මතක දිගහැරුම 100 – අප්සාරි සිංහබාහු තිලකරත්න

සියවන දිගහැරුම ,

කතරගම නවාතැනෙහි වගා කිරීම් කටයුතු වලට අමතරව හෂාන් ඔහුගේ දේශපාලන කටයුතු වලද දිගින් දිගටම නිරතව සිටියේය.එම නිසා අපගේ ජීවිත බොහෝවිට කාර්යබහුල වූ අතර අපගේ ගමන් බිමන් වලට එකතු වූ දරුවන්ද ඒවාට හුරු විය.අදටත් ඔවුන් විවේකයක් ලද විගසම කතරගම නවාතැන වෙත හෝ වෙනත් ප්‍රදේශය වල සංචාරය කිරීමට යති.

කතරගම නවාතැනෙහි පෝනියන් ඇති කිරීම සඳහා වරක් හෂාන්ට සහ මට අදහසක් පහළ විය.ඒ අනුව අප දෙදෙනා නුවරඑළියට පිටත් වූයේ පෝනියන් යුවලක් ලබා ගැනීම සඳහාය.බලාපොරොත්තු වූ පරිදි අප පෝනියන් දෙදෙනාව කතරගම නවාතැන වෙත කැටුව ආවේ ලොරි රථයකය.ඔවුන්ව එම ලොරි රථයෙන් පිටතට ගැනීමට සූදානම් වන අවස්ථාවේ මා නවාතැනෙහි මිදුලෙහි එක් පසෙකට වී බලා සිටියෙමි.පෝනියන් දෙදෙනා තරමක් බියට පත් වී ලොරි රථයෙන් බිමට නො බැසීම හේතුවෙන් ඔවුන් දෙදෙනාව පිටතට ගැනීමේ කාර්යය ඒ මොහොතේ තරමක් අසීරු විය.එම කාර්ය අනෙක් අයට භාරදී පසෙකට වී සිටින මාගේ පිටුපසින්, මා හට ” සර සර ” ශබ්දයක් නැගෙනු ඇසුණි.නමුත් මා ඒ පිළිබඳව ඒ මොහොතේදී එතරම් තැකීමක් කළේ නැත.තවත් සුළු වේලාවකට පසුව එකවරම මා හට ඇසුනේ යමක් පිඹිනවාක් මෙන් හඬකි.එම හඬ ඇසුණ විගසම මා පිටුපස හැරී බැලුවෙමි.මගේ ජීවිතයේ දුටු විශාලම නාගයාව මා දුටුවේ ඒ මොහොතේදීය.බියට පත්වූ මා වහාම එම ස්ථානයෙන් ඉවත් වූයේ අනෙක් අයටද ඒ පිළිබඳව දන්වමිනි . එවිට අනෙක් අය එම ස්ථානයට පැමිණ එම විශාල නාගයාව කැළය දෙසට එලවා දැමුවේ ” යන්න නයි හාමි ” කියමිනි. ඒ අවස්ථාවේදී බියට පත් වූවද කතරගම නවාතැන ආශ්‍රිතව මා ලැබූ සියලුම අත්දැකීම් ඉතාම සුන්දර අත්දැකීම් ලෙස මගේ මතකයෙහි නොමැකෙන ලෙස සටහන් වී තිබේ.

අප නවාතැන අතරට බොහෝ දින වලදී අලි ඇතුන් පැමිණෙන අතර කිසිම දිනක අප හට ඔවුන්ගෙන් හානියක් සිදුවී නැත. අනෙක් විශේෂම කාරණාව නම් කතරගම නවාතැන වෙත අප යන සෑම අවස්ථාවකදීම යාල වනෝද්‍යානය නැරඹීමට යාමට අප හුරු වී සිටීමයි.ස්වභාව ධර්මය සහ අප අතර තිබුණේ ඒ තරම්ම තදබල බැඳීමකි.

