ආදරේ හිස්තැනක්

“තමුසෙට මාව මදි වුණේ කොතනදිද කියනවකො? මගෙන් වෙච්ච වරද මොකද්ද කියනවකො මෙහෙම වලත්ත වැඩක් කරන්න හිතුවෙ?” කාවින් එහෙම ඇහුවම මගේ කටට ආපු උත්තරේ ඔව්වත් නෙවෙයි. නෑවත් නෙවෙයි.

මොකද ඇත්තටම ප්‍රශ්නෙ තිබුණෙ කාවින්ව මට මදි වුණ එකේවත් එයාගෙන් මට අඩුපාඩුවක් වුණ එකේවත් නෙවෙයි. මට මාවම ටික ටික නැති වෙලා යනවා වගේ දැනුණු එක.

අපි කසාද බැන්දෙ අවුරුදු විසි ගණන්වල මුල්කාලෙ. කාවින් ගැන මට තිබුණෙ පිස්සුවක් වගේ ආදරයක්. එයාටත් එහෙමයි. එදා අපිට එහෙමකට සල්ලි, ලොකු ගෙවල්, ලොකු ජීවිත තිබ්බෙ නෑ. හැබැයි අපිට අපි දෙන්නා හිටියා.

මං මතකයි ඉස්සර යාලුවෙච්ච මුල් කාලේ කාවින් මට මහ රෑටත් කතා කරනවා. 

“කෑවද?”

“අද මහන්සිද?”

“ඔයාගෙ කටහඬ අහන්න හිතුණා.” කියලා කියනවා. ඒ වචන අහන්න මං ඉස්සර දවස තිස්සෙම බලාගෙන ඉන්නවා. ඉන්පස්සෙ අවුරුදු දහයක් විතර ගියා. අපි බැන්දා. අපිට දරුවෝ තුන්දෙනෙක් හම්බුණා. ගෙයක් හැදුවා. වාහනයක් ගත්තා. බැංකු ණයක් ගත්තා ඒ වැඩවලට. අන්න ඒවා අස්සෙ කොහේදිද මන්දා තැනකදි අපි දෙන්නා අතරෙ තිබුණු ඒ පොඩි පොඩි ආදරේ සම්බන්ධ වචන, පුංචි පුංචි හුරතල් වැඩ නතර වෙලා ගියා. අපි නිකන් ආදරේ සම්බන්ධව එකපාර ලොකු වුණා වගේ මට දැනුණෙ.

කාවින් නරක මිනිහෙක් නෙවෙයි. බොන කෙනෙක් නෙවෙයි. ගහන කෙනෙක් නෙවෙයි. පඩිය අතට ගත්ත ගමන් ගෙදරට ගේන කෙනෙක්. දරුවන්ට ආදරේ කරන තාත්තෙක්. ඒ නිසාම මට මගේ දුක කාටවත් කියන්නත් බැරි වුණා.

“මගේ මහත්තයා හොඳයි. හැබැයි මට සතුටක් නෑ.”

ඔය වාක්‍ය දෙක එකට කිව්වම මිනිස්සු හිනාවෙයි කියලා මං දැනගෙන හිටියා. තුන්වෙනි දරුවා හම්බවුණාට පස්සෙ මගේ ලෝකෙම වෙනස් වුණා.

උදේ නැගිට්ට ගමන් කිරි බෝතල් උස්සගෙන දුවන්න ඕන. දරුවො ඉස්කෝලෙ යවන්න ලෑස්ති කරන්න ඕන. උයන්න ඕන.හෝදන අස් කරන වැඩ කරන්න ඕන. රෑට නිදාගන්න ඇඳට වැටෙනකොට මටවත් සමහරවෙලාවට මතක නෑ මං වේල්තුන හරියට කෑවද බිව්වද කියලවත්. මං ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණා, ඉන්පස්සෙ වයිෆ් කෙනෙක් වුණා, ඊටපස්සෙ අම්මෙක් වුණා. ගෙදර වැඩ කරන ගෑණියෙක් වුණා.

හැබැයි නිමන්ති  කියන මම කොහේ හරි අතරමඟකදි නැති වෙලා තිබුණා.

ඔය අතරෙ දවසක් Facebook එකේ notification එකක් ආවා.

Ashen sent you a message.

ඒ නම දැක්ක ගමන් මට හිනා ගියා.

ඉස්කෝලෙ යන කාලෙ මගේ පන්තියේ හිටපු අශේන්.

“අදුරගත්තද?”

කියලා එයා එවපු message එකට මං, “අමතක වෙන්න තරම් වයස නෑ තාම.” කියලා reply කළා.

ඊට පස්සෙ අපි දෙන්නා කතා කරන්න පටන් ගත්තා. මුලින් ඉස්කෝලෙ ගැන, යාළුවො ගැන, පරණ සර්ලා මිස්ලා ගැන, ඊට පස්සෙ පවුල් ජීවිතේ ගැන.

“බබාලා තුන්දෙනෙක් එක්ක අමාරු ඇති නේද?”

ඔය message එක කියවද්දිත් මගේ ඇස්වලට කඳුළු ආවා මට අද වගේ මතකයි. මොකද ඒ ප්‍රශ්නෙ මගෙන් කාවින් කවදාවත් අහලා තිබිච්ච බවක් මට මතක නෑ. ඒ දවසේ ඉඳලා අශේන්ට මං කියපු දේවල් ටික ටික වැඩි වුණා.

“අද හරි මහන්සියි.”

“අද පොඩි එකාට උණ.”

“අද මට හරි එපා වෙලා වගේ දැනෙන්නෙ.”

එයා හැමදාම, ඒ හැමදේටම reply කළා.

“පරිස්සමින් ඉන්න.”

“ඔයා හොඳ අම්මා කෙනෙක්.”

“ඔයා ගැනත් ටිකක් හිතන්න.”

ඒ වචන වලට මම ඇබ්බැහි වුණා. ඒවා නැතුව දවසක් පටන් අරගෙන ඉවර කරන්න බැරි තරමට මං ඒ වචන වලට ඇබ්බැහි වුණා. අපි කවදාවත් හම්බවුණේ නෑ. හම්බවෙන්න කතා කළෙත් නෑ.

ඒ නිසා මං හැමදාම මටම කියාගත්ත කතාවක් තිබුණා.

“මේක වැරදි නෑ. අපි වරදක් කරන්නෙ නෑ. අපි කතා කරනවා විතරයි.”

ඒ බොරුව වැඩිපුරම විශ්වාස කළේ අශේන්වත්, කාවින්වත් නෙවෙයි.

මම.

ඒත් එක දවසක් කාවින් වෙනදට වඩා පැය දෙකක් කලින් ගෙදර ආවා. මං ඒ වෙලාවෙ උන්නෙ කුස්සියෙ. Phone එක speaker දාලා. අශේන් එක්ක හිනා වෙවී කතා කරන ගමන්.

“ඔයා කතා කරනකොට  මට මොනවද හිතෙන්නෙ කියලා දන්නවද?”

අශේන් ඇහුවා.

“මොනවද?”

“මං නිකන් ඔයා ළඟ ඉන්නවා වගේ.”

ඒ වචන ටික ඉවර වෙනවත් එක්කම මගේ පිටිපස්සෙන් ඇහුණෙ “නිමන්ති” කියනවා. කාවින්ගෙ කටහඬ ඇහුණ ගමන් මගේ අතෙන් phone එක විසික්වුණා. එයා මං දිහා බලාගෙන හිටියෙ කෑගහන්නවත්, බනින්නවත්, phone එක උදුරලා බලන්නවත් බලාගෙන නෙවෙයි. හරියට කිසිම දෙයක් තේරුම් ගන්න බැරි මනුස්සයෙක් වගේ.

“කවුද ඒ?”

මං උත්තරයක් දුන්නෙ නෑ. අශේන් call එක disconnect කරලා තිබුණා.

“මං අහන්නෙ කවුද ඒ?”

“යාළුවෙක්.”

“ඔයා කවද ඉඳන්ද ඔය විදියට යාළුවො එක්ක කතා කරන්නෙ? අනික කවුද ඔය මං නොදන්න යාළුවා?”

මං කට ඇරියා. මට ඕන වුණා කියන්න “ඒ අශේන්, මගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක්” කියලා ඒත් එළියට ආවෙ වෙනම දෙයක්.

“මං වරදක් කරේ නෑ.” හැබැයි ඒ වචන අස්සෙම මං වරදක් කරලා තියෙනවා කියන Guilt එක මට තිබ්බ බව අපි දෙන්නටම තේරුණා. කාවින් ටික වෙලාවක් කිසිම දෙයක් කිව්වෙ නෑ. ඊට පස්සෙ ටික වෙලාවකින් එයා හෙමින් ඇහුවා.

“තමුසෙට මාව මදි වුණේ කොතනදිද කියනවකො? මගෙන් වෙච්ච වරද මොකද්ද කියනවකො මෙහෙම වලත්ත වැඩක් කරන්න හිතුවෙ?”

ඒ ප්‍රශ්නෙට ඔව් කියන්නවත්, නෑ කියන්නවත් මට බැරි වුණා. මොකද ඇත්තටම ප්‍රශ්නෙ තිබුණෙ කාවින් මදි වුණ එක නෙවෙයි. එයා මට නොසලකපු එක නෙවෙයි.  මට මාවම ටික ටික නැති වෙලා යනවා වගේ දැනුණු එක.

“මං හිතුවෙ” මං කතා කරන්න පටන් ගත්තා. “මං හිතුවෙ මේක වැරදි නෑ කියලා. අපි හම්බවෙලා නෑනෙ. අපි අතක්වත් අල්ලලා නෑනෙ. ඔයා හිතන ජාතියෙ කිසි දෙයක් අපි කතා කරලා නෑ”

කාවින් හිනා වුණා. ඒත් ඒ හිනාවෙ සතුටක් තිබුණෙ නෑ.

“ඔය කියන්නෙ තමුන්ගෙ හිත වෙන එකෙක්ට දීලා, ඇඟ විතරක් මට දුන්නා කියන එකද?”

ඒ වචන ටික මට දැනුණෙ හිතට ගැහුව පිහිපාරක් වගේ. මොකද මං මෙච්චර කල් බේරෙන්න හදපු බොරුව, එක වාක්‍යයකින් එයා කියලා ඉවර කළා.

ඒ රෑ අශේන් message එකක් එවලා තිබුණා.

“හැමදේම හරිද? මුකුත් අවුලක් උනේ නෑ නේද?”

මං සෑහෙන වෙලාවක් screen එක දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙ type කළා.

“අදින් පස්සෙ මට message කරන්න එපා.” එයා reply කලා තත්පර කීපෙකින්.

“මං ඔයාට ආදරෙයි.”

මං ඒ message එක දිහාත් ගොඩක් වෙලා බලන් හිටියා.

අවුරුද්දකට කලින් නම් මේ වචනෙ දැක්කම මගේ හිත පිරෙන්න තිබුණා. හැබැයි අද මට දැනුණෙ හිස් බවක් විතරයි. මොකද මට තේරුණා අශේන්ට මාත් ආදරෙයි කියලා මං හිතාගෙන හිටියට, ඇත්තටම මං ඇබ්බැහි වෙලා තිබුණෙ එයා මට දීපු අවධානයට. ඒ දෙක එකක් නෙවෙයි.

අදටත් මං මගෙ හිතෙන් අහනවා, “කාවින් ඔයාට සමාව දුන්නද?” කියලා.  ඒත් ඒ ප්‍රශ්නෙට මට තාම උත්තරයක් නෑ. සමහර තුවාල සනීප වෙනවා. සමහර තුවාල එක්ක මිනිස්සු ජීවත් වෙනවා.

ගොඩක් වෙලාවට අපි කරන්නෙ දෙවෙනි එක. හැබැයි මේ හැමදේකින්ම මං ඉගෙන ගත්ත එක දෙයක් තියෙනවා. මිනිස්සු අනියම් සම්බන්ධයකට යන්නෙ හැමවෙලාවෙම තමන්ගෙ පාට්නර් නරක නිසා නෙවෙයි. සමහර වෙලාවට තමන්ගෙ ජීවිතේ ඇතුළෙ ඇතිවෙච්ච හිස්තැනක් නිසා. හැබැයි ඒ හිස්තැන පුරවන්න ගිහින්, අපි අමාරුවෙන් හදාගත්ත ජීවිතේ හිස් කරගන්න එක කවදාවත් විසඳුමක් වෙන්නෙ නෑ.

මොකද, තනිකම කියන්නෙ අනියම් සම්බන්ධයකට හේතුවක් වෙන්න පුළුවන්. 

හැබැයි ඒක කවදාවත් නිදහසට කාරණයක් වෙන්නෙ නෑ.

More Stories

Don't Miss


Latest Articles