ප්‍රේමය වෙනුවෙන් වසර 22ක් පුරා කඳුවැටියක් කැපූ මිනිසෙකුගේ සත්‍ය කතාව

ප්‍රේමය ඉසියුම් හැඟීම් දහස් ගණනක් උපදවන ඉමිහිරිම දෙයක් බව අමුතුවෙන් කියන්නට උවමනා නැහැ. මේ ඇරඹෙන්නේ ආදරවන්තයන්ගේ මාසය. ආදරය ගැන බොහෝ දේවල් කතා කරන්නට මේ හොඳම කාලය. ආදරයෙන් ජීවත් වී ආදරය වෙනුවෙන් බොහෝ දේවල් කළ ඒ හන්දාම ඉතිහාසයට එක්වූ අප්‍රමාණ චරිත හිඳිනවා.

කඳුකර මිනිසා ලෙස හැඳින්වෙන Dashrat Manjhi එවැන්නෙක්. බිහාර් ප්‍රාන්තයේ ගෙහ්ලෝර් කඳුවැටිය හරහා උදැල්ලක් සහ මිටියක් පමණක් යොදාගෙන මාර්ගයක් තැනූ පුද්ගලයෙක් ලෙස ඔහු ඉතිහාසගත වෙනවා. ඔහුගේ උත්සාහය නිසා බිහාර් ප්‍රාන්තයේ ගයාවේ පිහිටි ඔහුගේ ගම්මානය වන Atri සහ Wazirganj  අතර දුර කිලෝමීටර 55 සිට 15 දක්වා අඩු වුණා.එය කතා කළ යුතු තරම් ජයග්‍රහණයක්!

Dashrat Manjhi මෙය කළේ ඔහුගේ ආදරණීය බිරිඳ වෙනුවෙන්.1959 දී ගම තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව නොමැතිකම හේතුවෙන් ඇය මිය ගියා.මාර්ගයේ ඇති දුෂ්කර බව නිසා ඇය රෝහලකට රැගෙන යන්නට ද ඔහුට නොහැකි වුණා.ඒ නිසා ගමේ මිනිසුන්ට ගමනාගමනය පහසු කිරීම සඳහා කඳුකරයේ මාර්ගයක් සැකසීමට Manjhi පෙළඹුණා. ඔහුගේ පැතුම වූයේ ඔවුන්ට ළඟම ඇති වෛද්‍ය මධ්‍යස්ථානයත් ඔවුන් ජීවත් වන කඳුකරයත් අතර ඇති දුරස්ථභාවය නිසා තම බිරිඳට අත් වූ ඉරණම වෙනත් කිසිවෙකුට අත්විඳින්නට ඉඩ නොදීමයි.ගමට යාමට ඒමට කන්ද බාධාවක් වූ බැවින් බිරිඳගේ මරණයෙන් පසු ගම වෙනුවෙන් තම ජීවිතය කැප කිරීමට මංජි තීරණය කළා.එය ලෙහෙසි දෙයක් නෙවෙයි. ඔහුට සිදු වූ සියලු දුෂ්කරතා පැහැදිලිව නිරූපණය වන ලෙස පසුකාලීනව Manjhi- The Mountain Man චිත්‍රපටය නිර්මාණය වුණා.එහි නිරූපණය වන පරිදි Manjhiට අතිශය දුෂ්කරතාවලට මුහුණ දීමටත් සිදු වුණා.

ඔහු තම ආයුධවලින් කන්ද කපන්නට පටන් ගත් විට, මිනිසුන් ඔහු බිරිඳගේ මරණයෙන් පසු උමතු වූ පුද්ගලයෙක් ලෙස හැඳින්වීමට පටන් ගත්තා.ඒ ඔහු කරන්නේ කුමක්දැයි  කිසිවෙකුට සිතාගත නොහැකි වූ බැවින්.

බිරිඳගේ මරණය නිසා ඔහු හිස්ටීරියා රෝගයෙන් පෙළෙන බවද ඇතැමුන් පැවසුවා. එහෙත් ගමත් රෝහලත් අතර දුරස්ථභාවය අඩුකර ගැනීමට දිවා රෑ නොබලා කන්ද කපමින් තම ජීවිතයෙන් වසර 22ක් කැප කිරීමට ඔහු පෙළඹවූ ඔහුගේ අධිෂ්ඨානය සහ සදාකාලික ආදරය ගැන කිසිවෙක් සිතුවේ නැහැ.

ඔහුගේ නොපසුබට ධෛර්යය, අධිෂ්ඨානය, නොමැකෙන ආත්ම විශ්වාසය ඔහුගේ බිරිඳගේ මරණයට හේතු වූ කන්ද චලනය කිරීමට ඔහුට උපකාර වුණ්. බිහාර් හි දුප්පත් කම්කරුවා, ඔහුගේ ආදර කතාව සහ අසමසම ධෛර්යය ඔහු පිළිබඳ චරිතාපදානයක් කිරීමට ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට හේතු වුණා.ඔහුගේ දුරස්ථ ගමට ප්‍රවේශ වීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා අඩි 360 ක් උස කඳුකරයක් තනි තනිව කපා දැමීම සැබෑවටම කතාබහ කිරීමට හේතුවක්.අන් අය ගමේ දුෂ්කර බවට ශාප කරන අතර ඔහුගේ උමතු උත්සාහය ගැන තවමත් ඔහුව විවේචනය කරනවා, ඔහු අඩි 360 ක් දිග සහ අඩි 30 ක් පළල කඳු බාධකය තම උදැල්ලෙන් හා මිටියෙන් ඉවත් ක‍රමින් වෙහෙස නොබලා වෙහෙස මහන්සි වී වැඩ කළා.

ටජ් මහල ප්‍රේමයේ සංකේතය ලෙස හඳුන්වනවා. ඒත් ඒ නිර්මාණය කරන්නට 20000 ට අධික කම්කරුවන් සිටියා. එහෙත් මංජිට කිසිවෙක්ම සිටියේ නෑ.ඥාතීන් මිතුරන් හෝ අත් උදව්කරුවන් කිසිවෙකුත් නැතුව ඔහු මෙවැන්නක් කළේ ප්‍රේමය වෙනුවෙන්. තමන්ගේ ආදරිය අහිමි වීමේ වේදනාවෙන් ඔහු දැවුණාට ඒ වේදනාව කිසිවෙකුටත් නොලැබීම වෙනුවෙන්. 2007 දී පිත්තාශයේ පිළිකාවක් හේතුවෙන් මිය යන තුරුම වෙහෙස මහන්සි වී ජීවනෝපය සකසා ගන්න ඔහුට සිදු වුණා. ඔහුට රාජ්‍ය අවමංගල්‍යයක් ලබා දුන්නද, ඔහුගේ මුළු ජීවිතයම ගෙවී ගියේ එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට දැඩි වෙහෙසක් දරමින්. මන්ජි තම මියගිය බිරිඳ ෆල්ගුනි දේවි වෙනුවෙන් මාර්ගය කැප කළා . අදටත් ගම්වැසියන් ගමට යාමට හා ඒමට යොදා ගන්නේ කඳුකර මාර්ගයයි.

The Mountain Man චිත්‍රපටිය Ketan Mehta නිර්මාණය කරන්නේ මේ සත්‍ය සිදුවීම ඇසුරින්. ඔහුගේ අසාමාන්‍ය ධෛර්යය සහ ප්‍රේමය වෙනුවෙන් වූ භක්තිය මනාව පිළිබිඹු කරන චිත්‍රපටියක් ලෙස එය ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.ඔහුගේ ගම තුළ දශ්‍රත් බාබා ලෙස මංජි හැඳින්වෙනවා. ඒ කතාව දැන් ජනප්‍රවාදයක් වන අතර ඉතිහාසයද ඔහු නමින් ලියැවෙමින් තිබෙනවා. ඔහුගේ අනවරත අධිෂ්ඨානය සහ ඔහුගේ මියගිය බිරිඳ කෙරෙහි ඇති ආදරය අප සියල්ලන්ම මවිතයට පත් කරන බව සත්‍යයක්.

ඔහුගේ නිර්භීත උත්සාහය සහ අසමසම ආත්මය ප්‍රේමයට වටිනා නිර්වචන සපයනවා. ආදරයට වඩා බලවත් හා ශක්තිමත් බලයක් ඇත්තේ නැහැ.

ප්‍රේමයට පෘථිවියේ ඇති විශාලතම බාධක ඉවත් කළ හැකි බව කියන්නට මේ කතාව හොඳ නිදසුනක්

Related Articles

Don't Miss


Latest Articles