අනුන්ගේ තීරණ.

“ඔයාලගේ වෙඩින් එක ගන්නත් වුණේ නෑ නේද?”

විවාහ උත්සවය අතරතුර නෙත්මි ළඟට ආව ජානකී එහෙම ඇහුවේ කට අමුතු කරලා.නෑහුණා වගේ ඉන්න හැදුවත් කේන්තිය ඊට කලින් වැට පැන්න නිසා නෙත්මි යාන්තන් හිනවක් දීලා ෆෝන් එක දිහා බලා ගත්තා.

“නංගි ඔයාගේ ඩොක්ට කවුද?”

ජානකීට තවත් ප්‍රශ්නයක් මතු වුණා.නෙත්මි ජනප්‍රිය වෛද්‍යවරයෙක්ගේ නම කියන ගමන් ඉවත බලා ගත්තා.ජානකීගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න නෙත්මිට කිසිම උවමනාවක් නැහැ.

“එයා මාස ගාණක් පරක්කු වෙලා ගියාම බාර ගන්නවද?”

ජානකීගේ ප්‍රශ්න ඇහිල්ල නවතින පාටක් නෑ.මෙතනින් නැගිටලා යන්න තරම් ආවේගයක් නෙත්මිට ආවේ ඒ නිසා.ඒත් ධනුක කියන්නේ මේ අහන දේවල් කැළඹිය යුතු ප්‍රශ්න නෙවෙයි කියන එකයි.

“ඔයාට විසි පහක්නෙ.අවුරුදු දාසයක ළමයෙක් නෙවෙයිනෙ..”

ධනුක එහෙම කියන නිසා වුණු දේවල් ලැජ්ජාවෙන් හැංගෙන දේවල් නොවෙන බව නෙත්මි දැන් පිළි ගන්නවා.

“මේ අපේ අරුණි නංගි…අනේ හරිම සංවර ළමයෙක්.ඔච්චර ලස්සන වෙලත් කොල්ලෙක් එක්කවත් යාළු වුණේ නෑලුනෙ.මේ මංගල්ලෙ ප්‍රපෝසල් එකකින්ම කරන්න වුණේ ඒ නිසාලුනෙ..”

මනමාලි ගැන ජානකී කතා කරන්නෙ පුදුම භක්තියකින්.ඒ ජානකීගෙ වගේම ධනුකගෙත් ඥාති සහෝදරියක්.අලුත් පවුලේ පළමුවැනි විවාහ උත්සවයට ආපු සතුට ජානකී අතින් හේදෙනකොට නෙත්මිට පුදුම කේන්තියි.

“අපි ධනුක මල්ලිගෙ වෙඩින් එකටත් එන්න බලාගෙන හිටියෙ.කොහෙද ඔයාලා වෙඩින් එකක් ගන්නකන් ඉවසුවේ නෑනෙ..”

ජානකී කියන්නේ විස්සෝපයෙන්.ඉවසීමක් නෑ කියන කාරණාව ගැන ජානකීට තියන ගැටලුව මතු වුණේ ඊළඟ වචන එක්ක.

“බලන්න ඉතින්..මං බැඳලා අවුරුදු අටක්.ළමයෙක් හදා ගන්න ට්‍රීට්මන්ට්ස් කොච්චර කරනවද? මට එහෙම දෙයක් පේන මානෙක නෑ.ඔයාලට ඕනෑ නැති ළමයෙක් කඩාපාත් වෙලා.කසාද බඳින්නත් වුණා..”

එහෙම තීරණ ගන්නේ කොහොමද කියලා අහන්න ඕනෑ වුණත් නෙත්මි කිසිම දෙයක් නොකියා ඉන්න හිතා ගත්තා.කිසිම දෙයක් නොකියා නැගිටලා උත්සව ශාලාවෙන් එළියට යන නෙත්මි දිහා ජානකී නම් බලාගෙන හිටියේ සමච්චල් බැල්මකින්.

“හොඳ වැඩේ තියන විසේට..”

ජානකී එහෙම හිතුවේ හිනා මුහුණකින්.

නෙත්මි ඈත අහස දිහා බලාගෙන කල්පනාවට වැටුණා.ලස්සන සාරියකින් සැරසිලා හිටියත් නෙරා ආපු කුස ඉස්සර තරමට විවාහ උත්සව වල විනෝද වෙන්න ඉඩ දෙන්නේ නෑ.ඒත් පුංචි අමුත්තා කුස ඇතුළට වෙලා පයින් පාරක් දීලා ” අම්මේ රස කෑම කන්න” කියලා මතක් කරනවා වගේ නෙත්මිට දැනුණා.

“දූ..ඔයා කෑවේ නැද්ද? අර ඉස්සෝ දැල්ලෝ නම් කන්න එපා.උෂ්ණ වැඩී..යං මං බෙදලා දෙන්න..”

ධනුකගේ අම්මාගේ මුහුණ ඇස් ඉස්සරහට එනකොට නෙත්මිගේ කල්පනාව බිමට වැටුණා.නෙත්මිට ධනුකගේ අම්මා හරි තරහ ඇති කියලා මනෝ මාලිගා මවාගෙන හිටපු නෑදෑයන් කීපදෙනෙක්ගේ සතුටත් බිම වැටුණේ ඒ එක්කම.නෙත්මි ධනුකගේ අම්මාගේ අත් අල්ලා ගෙන කෑමට යන හැටි බලාගෙන හිටපු සමහරුන්ට කේන්තියක් ඉපදුණා.

“පරම්පරාවෙම දැලි ගාපු එකීට සලකන හැටි බලන්නකෝ..”

ජානකී එහෙම කිව්වේ ළඟ හිටපු නෑදෑ කාන්තාවකට.අවාසනාවට වගේ ඒ කතාව ධනුකගේ අක්කා,චමරිට ඇහුණා.චමරි ඒ කතාව අහගෙනම ජානකී පැත්තට හැරුණා.

“නෙත්මි කොහෙද අපේ මූනේ දැලි ගෑවේ..”

චමරි අහන්නේ තරහින්.

“කසාදෙකට කලින් ළමයෙක් හදාගන්න එක වීර වැඩක්ද?”

ජානකී පරදින්න ලෑස්ති නෑ.ඒත් චමරිට මේ හරසුන් කතා නවත්තන්න කාලය ඇවිත් කියලා හිතුණා.

“මිනිස්සු වැඩිහිටි උනාම එයාලට එයාලගෙම ජීවිත තියෙනවා.ඒ ජීවිත ඇතුළේ සිද්ධ වෙන පෞද්ගලික දේවල් අපිට කොහොමටවත්ම වැඩක් නෑ..මල්ලි එයාගේ ගෑනු ළමයත් එක්ක ලැබෙන්න ආපු දරුවා හදා ගන්න තීරණය කළා.එයාලා දෙන්නටම හොඳ රස්සාවල් තියෙනවා.දරුවා හදාගන්න ඇති තරම් සල්ලි තියෙනවා.අපිට වැදගත් එච්චරයි..”

චමරිගේ කතාවට ජානකීගේ මූණ ඇකිලෙන්න පටන් ගත්තා.

“ඒ බබාව හදා ගන්න ගත්තු තීරණය හරි ඒ බබා එපා කියලා එයාව නැති කරන්න හිතුවා නම් ඒක හරි මල්ලිගෙත් නෙත්මිගෙත් පෞද්ගලික තීරණ.අම්මාවත් මමවත් ඒවා කර තියාගෙන ඉන්නේ නෑ. නෙත්මි අම්මත් මාත් එක්ක ගොඩක් හිතවත් කමින් ඉන්න හොඳ ගෑනු ළමයෙක්.අනුන්ගේ ඕපදූප හොයන් නැතුව පාඩුවේ ඉන්න කෙනෙක්. අපිට වැදගත් එච්චරයි..”

චමරි එහෙම කියනකොට කියන්න කිසිම දෙයක් නැතුව ජානකී කට වහ ගත්තා.තමන් මේ දේවල් කිව්වේ ජානකීගේ කට වහන්න නෙමෙයි කියලා චමරි දන්නවා.නෙත්මි හදිසියේ ගැබ් අරගෙන නිසා ඉක්මන් විවාහයක් සැලසුම් කළ බව මල්ලි ඇවිල්ල කියපු දවස චමරි සිහිපත් කළා.

“ඒ ඔක්කොටම කලින් ඉක්මනින් ගිහිල්ලා doctor කෙනෙක් මුණ ගැහෙන්න.ඔයාලට වැදගත් දරුවා නම් එයා ගැන දැන් ඉස්සරලම හිතන්න ඕන..”

නෑදෑයෝ හිතන විදිහට අම්මා දුම්මල වරම අතට ගත්තෙ නෑ.නෙත්මිට සාප කළෙත් නෑ.අම්මා දුන්නු එකම උපදේශය එච්චරයි.චමරි ඒ මොහොත සිහි කළේ ආදරයෙන්.

“මේ රටේ වැඩිපුරම ජීවත් වෙන්නේ මිඩ්වයිෆ්ලා..”

චමරි නැගිට්ටේ එහෙම කියාගෙන.විමසිල්ලෙන් මුහුණ දිහා බලාගෙන හිටපු ඥාති කාන්තාවන්ට ඒ කතාව තේරුම් කරලා දෙන්න චමරි වග බලා ගත්තා.

“කවුරුහරි වෙඩින් එකෙන් පස්සේ ප්‍රෙග්නන්ට් උනාම අපේ ගොඩක් අය කරන්නේ ඒ බබා වෙඩින් එකට කලින් ආපු කෙනෙක්ද වෙලා දවස් ගැනලා බලන එක..දරුවෙක් ලැබෙන්න පරක්කු නම් ඒ කාරණාව ම හෝද හෝද මඩේ දාන එක..බලාගෙන යනකොට මිඩ්වයිෆ්ලටත් වඩා ලැබෙන්න ඉන්න දරුවො ගැන ප්‍රශ්න තියෙන්නේ අහල පහල අයටයි නෑදෑයින්ටයි..”

කේන්ති ගන්නවා මිසක් තමන් ගැන ලැජ්ජා වන අය අඩු බව චමරි දන්නවා.ඒත් තමන්ගෙ නෑනා වෙනුවෙන් විතරක් නෙමෙයි,පීඩා විඳින හැම ගැහැනියක් වෙනුවෙන්ම කතා කරන්න ලැබුණා කියලා ඇයට සතුටු හිතුණා.

“අනිත් මිනිසුන්ගේ බෙඩ් රූම් එකට එබෙන එක එක්කෙනෙක් දෙන්නෙක් වත් නවත්තන්නෙ නැතැයි..”

චමරි හිතුවේ එතැනි ඉවතට යන ගමන්.

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content