සමහර කාලවලදී අපගේ නවාතැන අවට ප්‍රදේශය පුරාම එක් කෘමි විශේෂයකින් දහස් ගණනක් කෘමීන් සැරිසරන අතර සමහර දිනවලට අප නවාතැනෙහි බිත්ති වල කෘමින් දහස් ගණනක් වසා සිටිති.ඊට අමතරව රාත්‍රී කාලයේ දී ප්‍රදේශය පුරාම පලගැටියන්ගේ හඬද අපට විශාල වශයෙන් අසන්නට ලැබේ.ඒ කෙසේ වුවත් අප අපගේ කුඩා පුතු ව ද ඔහු කුඩා කාලයේ සිටම නවාතැන වෙත රැගෙන යාමට පුරුදු වූයෙමු.ඔහු ද ඒ පරිසරයට ඇලුම් කළ අතර ක්‍රමක්‍රමයෙන් ඔහුද එම පරිසරයට හුරු විය.දරුවාව එසේ රැගෙන යාම පිළිබඳව බොහෝදෙනා අපගෙන් විමසුවද වැඩිමහල් පුතුන් දෙදෙනා මෙන්ම බාල පුතුද ස්වභාව ධර්මය හා බැඳුණු දරුවෙකු වූයේ කුඩා කල සිටම අප ඔහු වෙත ලබා දුන් ඒ හුරුව නිසා යැයි මා සිතමි.

සිතුල්පව්ව පුදබිම පිහිටියේ අප නවාතැනට කිලෝමීටර් 12ක පමණ දුරින්ය. හැකි සෑම අවස්ථාවකදීම එහි යාමට අප සියලු දෙනාම හුරු වී සිටියෙමු.එම ස්ථානය සහ අප අතර විශාල බැඳීමක් ඇතැයි මා හට බොහෝ විට සිතෙන අතර එම ස්ථානයට ගිය විට ද විශාල හුරුපුරුදු ගතියක් මා හට දැනේ.එපමණක් නොව එම පුද බිමට ඇතුළු වන විට සිරුරට දැනෙන අමුතුම ශක්තිය සහ ශ්‍රද්ධාව පිළිබදව වචනයෙන් කියා නිම කළ නොහැකි තරම්ය.ඒ නිසා නිතරම සිතුල්පව්ව වෙත යාමටද මා ප්‍රිය කරමි.

මේ සියල්ල අතරතුර දී හෂාන් ඔහුගේ දේශපාලන කටයුතු ඉතා සාර්ථකව අයුරින් කරගෙන යාමට වෙහෙස වෙමින් කටයුතු කළේය.ඔහු ඉතා උනන්දුවෙන්, කැපවීමෙන් සහ උත්සාහයෙන් කටයුතු කිරීම නිසා ටික කලක් ගත වූ පසු එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවිස්සාවේල්ල ආසනයෙන් හරි අඩක කොටසක් හෂාන් වෙත ලබා දී අනෙක් කොටස තවත් අයෙකුට ලබා දුන්නේ ය.ඒ අනුව හෂාන්ට හිමිවූයේ පාදුක්ක ප්‍රදේශය අයත් කොටසය.ඒ වන විටත් රටේ බොහෝ ජනතාවගේ ආදරය දිනාගෙන සිටි හෂාන් වැනි තරුණ පුද්ගලයෙකු දේශපාලනයට පිවිසීම පිළිබඳව, දේශපාලනයට ඒ වන විටත් සම්බන්ධව සිටි බොහෝ දෙනාගේ සිත් තුළ එතරම් මනාපයක් තිබුණේ නැත.හෂාන් වැනි අය වෙත ආසන ලබා දීම පිළිබඳව සමහර පුද්ගලයන් එකහෙළාම ඔවුන්ගේ විරෝධය පළ කළහ.ඔවුන් වෙත ආසන ලබා නොදෙන ලෙස ඇතැමුන් බලපෑම් කළ ආකාරය පිළිබඳවද පසුකාලීනව අප හට දැන ගන්නට ලැබුණි.මිනිසුන් බොහෝ දෙනෙක් දන්නා හඳුනන, ප්‍රසිද්ධියක් උසුලන අයෙකු දේශපාලනයට අවතීර්ණ වීමේදී ඡන්ද ලබා ගැනීමේ කාර්‍යය සාමාන්‍යයෙන් පහසු වන නිසා එවැනි අය , තරුණ අය සහ නවකයන් දේශපාලනයට පිවිසීම බොහෝ දෙනාගේ විරෝධයට හේතු වේ.දේශපාලනය යනු එකිනෙකා සමග සමග ගැටුම් ඇති කර ගනිමින් වෛරය පතුරවමින් නිරතවිය හැකි දෙයක් නොවේ.දේශපාලනය තුළින් මිනිසුන් හට සේවය කිරීමට හැකියාව තිබියදීත් බොහෝ දෙනා දේශපාලනයට පිවිසීමට මැලිකමක් දක්වන්නේ ඒ හේතුව නිසා යැයි ඇතැම් අවස්ථාවලදි මා හට සිතුනි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles