විශේෂ චාරිත්‍ර රැසකින් සමන්විත වූ රැජිනගේ අවමංගල්‍ය උත්සවය

The london bridge is down -ලන්ඩන් පාලම බිඳ  වැටිණ!!

එංගලන්තය ඇතුළු බ්‍රිතාන්‍ය කිරීටයට අයත් රාජ්‍යයන්හී රාජ්‍ය නායිකාව සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වන දෙවන එළිසබත් මහ රැජිණ ස්වර්ගස්ථ වූ බව බකිංහැම් මාළිගය නිවේදනය කරන්නේ සැප්තැම්බර් අටවෙනිදා රාත්‍රියේදී.

දින කිහිපයක් තිස්සේ පැවති රෝගී තත්ත්වය නිසා ඇය වෛද්‍ය අධීක්ෂණයට ලක්ව සිටි අතර ස්කොට්ලන්තයේ Balmoral මාලිගාවේදී ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා.ඇය මිය යන තුරුම සැබෑ තත්ත්වය ලෝකයට රහසක් වූ අතර රෝගී තත්ත්වයක් යනු අතිශය පෞද්ගලික කාරණාවක් නිසා එය මාධ්‍යයට හෙළි නොකිරීම රජ පවුලේ සාමාන්‍ය සිරිත බවයි පැවසන්නේ.චාල්ස් කුමරු,විලියම් කුමරු පමණක් නොව ඇමරිකාවේ ජීවත් වූ හැරී කුමරු පවා Balmoral මාළිගාව වෙත පැමිණෙද්දී රැජිණගේ තත්ත්වය අසාධ්‍ය වන්නට ඉඩ ඇති බවට නම් මාධ්‍ය සහතික කරන්නට වුණා.

මහ රැජින සිහසුනට පත්වූයේ 1952 වසරේ ඇයගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජු අභාවයට පත් වූ වීමෙන් පසුවයි.1947 නොවැම්බරයේ දී, ඇය ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ හිටපු කුමාරයෙකු වූ පිලිප් මවුන්ට්බැටන් සමඟ විවාහ වූණා.එය ලෝකය කැලඹූ පෙම් කතාවක්.පිලිප් කුමරු උපතින් රාජකීය ජන්මයක් ලද්දෙකු වූවත් ඔහුට වත්කම් හෝ නිලතල තිබුණේ නෑ.ඔහුගේ සහෝදරියන් විවාහව සිටියේ නාසි සබඳතා ඇති ව්‍යපාරිකයන් සමඟ වීම දෙවන ලෝක යුද්ධයෙන් බැට කෑ බ්‍රිතාන්‍යයට එතරම් රුස්සන්නක් වූයේ නෑ.පුවත්පත් පිලිප් කුමරු හැඳින්වූයේ රාජධානියක් නොමැති රජෙක් ලෙසටයි.රාජකීය උපදේශකයන් පිලිප් කුමරු එළිසබෙත් කුමරියට නොගැලපෙන්නෙකු බව පවසා තිබුණා.මෙම සියලු බාධක මැද පිලිප් කුමරු සහ එළිසබෙත් කුමරිය 1947 දී විවාපත් වුණා.ඔහු මිය යන තෙක් ඔවුන්ගේ විවාහය වසර 73ක් පැවතුණා. ඔවුන්ට දරුවන් හතර දෙනෙක් සිටින අතර ඒ චාල්ස්,එඩ්වඩ් සහ ඇන්ඩෘ කුමරු සමඟ ඈන් කුමරිය වනවා.  එපමණක් නොවෙයි ඔවුන් දෙදෙනා දරුවන් හතර දෙනෙකුට අමතරව මුණු බුරන් අටක් සහ මී මුණුබුරු මිනිබිරියන් අට දෙනෙකු දකින්නට වාසනාවන්ත වූවා.

වසර හැත්තෑවක් කිරීටය දරමින් ප්ලැටිනම් ජුබිලියක් සමරන පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා බවට පත්වන්නට ඇය වාසනාවන්ත වුණා.දෙවන එලිසබත් රැජින ලොව දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ රැඳී සිටින රාජ්‍ය නායිකාව බවට ද පත්   වූ වාසනාවන්තියක්.

නිල වශයෙන් රැජිනගේ මරණය දැන්වීම

රැජිනගේ මියයාම සම්බන්ධයෙන් ඇගේ පෞද්ගලික ලේකම්වරයා බ්‍රිතාන්‍ය අගමැතිවරයාට ද නිල වශයෙන් දැන්විය යුතුයි.ඔහු සහ විදේශ කටයුතු කාර්යාලය එය පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවලට සහ ඇය රාජ්‍යත්වය උසුලන රටවලට දැනුම් දෙන බවයි එංගලන්ත වෙබ් අඩවි පවසන්නේ.

The london bridge is down -ලන්ඩන් පාලම බිඳ  වැටිණ!! ලෙස ඔවුන් එය දන්වනවා.

රාජකීය සම්ප්‍රදායට අනුව Balmoral මාලිගාව ඉදිරියේ නිවේදනයක් සේවකයන් දෙදෙනෙකු විසින් තැන්පත් කිරීම මුලින්ම සිදු වූ අතර රැජිණගෙන් අනතුරුව රජකම හිමි වූ තුන්වන චාල්ස් රජු තම පළමු රාජකාරිය ලෙස මවගේ මරණය සම්බන්ධයෙන් නිල නිවේදනය නිකුත් කරන්නට ක්‍රියා කළා.චාල්ස් කුමරු තුන්වන චාල්ස් ලෙස රජ වීමත් සමඟ ඩයනා කුමරිය ගැන මතක ලෝකයාට අලුත් වීමේ ඉඩකඩ ද පවතින බව නොකියාම බැහැ.චාල්ස් කුමරු රජවීම නිසා වේල්ස් හි කුමාරයා තනතුර විලියම් කුමරුට හිමි වෙනවා.රාජ්‍යත්වය භාර ගත් බව චාල්ස් නිවේදනය කළ ද ඔහුගේ රාජාභිෂේකය පැවැත්වෙන්නේ රාජ්‍ය අවමංගල්‍යයෙන් අනතුරුවයි.

දේහය ලන්ඩන් නුවරට ගෙන එයි.

රැජිනගේ අභාවයෙන් පසු දේහය ලන්ඩන් නුවරට ගෙන එන්නට ප්‍රථම එඩින්බරෝහි ශාන්ත ගයිල්ස් ආසන දෙව් මැදුරේ තැන්පත් කලා.ඉන්පසු රාජකීය ගුවන් යානයකින් ලන්ඩන් නුවරට ළඟා වූවා.ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් නුවරට  රාජකීය දේහය රැගෙන ඒමේ වගකීම රැජිනගේ එකම දියණිය වූ ඈන් කුමරියට පැවරුණා.චාල්ස් රජු සහ රැජින විසින් පිළි ගත් රාජකීය දේහය 

බකිංහැම් මාළිගාවේ තැන්පත් කෙරුණේ රාජකීය පවුලේ සාමාජිකයින් සහ රාජකීය හමුදා නිලධාරීන් ප්‍රමුඛ පෙරහරකින්. 

සැප්තැම්බර් 14 වැනිදා දේහය වෙස්මිනිස්ටර් ශාලාවේ Grand Hall හි තැන්පත් කළා.හමුදා තමා ආචාර පෙළපාලියකින් කාලතුවක්කු රදවනයක තැන්පත් කරන ලද දේහය අශ්වාරෝහකයන් සහ හමුදා ආචාර සහිතව ගමන් කළා.ඒ පිටුපස චාල්ස් රජු සහ රැජිනගේ සියලුම දරුවන් ගමන් කළ අතර විලියම් සහ හැරී කුමාරවරුන්ද ගමන් කළා.

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කළ දේහයට දහස් ගණනින් මහජනතාව මහජන ගෞරවය පළ කර සිටියා

රාජකීය තනතුරුවල වෙනසක්.

චාල්ස් කුමරු තුන්වෙනි චාල්ස් ලෙස රජ වූ අතර නව වේල්ස් හි කුමරා සහ කුමරිය ලෙස විලියම් සහ කේට් යුවළ පත්වුණා.සැර විසිපහකට පෙර ඩයනා කුමරිය වේල්ස් හි කුමරිය තනතුර හෙබවූ අතර දැන් එය කේට් කුමරියට හිමිව තිබෙනවා.තමන්ගේ නැන්දණිය ලෙසම තමන්ගේ මාවතක් මානය කරගන්නා බවයි ඇය පවසන්නේ.ඔවුන් දෙදෙනාට කෝන්වෝල්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙසද තනතුරු පිරිනමා තිබෙනවා.

රාජකීය අවමංගල්‍ය උත්සවයේ ආරාධිතයන්

රැජිනියගේ අවමංගල්‍යය සඳහා ලෝකය පුරා රාජ්‍ය නායකයින් පන්සියයකට පමණ ආරාධනා ලැබුණා.නිල ගුවන් යානා වෙනුවට වාණිජ ගුවන් යානා භාවිතා කරන්නට ඔවුන්ගෙන් බ්‍රිතාන්‍ය රජය ඉල්ලා තිබෙනවා.ලෝක නායකයින්ට අමතරව රාජකීය පවුලේ සාමාජිකයින්ට මෙයට ආරාධනා ලැබෙනවා.මංගල්‍ය පවත්වන ශාන්ත ඇබේ දේවස්ථානය තුළ පුද්ගලයන් 2200 ට අසුන් ගැනීමේ හැකියාවද පවතිනවා.පැමිණෙන රාජ්‍ය නායකයින්ට චාල්ස් රජු විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වූවා.ඇරයුම් නොකළ රටවල් ලෙස බීබීසී රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු ජේම්ස් ලැන්ඩේල් පවසන පරිදි සිරියාව, වෙනිසියුලාව සහ ඇෆ්ගනිස්ථානය සඳහන් වෙනවා.රුසියාව, බෙලරුසියාව සහ මියන්මාරයටද ආරාධනා ලැබුණේ නෑ.

