මතක දිගහැරුම 12 – අප්සාරි සිංහබාහු තිලකරත්න

දොළොස්වන දිගහැරුම ,

ඉකෙබානා මල් සැකසීමේ කලාව යනු ජපානයේදී මා ඉගෙන ගත් තවත් සුවීශේශී දෙයකි.ඒ දැනුම අපතේ නොයන දෙයක් බවට පත් කරමින් මා එය ප්‍රයෝජනයට ගන්නේ වර්තමානයේ මගේ නිවස ලස්සනට සැරසීම සඳහා මල් සකස් කරමිනි.එපමණක් නොව මා ඔරිගාමී කලාවද ඉගෙනගත්තේ ඉතාම උනන්දුවකිනි. ඒ වගේම ජපන් ක්‍රමයට පැරණි චාරිත්‍ර පෙරදැරිව සිදුකෙරෙන තේ පිලිගැන්වීමද මා විසින් ජපානයේදි ඉගෙන ගත් දේවල් අතර විය.

ජපානයේ සිටින අතරතුර මට කැනඩාවේ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්වයක් සඳහා යාමට අවස්ථාව හිමි විය. එම පුවත ඇසූ විට මගේ දෙමව්පියන් ඉතා කලබල වූයේ ඒ කාල වකවානුව වර්තමානයේ මෙන් දරුවන්ව අධ්‍යාපනය සඳහා පිටරට යවන සමයක් නොවූ බැවිනි . ඔවුන්ගේ මතය වූයේ මා නැවත ලංකාවට පැමිණ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය නම් ඒ කටයුතුවල නිරත වන ලෙසයි. නමුත් මා නැවත ලංකාවට එවීමට මා හට අතිශයින් ආදරය කළ ජපන් අම්මා සහ තාත්තා තුළ එතරම් කැමැත්තක් තිබුණේ නැත. ඔවුන් දෙදෙනා මගේ දෙමව්පියන් හට වරින් වර දුරකථනයෙන් අමතමින් මට ජපානයේ තවදුරටත් ඉන්නට ඉඩ දෙන ලෙසත් , මා ඔවුන්ගේම දරුවෙක් බවට පත්වී ඇති බවත් සහ ඔවුන් මා හට අතිශය ආදරය කරන බවත් පැවසීය . අනෙක් හේතුව වූයේ එක ලංකාවේ පැවති දරුණු යුධ තත්වයයි. දෙමව්පියන් හටත් ජපානයේ දෙමව්පියන් හටත් නොවෙනස්ව ආදරය කළ මා ඒ මොහොතේ මැදි වූයේ විශාල අර්බුදයකටය. ඇත්ත වශයෙන්ම ජපන් අම්මා සහ තාත්තාගෙන්ද ,ජපානයේ මිතුරු මිතුරියන්ගෙන් ද වෙන්වී ඒමේ නොහැකියාවක් මා සිත තුල තිබුණි .

ඒ අතරතුර මගේ ජපන් අම්මා සහ තාත්තා ඔවුන් හඳුනන තරුණයන් මට හඳුන්වා දෙන්නට විය . ඇතැම්විට අම්මා මට පැවසුවේ මා ජපන් තරුණයකු සමඟ හාද වුවහොත් ජපානයේ දිගටම සිටිය හැකි බවයි . ඇගේ ආදරය කොතරම් ද යත් ඇයට උවමනා වුවමනා වූයේ කෙසේ හෝ මා ජපානයෙ නතර කර ගැනීමටයි.

ලංකාවට මා ගෙන්වාගැනීමේ උත්සාහයේ නිරත වී සිටි මගේ දෙමව්පියන් නිතරම දුරකථනයෙන් මා අමතමින් උසස් අධ්‍යාපනයේ නිරත වීමට හෝ ලංකාවට පැමිණෙන්නැයි නිතරම මාගෙන් ඉල්ලීම් කරන්නට විය. ඒ අතර දිනක් මා දුරකථනයෙන් ඇමතූ අම්මා මට අපූරු යෝජනාවක් ගෙන ආවාය. Air Lanka ආයතනය සඳහා අලුතෙන් ගුවන් සේවිකාවන් බඳවා ගන්නා බවට පුවත්පතක දැන්වීමක් පළ වී තිබූ බව ඇය මට පැවසීය. එයට අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් ද එම දැන්වීමේ සඳහන්ව තිබූ අතර ඒ සඳහා තේරී පත් වුණහොත් මා ඉගෙනගත් ගත් ජපන් භාෂාවෙන් ප්‍රයෝජනයක් ගත හැකි බවද , නිතරම ජපානයේ යෑමට අවස්ථාව සැලසෙන බව ද අම්මා මා හට පැවසූ විට මගේ හිත තුළ අලූත් බලාපොරොත්තු දහසක් දැල්වෙන්නට විය . එයට පෙර මා සිතාගෙන සිටියේ නැවත ලංකාවට ගිය දිනක මා එවකට උසස් පෙළ හදාරමින් සිටි ජීව විද්‍යා අංශයෙන්ම නැවත උසස් පෙළ හදාරන්නටයි. නමුත් අම්මා ගෙන ආ යෝජනාව ඉතා අපූරු එකක් බව මට ඒ මොහොතේ හැඟෙන්නට විය.

