කෙනෙකුගේ වේදනාවක හේතුව වෙන්න එපා.

“නුවන් මාර වාහනයක් අරන්.”

පවනි ඒ කතාවට මොකුත්ම නොකියා හිනා වූණා.මාර වාහන කියලා දෙයක් මේ ලෝකේ නෑ කියලා කියන්න හිතුණත් ඇය කිසිවක් නොකියා හිනාවක් මවා ගත්තා 

“නුවන්ට අවුරුදු දෙකක විතර ඉඳලා මාර විදියට හරි යන්නේ.”

දේවින්දි මෙහෙම කියන්නේ ඇයි කියලා පවනි හොඳින්ම දන්නවා.නුවන් එක්ක තිබුණු විෂ සහිත සම්බන්ධය අවසන් වෙලා දැන් අවුරුදුම දෙකක්.නුවන් එක්ක ඒ දවස්වල කෙළවරක් නැතුව රණ්ඩු හදාගන්නකොට දේවින්දියි වාසනායි පවනිට මැතිරුවේ එකම මන්තරයක්.

“නුවන් එක්කත් ඉන්න බැරිනම් කා එක්ක ඉන්නද? අනේ ඔයාට පින නෑ.”

පින තියෙන්න ඕනෑ නොනවත්වාම දුක් විඳින්නද කියලා හිතාගන්න බැරි වුණත් පවනි ඒ සම්බන්ධය අවසන් කළා.ඒකට බොහොම ලොකු විනිශ්චයන් දෙන්න දේවින්දිත් වාසනාත් වග බලා ගත්තත් පවනිගේ අවසන් තීරණය වුණේ නුවන්ට සමු දීම.

ඉන්පස්සේ නුවන් ලස්සන ඇඳුමක් ඇඳලා ෆේස්බුක් ෆොටෝ එකක් දැම්මත් ඒ ගැන පැයක්වත් වර්ණනා කිරීම දේවින්දිගේ සහ වාසනාගේ පුරුද්දක් වුණා.නුවන්ට වුණේ යහපතක් කියලා නොකියා කියන්න මිතුරියන් දරුණු වෙන්නේ කොහොමද කියලා පවනිට හිතා ගන්නවත් බෑ.

“නුවන් නැති එකට ඔයාට ඇත්තටම දුක නැද්ද?”

වාසනා මේ ප්‍රශ්නය අහන්නේ කීවැනි වතාවටද කියලා පවනි කල්පනා කළා.නුවන් උපයා ගත් දේවල් ගැන කියමින් නොනවත්වාම කියවන කියවිල්ල වාසනා කවද නවත්තයිද?

“නීලක ඔයාව අත් ඇරියම තමයි ඔයාට නුවන්ගෙ අගේ තේරෙන්නෙ”

නීලකට ආදරය කරන්න ගත්තු දවසේ ඉඳලාම ඕක හරියන්නේ නෑ කියන මන්තරය මතුරන දෙමිතුරියන් එක්ක එකම නවාතැනක තවත් ඉන්න ඕනෑද කියල පවනිට හිතෙනවා.

“ඇයි නීලක මාව අත් අරින්නේ?”

මේ වතාවේ තර්ක කරන්න පවනි හිතුවා.පවනිට කිසිම කෙනෙක් එක්ක ඉන්න බැරි එක තමයි හේතුව.වාසනා කිව්වේ බොහොම පැහැදිලිව.

“නුවන් එක්ක සිද්ධ වුණු හැමදේම දන්නේ මමනෙ වාසනා.ඔයාවත් දේවිවත් ඔක්කොම කතාව දන්නේ නෑනෙ.මාව ඔහොම ජජ් කරන එක වැරදි නැද්ද?”

අවසානයේ එහෙම අහන්න පවනි තීරණය කළා.ඒත් ඒකටත් උත්තරයක් වාසනා ගාව තියනවා.නුවන් වගේ කෙනෙක් අහිමි කරගැනීම පවනිගේ අවාසනාව.ඒ හැරුණාම එතන වෙන තර්ක කරන්න දෙයක් නැහැ.ඒ වගේම නීලකත් දවසක පවනි අත් හරින ඉඩ බොහොම වැඩියි.

පවනි මොකුත් නොකියා ඇඳට වැටුණේ තව කෙනෙකුව රිදවීම මේ තරම් පහසු කරගන්න අය එක්ක ගනුදෙනු කිරීම මොනතරමට අපහසුද හිතමින්.හිතුවත් පිළිතුරු නැති ඒ ප්‍රශ්නය නොහිතා ඉන්න තරමට පහසුයි.

පහුගිය කාලය පුරාම පවනිගේ රූපයේ ඇති වැරදි ඇය දැක්කේ කැඩපතින් නෙවෙයි.මිතුරියන්ගේ ඇස් දෙකෙන්.පවනිගේ කම්මුලක එන පුංචි කුරුලෑවක් වුණත් ඇයව මොනතරමට අජූව කරනවද කියලා පවනිට වටහා දෙන්නේ මිතුරියන්.දවසක් පුරා ෂොපින් කරලා අරගෙන එන ඇඳුමක් පවනිට නොගැළපෙන හැටි,ඒ කඩේ ඇඳුම් මොනතරම් කැත ද කියන එක,මොන තරම් බාල රෙදිවලින් කරලා තියනවද කියන එක පවනිට කියා දෙන්නේ මිතුරියන්.