මහජන ගෞරවය යටතේ රැජිනට ගෞරව දැක්වීමට බ්‍රිතාන්‍යයේ බලවත් පුද්ගලයන් බොහොමයක් පැය ගණනක් පෝලිමේ සිටි බව සඳහන් වෙනවා.

රැජිනගේ මුනුපුරු මිනිපිරියන් අට දෙනා ඉරිදා දිනයේ දේහයට අවසන් ගෞරව දැක්වූ අතර එය සිදුවූයේ විලියම් කුමාරයාගේ ප්‍රධානත්වයෙන්.මෙය මිනිත්තු  පහළොවක පමණ කාලයක් තුළ සිදුවුණු අතර ඒ මොහොතේ විලියම් සහ හැරී කුමාරවරුන් පූර්ණ රාජකීය හමුදා නිල ඇඳුමෙන් සැරසී සිටියා.

අවමංගල්‍ය චාරිත්‍ර

වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් රැජිනගේ දේහය වින්ඩ්සර් දේව මාළිගාවට රැගෙන ගියා.රාජකීය තුවක්කු ප්‍රවාහන කරත්තයකින් ඇගේ දේහය රැගෙන යනු ලැබුවා.චාල්ස් රජු සහ විලියම් සහ හැරී කුමරුන් ද පවුලේ සෙසු සාමාජිකයින් ද මේ අවමංගල්‍ය පෙරහරේ ගමන් කළා.එය රාජකීය හමුදාවට සම්බන්ධ නිලධාරීන්ගෙන් ද සමන්විත වුණා.පාර්ලිමේන්තු චතුරශ්‍රයේදී ගෞරව සම්මාන මුරයක් පවත්වනු ලැබුවා.අවමංගල්‍ය දේශනය පවත්වනු ලැබුවේ කැන්ටබරි  අගරදගුරුවරයා විසින්.ඉන්පසු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ජාතික ගීය සහ ශෝකී රාවයක් වාදනය කළා.අවමංගල්‍යය මෙහෙය අවසන් වූයේ ඒ ආකාරයට.

ඉන්පසු රැජිනගේ දේහය වෙලින්ටන් ආරුක්කුව දක්වා පා ගමනින් රැගෙන ගියා.ඒ පෙරහැර ඉතා සෙමින් ගමන් කලේ විනාඩියෙන් විනාඩියට බිග්බෙන් ඔරලෝසුව නාද වෙද්දි.හයිඩ් පිටියේ සිට සෑම විනාඩියකට වරක්ම ආචාර වෙඩිමුර ද තැබුවා.පාගමනට ද රජ පවුලේ සාමාජිකයින් එක්වූවා.ඉදිකර ඇති නැරඹුම් මධ්‍යස්ථානවලට වී සාමාන්‍ය ජනතාවට මංගල්‍ය පෙරහර නැරඹීමට හැකි වුණා.

වෙලින්ටන් ආරුක්කුවේදී දේහය රාජ්‍ය අවමංගල්‍ය රථයට මාරු වූ අතර එය ගමන් කළේ වින්ඩ්සර් මාලිගාවටයි.මෙය සැතපුම් තුනක ගමනක්.මහජනතාවට මාවත දෙපස සිට අවමංගල පෙරහැර නැරඹීමේ හැකියාව ලැබුණා.

එහිදී ද මාලිගා සීනු වල විනාඩියකට වරක් සීනු නාද වූ අතර ආචාර වෙඩිමුර ද පවත්වනු ලැබුවා.

ඉන්පසු ශාන්ත ජෝර්ජ් දේවස්ථානය තුළ අවසාන ගීතිකාව ගායනා වූ අතර රාජකීය චාරිත්‍ර පවත්වනු ලැබුවා.මෙහිදී රාජාභරණ වල භාරකරු විසින් ඒවා රැජිනගෙන් ඉවත් කරනු ලබනවා.චාරිත්‍ර පවත්වා පවුලේ සාමාජිකයින් දේවස්ථානයෙන් නික්ම ගියා.සවස් යාමයේ පැවැත් වූ පවුලේ දේව මෙහෙයෙන් පසු ශාන්ත ජෝර්ජ් දේවස්ථානය තුළ පිහිටි හයවන ජෝර්ජ් රජු අනුස්මරණ දේවස්ථානය තුළ රැජිනගේ දේහය තැන්පත් කරනු ලැබුවේ ඇගේ ආදරණීය සැමියා වූ  එඩින්බරෝ ආදිපාදවරයා අසලින්.

ලෝකය පුරා නම රැඳ වූ විශිෂ්ඨ සහ බලසම්පන්න ගැහැනිය තමන්ගේ දිවි සැරිය නිමා කරන්නේ ඒ ආකාරයෙන්. වසර ගණනාවක් පුරා ලෝකයේ අවධානය තමන්ට නතු කරගත් ඒ අභිමානවත් ගැහැනියට ස්වර්ගය ශාන්තිය දනවන තැනක් වේවා!

Related Articles

Don't Miss


Latest Articles