ගුවන් සේවිකාවක් වීමේ සිහිනය දකින්නට ආරම්භ කළ මා ඉන්පසුව කොළයක් ගෙන මගේ නම , ගම , වයස සහ උස ,මට ඉංග්‍රීසි භාෂාව සහ ජපන් භාෂාව කතා කිරීමට ඇති හැකියාව , වර්තමානයේ මා ජීවත් වන්නේ ජපානයේ බව ඇතුලු සියලු විස්තර එහි සඳහන් කළෙමි . එහි අවසානයට , ජපානයේ සිටින මා ටික දිනකින් ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් , ගුවන් සේවිකාවක් වීමේ හැකියාව ලැබුනහොත් මා ඉගෙනගත් භාෂාව භාවිතා කිරීමේ අවස්ථාව මට හිමි වන බවත් සඳහන් කර අම්මා ලබාදුන් ලිපිනයට එය වහාම තැපැල් කළෙමි.එය තැපැල් කල මොහොතේ සිටම මා එයට තේරී පත්වුණාක් මෙන් මා ඒ ගැන සිහින දකින්නට වීමි.

වසරක කාලයක් පුරා පැවැති ඩිප්ලෝමාව අවසන් කළ මා තවත් කෙටි කාලයක් ජපානයේ සිට නැවත ලංකාවට පැමිණීම සඳහා සූදානම් වූයෙමි . පාසලේ සිටි මා සමඟ අධ්‍යාපනය ලැබූ යහළුවන් සියලු දෙනාම පාහේ හඬන්නට වූ අතර බොහො දෙනා මා හට තෑගි ලබා දුන්හ.ජපන් අම්මා සහ තාත්තාද මා නැවත ලංකාවට යාම පිළිබඳව ඉතාම දුක් වූයේ ඔවුන් දෙදෙනා විසින් ඔවුන්ගේම දියණියක මෙන් කිසිඳු වෙනසක් නොකර මා හට රැකවරණය ලබා දුන් බැවිනි. ඔවුන්ගෙන් වෙන් වීම මා හට ද ඉතා දුකක් වූ අතර, ඔවුන් බලන්නට නැවත අනිවාර්යයෙන්ම ජපානයට පැමිණෙන බවට මා ඔවුන්ට පොරොන්දු දුන්නෙමි.

ජපානයේ අධ්‍යාපනය ලැබූ කාලය තුළ මා ලද සුන්දර අත්දැකීම් ගොන්නද සිත තුළ තුරුළු කරගෙන මා නැවත මගේ මව් රට බලා පැමිණියෙමි. මගේ අම්මා සහ තාත්තා මා පැමිණි දින ඉතාම සතුටට පත්විය . බොහෝ කාලයකට පසුව ලංකාවට පැමිණි වැඩිමහල් දියණිය සමග කතාබස් කරන්නට සහ බෙදා ගන්නට අපමණ දෑ ඔවුන් සතුවිය .

ජපානයේ පැවති ශීත කාලගුණයට හුරු වී සිටි මට මෙහි පැවති උණුසුම් කාලගුණය ඔරොත්තු නොදෙන්නට විය . රතු වූ මුහුණකින් යුතුව ඉතා අපහසුවෙන් මා කාලය ගත කළේ මින් පෙර කිසිම දිනක ලංකාවේ නොසිටි අයෙක් මෙනි. මා ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳව අම්මාට සහ තාත්තාට නිතරම නෝක්කාඩු කියමින් කැනඩාවේ විශ්ව විද්‍යාලයට අධ්‍යාපනය සඳහා යාමේ අවස්ථාව අහිමි කර ගැනීම වෙනුවෙන් තරමක් දුක් වෙමින් ද මා කාලය ගත කළෙමි . කෙසේ හෝ ටික දිනකින් මා නැවත මගේ දෙමාපියන් සහ නංගී සමග පෙර ගතකළ ජීවිතයට නැවත හුරු වූයෙමි .

ගුවන් සේවිකාවන් බඳවා ගන්නා බවට සඳහන් කර තිබූ පුවත්පත් දැන්වීම අම්මා ප්‍රවේසම් කර අරන් තියා තිබූ අතර දිනක් මා එය කියවන විට හෝටල් ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකෙන බවට එහි සඳහන් කර තිබුණි. නැවත පාසල් ගොස් උසස් පෙළ හදාරනවාද නැතිනම් ගුවන් සේවිකාවක් වීමේ සිහිනය සැබෑ කර ගන්නවාද යනුවෙන් සිතමින් සිටි මට මේ නිවසේ සිටිනා කාලය තුළ හෝටල් ක්ෂේත්‍රයේ යම් පලපුරුද්දක් ලබා ගතහොත් වඩා හොඳ වේ යැයි සිතුනි.එකල මා සිතන දේවල් සිතන පරක්කුවෙන්ම කුමක් හෝ හේතුවක් මත සිදුවන අතර මගේ වාසනාවකට මෙන් පසුදින පුවත්පතක මා සතුටට පත්වන ආකාරයේ දැන්වීමක් පළ වී තිබුණි.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles