ඉන්නත් තිබුණා.

“ඔය මොන දේවල් කොහොම වුණත් අම්මලා බුද්ධාගම පටලාගෙන ඉන්නේ අම්මේ. ආසාවෙන් දේවල් කරනකොට එපා කියන්න නොහිතුණාට ඒක දැන් නොකියත් බෑ.”

නවීන් නැගිට්ටේ එහෙම කියාගෙන.

වෙසක් සතිය හෙටින් ඇරඹෙනවා. සල්ලි නැත්තටම නැති කරගෙන වෙසක් සමරන අම්මා බුදු බණ පදයක් හරියට අහන දවසක් කවදා ඒවිද කියලා පාරමී කල්පනා කරා.

More Stories

Don't Miss


Latest Articles