“අපි වෙන බෝඩින් එකක් බලමු.ඇත්තටම එයාලා යාලුවෝ කියල ඔයාට හිතෙනවද?”

ඇත්තටම මේ යාලුවෝ කියලා කියන්න බැරි වුණත් මොනවා කරන්නද? ඒත් නීලක කියනවා වගේ තීරණයක් ගන්නම ඕනෑ කියලා පවනි හිතුවා.

නිතර එකට ගැටෙන අයට මේ තරමට ජීවිතේ වෙනස් කරන්න පුලුවන් ද කියලා පවනි හිතුවේ බොහෝ වාරයක් කල්පනා කිරීමෙන් පස්සේ.ජීවිතේ එපා වෙනතරමට වරින් වර දේවල් කියමින් ඇද පළුදු කියමින් තමන්ව වෙහෙසවමින් ඉන්න මිතුරියන් තමන්ගේ හිත මොනතරමට රිද්දනවද කියන්න පවනිට වචනත් නෑ.

“අනිත් අයගේ ජීවිතේ එපා කරන කෙනෙක් නොවී ඉන්න”

එහෙම දැක්කේ ෆේස්බුක් එකේ.ඒ කතාව ඇත්තටම ඇත්ත.ඒත් ඒ වගේ කතා උදේ රෑ නැතුව ශෙයා කරන වාසනාම තමයි පවනිගේ හිත වැඩියෙන්ම රිද්දන්නේ.

“අනේ අයියෝ මේ බලන්නකො.”

දේවින්දිගේ කෑගැහිල්ලට ඇස් පියාගෙන හිටිය පවනිත් ඇස් ඇරලා බැලුවේ කලබලයෙන්.ෆේස්බුක් හරහා විතරක් හඳුනාගත් මිතුරියක් සියදිවි නසාගෙන.ඒ ගැන බොහොම විස්සෝපයෙන් දේවින්දි කතා කරනවා.වාසනාත් ඒ කතාවට එකතු වුණා.

“එයාට මොකුත් ප්‍රශ්නයක් තිබිලද? ලව් එකක්ද?

කිසිම හේතුවක් ආරංචි නැති බව දේවින්දි කිව්වේ වාසනාට පිළිතුරක් හැටියට.ජීවිතේ අල්ලා ගන්න අමාරුම හේතුවක් එයාටත් එන්න ඇති.පවනි හිතුවා.නුවන් නිසා රිදුණු මනස සුවපත් කරගන්න මනෝ වෛද්‍යවරයෙක් පිහිට නොවුණානම් රේල් පාරට ගිහින් ඇස් පියාගන්න තමන්ටත් කීපාරක් හිතුණාද කියලා පවනිට ගණන් කරලා බලන්නවත් බැරිතරම්.මනස ලෙඩ වීම දරා ගන්නම බැරි තැන ඇය නොනවත්වාම ප්‍රතිකාර ලබා ගත්තා.නමුත් ඒ කිසිවක්ම ඇගේ මිතුරියන් පිළි ගත්තේ නෑ.වැඩිම රිදුම අයත් නුවන්ට බවත් පවනි ප්‍රතිකාරගැනීම විහිලුවක් බවත් ඔවුන් දිගින් දිගටම පැවසූ අන්දම පවනිට අමතක නෑ.

“සාවිත්‍රිගේ මරණය එක්ක මේක නොකියාම බෑ.මොකක් හරි ප්‍රශ්නයක් තියනවානම් ඕනෑම වෙලාවක කතා කරන්න.අපි කතා කරමු.”

පවනි ඉන්න තැනින් නැගිට්ටේ ඒ කතාව දැකලා.ෆේස්බුක් අවකාශයේ ඒ කතාව ලියලා තියෙන්නේ වාසනා.පවනිට උපන්නේ හිනාවක්.

“වාසනා..”

ඇය වාසනාට කතා කරන්න තීරණයක් ගත්තා.කතා නොකර ඉන්න හිතෙන්නේ නෑ.රැල්ල සහ සත්‍යය පවතින්නේ අන්ත දෙකක.

“ඔයා නොදන්න මිනිස්සුන්ට දුක කියන්න එන්න කියලා ෆේස්බුක් එකේ ලියනව.මං වේදනාවෙන් හිටිය කාලේ මං ඒ කරන්නේ බොරුවක් කියලා ඔයා කොයිතරම් නම් කිව්වද? කෙනෙකුට ජීවිතේ එපා කරලා රැල්ලට තව කෙනෙක්ගේ දුක අහලා වැඩක් නෑ වාසනා.අදටත් ඔයාලා නුවන්ව බිමින් තියලා නෑ.අදටත් ඔයාලා එයා මතක් කරනව.මට හිනා වෙනවා.තේරුමක් නෑ නේද?”

වාසනාට දෙන්න උත්තරයක් තිබුණේ නෑ.තමන්ගේ හැසිරීම ඇත්තටම තේරුමක් නැති බව සමහරවිට ඇයට හිතෙන්න ඇති.

More Stories

Don't Miss


Latest Articles