මතක දිගහැරුම 112 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය දොලස්වන දිගහැරුම ,

තාත්තා මෙලොව හැර ගිය පුවත මට අදහා ගත නොහැකි විය.අප නිවසින් පිටත් වන විට පවා කිසිදු අසනීපයකින් තොරව ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි තාත්තාට හදිසියේම සිදු වූ දෙය දරා ගත නොහැකි වූ මා කම්පනයට පත්වී හඬන්නට පටන් ගත්තෙමි. ඒ පිළිබඳව හෂාන්ටද පවසමින් මා හඬා වැටෙන විට මා සමග සිටි අපගේ බාල පුතු ද කෑගසා හඬන්නට විය.එපමනක් නොව හෂාන් සහ ඔහුගේ දෙමව්පියන් ද සිදු වූ ඇති දේ පිළිබඳව අතිශය කණගාටුවට පත්වී සිටියහ.

ප්‍රේමදාස ඇමතූ මා තාත්තා ට සිදු වූයේ කුමක් දැයි විමසුවෙමි

” මහත්තයාට පපුවේ අමාරුවක් ඇවිල්ලා නෝනා “

අප නිවසින් පිටත් වූ පසු පුවත්පත කියවමින් සිටි තාත්තාට හදිසියේම පපුවේ වේදනාවක් ඇතිවී ඇති අතර ඉන් පසුව ඔහු මුළුතැන්ගෙයි සේවකයෙකුගෙන් තේ එකක් සකස් කර දෙන්න යැයි ඉල්ලා ඇත

” පපුව රිදෙන කොට තේ බීලා හරි යනවද මහත්තයා ?”

එසේ විමසූ සේවකයා තාත්තගේ පපුවේ සිද්ධාලේප ආලේප කර තිබුනි. තාත්තා කාමරයේ විවේක ගනිමින් සිටින අතරතුරදී ප්‍රේමදාසට පැමිණෙන ලෙස පවසන්නැයි ඔහු සේවකයාට පවසා ඇත.ප්‍රේමදාස තාත්තගේ කාමරයට පැමිණෙන විට තාත්තා හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළෙමින් සිටින ආකාරය දැක ගන්නට ලැබී තිබුණි. එසැණින් ක්‍රියාත්මක වූ ප්‍රේමදාස අප නිවස අසල පදිංචිව සිටින වෛද්‍යවරියක ලෙස සේවය කරන හෂාන්ගේ ලොකු නැන්දාගේ දුවව සොයා ගෙන ඔවුන්ගේ නිවසට ගොස් ඇත. නමුත් අවාසනාවකට මෙන් ඇය ඒ මොහොතේ නිවසේ සිට නැත.

නැවතත් නිවසට දුවගෙන පැමිණි ප්‍රේමදාස ඒ මොහොතේ නිවසේ නිදා සිටි අපගේ දෙවන පුතුව අවදි කරවා ඇත.

” බබා සුදු සීයට අමාරුයි .එයාට හුස්ම ගන්න බැහැ.ඉක්මනට හොස්පිට්ල් එකට අරගෙන යමු “

ප්‍රේමදාස එසේ කියූ සැනින් අපගේ පුතු රෝහලට යාම සඳහා සූදානම් වී තිබුණි. තාත්තාද පවසා ඇත්තේ ඔහු හට හුස්ම ගැනීමේ දැඩි අපහසුවක් දැනෙන බැවින් හැකි ඉක්මනින් ඔහුව රෝහල කරා රැගෙන යන ලෙසයි.

” මම ඉක්මනට අම්මිට කෝල් කරන්නම් “

” එපා එපා.අම්මිලට කරදර කරන්න එපා එයාලා වැඩකටනෙ ගියේ “

තාත්තගේ කීමට අවනත නොවූ අපගේ පුතු මා හට දුරකථනයෙන් අමතා තිබුණි. ඒ අවස්ථාවේ දී මා දුරකථනයෙ නිහඬ කර අත් බෑගයේ දමා තිබූ නිසා එම ඇමතුම් සියල්ලම මා හට මග හැරුණි.

” කෝල් කර කර ඉන්න වෙලාවක් නැහැ බබා අපි ඉක්මනට යමු “

ප්‍රේමදාස එසේ පවසන විටත් තාත්තා හුස්ම ගන්නේ අපහසුවෙන් වග අපගේ පුතු වන රවිඳු හටත් වැටහී තිබුනි .

” අම්මි සුදු සීයා ජීප් එක ලඟට ඇවිදගෙන ගියේ .ඊට පස්සේ අපි සුදු සීයව ජීප් එකට නග්ග ගන්න කොටත් මට දැනුනා සුදු සීයගෙ ඇඟ ගොඩක් බරයි කියලා “

රවිඳු සහ ප්‍රේමදාස සැලසුම් කර ඇත්තේ තාත්තාව සාමාන්‍යයෙන් රැගෙන යන lanka hospital එක වෙත රැගෙන යාමටය.නමුත් එතරම් වෙලා සිටිය නොහැකි බව තාත්තා පවසා තිබුණි

” මට හුස්ම ගන්න බැහැ.ඉක්මනට මාව ළඟ තියෙන තැනකට එක්කගෙන යන්න “

ඉන් පසුව අපගේ පුතු සහ ප්‍රේමදාස ක්‍රියාත්මක වී පිළියන්දල නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත තාත්තාව රැගෙන විත් ඇත.නමුත් ඒ අවස්ථාවේදී එම ස්ථානයේ තාත්තාව පරික්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙක් සිට නැති නමුත් රෝහල් සේවකයන් වහාම තාත්තාව ඊසීජී පරීක්ෂණයකට ලක් කර තිබුණි. කෙසේ වූවත් එම රෝහලේ දී යම් ප්‍රමාද දෝෂයන් සිදු වූ බව අපගේ පුතු පැවසුවේය.ඊ සී ජී පරීක්ෂණය වීමෙන් පසුව ඔවුන් පවසා තිබුණේ තාත්තාව පිලියන්දල මහ රෝහලට ඇතුලත් කරන ලෙසයි

” මහත්තයාව අපි උස්සලා වගේ වාහනයට දාගත්තේ. ඒ දානකොටත් එයාගෙ ඇඟ හුඟක් බරයි “

අපගේ සේවකයෙකු එසේ පැවසූ අතර කෙනෙකු මිය යාමට ආසන්න වන විට එසේ ශරීරයේ බර වැඩි බවක් දැනෙන බව ද ඔවුන් පවසයි.

” සුදු සීයයි මායි පිටිපස්සේ සීට් එකේ හිටියේ අම්මි.එයා ටික ටික මගේ ඇඟට බර වුණා.සුදු සීයා මගේ ඔඩොක්කුවට ඔලුව තියාගෙන හිටියේ.ඊට පස්සේ අපි සුදු සීයව උස්සගෙන ඉක්මනට පිලියන්දල හොස්පිට්ල් එක ඇතුලට ගෙනිච්චම එයාලා ඔක්සිජන් දාලා ඔක්කොම කළා .ඒත් එතකොටත් සුදු සීයගෙ පණ ගිහින් “

පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ සියලු සිදුවීම් සිදුවී තිබුණි.අපගේ දෙවන පුතු වන රවිඳු දැඩි කම්පනයකට පත් වී සිටියේය.මන්ද අප සියලු දෙනාම මෙන්ම නොවෙනස්ව ඔහු මගේ තාත්තාට ආදරය කළ නිසා ඔහු අසලදීම තාත්තා අවසන් හුස්ම හෙළීම ඔහුට දරාගත නොහැකි විය .

අප රෝහලට පැමිණෙන විට සියල්ල අවසන් වී හමාරය .රෝහලේ ට්‍රොලියක් මත තාත්තා නිසල වී සිටියේය.තාත්තාගේ වියෝව පිළිබඳ දැනගත් බොහෝ දෙනා රෝහල වෙත පැමිණි අතර හදිසියේම සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව මා දැඩි කම්පනයට පත්වී සිටියෙමි.තාත්තා අප හැර යන විට ඔහුගේ වයස අවුරුදු 93 කි. නමුත් ඔහු ඒ තරම් ඉක්මනින් අප හැර යාවි යැයි මා කිසිසේත්ම සිතුවේ නැත.මන්ද , ඔහු මිය යන විට ඔහුගේ උදරයේ නැවත වතාවක් පිළිකාවක් හට ගෙන තිබුනි.නමුත් තාත්තා මෙම පිළිකාව හේතුවෙන් කිසිදු වේදනාවක් වෙන්නේ නැති අතර ඒ සඳහා ඔහු කිසිදු ඖෂධයක් ලබා ගත්තේද නැත.

ප්‍රථම වතාවට තාත්තාට පිළිකාවක් හට ගත් මොහොතේ ඇති වූ රෝග ලක්ෂණ මෙන්ම , නැවතත් රෝග ලක්ෂණ පෙන්නුම් කළ අවස්ථාවේදී මා ඔහුව වෛද්‍ය ලලිත් ඒකනායක මහතා වෙත රැගෙන ගියෙමි.වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකළ වෛද්‍යවරයා තාත්තාගෙ බඩවැල තුළ කුඩා මී වදයක් මෙන් ගෙඩියක් තිබෙන ආකාරය මා හට පෙන්වූයේය.

” අප්සාරි තාත්තිගේ වයසත් එක්ක, එයාගෙ ඇඟේ තියන තත්ත්වයන් එක්ක සහ දුර්වලකම් එක්ක මේ ගෙඩිය කපලා අයින් කලොත් සමහරවිට බෑග් එකක් දාන්න වෙයි.මොකද පලවෙනි සැරේ operation එකේදි බඩවැල කපල තියෙන නිසා තවත් බඩවැල කොට වෙනවනේ.අනිත් එක operation එකත් ලේසි පහසු එකක් නෙමෙයි.සමහරවිට අපි ඔපරේෂන් එක කරලා තාත්තගේ ජීවිතයට මොකක් හරි වෙන්න පුළුවන්.නමුත් මට පේන විදියට මේ ගෙඩිය ලොකු වෙලා කලින් වගේ බඩවැල බ්ලොක් වෙන තැනට එන්න තව අවුරුදු දෙකහමාරක් වගේ යයි. හැබැයි ඒ කාලය ඇතුළත කැන්සර් එකෙන් විඳවන්නේ නැතුව ස්වාභාවික ම තාත්ති නැති වෙන්නත් පුළුවන් වයසත් එක්ක.ඒ නිසා අපි risk එකක් ගන්නෙ නැතුව ඉන්න එක හොඳයි “

එසේ පැවසූ වෛද්‍යවරයා වෛද්‍යවරයා තාත්තා ගේ අදහස පිළිබඳව විමසා බලන ලෙස මා හට පැවසුවේය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles