ආදර මල්වල පාට කියන්නද? – 03

0
0

“තමුසෙට මං කී පාරක් කියන්න ඕනෙද ශෙහාරා, මගේ රූම් එක ඇතුළට කිසිම දෙයක් අන් ඕර්ගනයිස්ඩ් විදිහට එන්න බැහැ කියලා? මේකද තමුසෙගේ අවුරුදු දෙකක සෙක්‍රටරි එක්ස්පීරියන්ස් එක? බලනවා ඕක දිහා. හැටි බලනවා. තමුසෙලා මහ ලොකුවට කොටට ඇඳන්, හීල්ස් දාන්, මේකප් තලි උලාගෙන එනවා ඒවයින් නම් කිසිම අඩුවක් පාඩුවක් නෑ. හැබැයි මෙතන ඔෆිස් එකේ මොකක් හරි වැඩක් පලක් තිබ්බෙ අඩුපාඩු ඕසෙට. කොහෙන්ද ඔය මහ ලොකු සෙක්‍ර්‍රටරි කෝස් වලයි එච් ආර් කෝස් වලයි සහතික ටික හොයාගත්තෙ? ක්ලයන්ට් මීටින් එකකට ක්ලයන්ට් කෙනෙක් එනකොට ටී ඇරේන්ජ් කරන්න ඕන කොහොමද කියන එකත් දැන් මම ද කියලා දෙන්න ඕන?”

කවීන් ආදිත්‍ය වික්‍රමසිංහ තමන්ගේ ඒ සී කරපු ඔෆිස් කාමරේ ඉඳන් කෑගැහුවේ හරියට අහස පොළොවට කඩන් වැටුණා වගේ. බයෙන් ගැහි ගැහි උන්නු ශෙහාරා ට්‍රේ එකත් අතේ තියාගෙන බිම බලාගෙන හිටියේ, “දෙයියනේ මොන මගුලක්ද මං මේ කරගත්තෙ” කියලා හිතාගන්න බැරුව වගේ.

ඇයි ඉතින් බලන්න එපැයි මිනිහා මල පන්නගෙන තියෙන හේතුව!

ට්‍රේ එක උඩ තිබ්බේ තේ කෝප්ප දෙකක්. හැබැයි එකක් සුදු පාට එකක්, අනික නිල් පාට මල් වැටුණු එකක්. බිස්නස් මීටින් එකකට ආපු ලෝයර්ටයි කවීන්ටයි ශෙහාරා හදිස්සියට තේ අරන් ඇවිත් තිබුණේ ජාති දෙකක කෝප්ප දෙකක.

“සර්… ඒක අර ඔෆිස් එකේ එකම සෙට් එකේ කෝප්පයක් ඊයේ බිඳිලා… ඒකයි හදිස්සියට…”

“කට් ද බුල්ශිට් ශෙහාරා! හදිස්සියට? හදිස්සියට තමුසෙ ගැලපෙන්නෙ නැති ඒවා ඇඳගෙන එන්නෙ නෑනෙ? පරක්කු වෙලා ඔෆිස් එකට හරි එන්න හරි ඒව නම් ගාණට ගලපගෙන එනවනෙ නේද? එහෙමෙකේ මේවාට ඇටෙන්ශන් ටු ඩීටේල් නැත්තෙ මොකද?  මේ කෝප්ප දෙකේ ශේප් එකයි, ඩිසයින් එකයි මැච් වෙන්නේ නැහැ කියන එක පොට්ටයෙක්ට උනත් තේරෙනවනෙ. දැන්මම ඕක අරන් ගිහින් එකම සෙට් එකේ කෝප්ප දෙකකට තේ හදන් එනවා. නැත්නම් හෙට ඉඳන් ඔක්කොම සෙක්‍රටරි සහතික ටික බෙල්ල වටේ එල්ලගෙන ගෙදර ඉඳන් තේ හදන්න පුලුවන්”

කවීන් සිරියස් මූණක් දාගෙන ඇඟිල්ල දික් කරලා කියද්දී ශෙහාරා පස්සෙන් පස්සට ගිහින් කාමරෙන් මාරු වුණේ හුස්ම ගන්නත් අමතක වෙලා වගේ. කවීන් කියන්නේ අන්න ඒ වගේ ඩයල් එකක් තමයි. හැසිරීමෙන්ම “Owner ඩැඩා, Driver යකා” කියලා ලේබල් එක ගහගත්ත, හිනාවෙන්න අමතක වෙච්ච, හැමදේම සෙකන්ඩ් එකට ටයිම් ටේබල් එකකට කරන කෝටිපති බිස්නස්කාරයෙක්! තාත්තගෙන් උරුම වෙච්ච බිස්නස් මෙච්චර දුරට අරගෙන එන්න කවීන් පස්ස පැත්ත ඉරාගෙන මහන්සි වෙච්ච බව ඇත්තක් උනාට මිනිහා කියන්නෙ ඩයිනමයිට් කරලක්. ආයෙ නෑ තඹ සතේකට වෙන මිනිහෙක්ව ගණන් ගන්නෙ නැති කවීන්ගෙ ඔලුව අස්සෙ වැඩ කරේ එකම එක දෙයක් විතරයි, ඒ තමයි “කොහොමද මං මේ බිස්නස් ලෝකේ තලපති කෙනෙක් වගේ මිනිහෙක් වෙන්නෙ?” කියන එක.

මිනිහගේ ලෝකේ කිසිම දේක අඟලක්වත් එහා මෙහා වෙන්න බැහැ. හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනේ. කාර් එකේ සීට් එකේ පොඩි රැල්ලක් තිබ්බත්, ෆයිල් එකක කොළයක් පොඩ්ඩක් ඇද වෙලා තිබ්බත් කවීන්ට ඒක මහා අපරාධයක් වගේ තමයි පේන්නෙ. හැඟීම්, ආදරේ, කරුණාව කියන වචන මිනිහගේ ඩික්ශනරියෙ නැති ගාණයි. හරියට නිකන් සල්ලි වලින් විතරක් දුවන, නීති රීති විතරක් දන්න ලොකු රොබෝ කෙනෙක් වගේ තමයි කවීන් හැසිරෙන්නෙ.

ඊමේල්, ජීමේල් මොනවා තිබ්බත් ෆීමේල් තරම් ඉක්මනට නිව්ස් යවන්න ලෝකේ කිසිම සෝස් එකකට බැහැ කියන එක සිරාවටම ඇත්ත කියන්න වගේ තමයි ශෙහාරාම නිව්ස් එකක් වෙලා අඬාගෙනම ගිහින් රිසෙප්ෂන් එකේ ඉන්න එයාගේ අතිජාත මිත්‍රයා වෙච්ච මලිති ළඟ නතර වුණේ.

ශෙහාරා වෙව්ලන අත් දෙකෙන් තේ ට්‍රේ එකත් බදාගෙන කවීන්ගේ කාමරෙන් එළියට ආවේ හරියට මරණ දණ්ඩනයෙන් බේරිලා ආපු මිනිහෙක් වගේ. කාමරේ දොර වැහුණා විතරයි කෙල්ලට එකපාරටම හූ කියලා දිග හුස්මක් පිටවුණා.

“අනේ මන්දා බං ලොක්කව දකින්නාසයි, දැක්කොත් විනාසයි කිව්වලු!

අද නම් මාව බල්ලටම දාලා බැණ්ණෙ. මගේ මේකප්, ඇඳුම් විතරක් නෙවෙයි, මං කරපු කෝස් එකටත් එක්කමයි ගැරහුවේ,” ශෙහාරා ට්‍රේ එක මේසෙන් තියලා, කඳුළු පිහදාන ගමන් අඬන්න වගේ කිව්වා.

මලිති පුටුවෙන් පොඩ්ඩක් ඉස්සරහට ඉස්සිලා, කට කොනකින් හිනාවෙලා ඇස් දෙකත් ලොකු කරලා ශෙහාරා දිහා බැලුවා.

“අද විතරද බං මිනිහට මල පැන්නේ? මිනිහට මල නොපැන්න දවසක් තියෙනවා නම් පුළුවන් නම් කියහන්කෝ බලන්න! ඔය මනුස්සයා ඉපදිලත් තියෙන්නේ මොකක් හරි වැරදි, අමනුස්සයො ඉපදෙන නැකතකින් කියලා මට හොඳටම ශුවර්. මං දැකලම ඈ අප්පා ඔහොම තරහා යන එකෙක්. මූණ දැක්කම මලාට හිතෙනවද කියනවකො ඔච්චර මල පණිනනවා කියලා. මට නම් හිතෙන්නේ ඕකා නිදාගන්නෙත් සූට් එක පිටින්, ටයි එකත් ගැටගහගෙන, අත් දෙක පපුව උඩින් තියාගෙන නීති රීති හීනෙන් කියව කියවා වෙන්න ඇති. මොකටද අද මිනිහා මල පන්නගෙන ඉන්නේ?”

“නෑ බං, අද අර ලෝයර් ආවනෙ. මං තේ කෝප්ප දෙකක් ජාති දෙකකින් තිබ්බා කියලා මට කියපු කතා ටිකට මගේ පපුවත් එක්ක රිදුණා. මං සිරාවටම බය වුණා බං,” ශෙහාරා මූණ ඇද කරලා කිව්වා.

මලිති ශෙහාරාගේ උරහිසට තට්ටුවක් දැම්මා.

ඕකට තමයි කියන්නේ කන තරමක් කෑවෙ අඳුරන සර්පයොම තමයි මහත්තයො කියලා. අනේ මේ ඔය පිස්සු යකා හන්දා අඬන්නෙ ලැජ්ජ නැද්ද? උඹ ඔය තේ දෙක වෙන එකම ජාතියෙ කෝප්ප දෙකකට දාලා පුලුවන් නම් අරූ බොන එකට කෙල ටිකක් ගහලා ගිහින් දීපං” කියලා මලිති ව්හිලුවට වගේ කියද්දි තමයි මෙච්චර වෙලා අඬ අඬ උන්න ශෙහාරට ඇත්තටම සෑහෙන වෙලාවකට පස්සෙ හිනාවෙන්න පුළුවන්කමක් ආවෙ.

ශෙහාරාව කාමරෙන් බැණලා එළෙව්වට පස්සෙත් කවීන් හිටියේ මල පන්නගෙනමයි. මිනිහා තමන්ගේ ටයි පටිය පොඩ්ඩක් බුරුල් කරලා, ඇස් කණ්ණාඩිය ගලවලා මේසේ උඩින් තිබ්බේ හරියට කාපු කටවල් නැතත් කටවල් කාපු හැටි දන්නවා කියන ටයිප් එකේ චන්ඩි ලුක් එකකින්. හැබැයි ඉතින් සිංහයා වනාන්තරේටම රජ වුණාට, සිංහයෙක් වුණත් දණගහන එකම එක තැනක් ලෝකේ තියෙනවනේ කියලා කවීන්ට මතක් වුණේ තත්පර කිහිපයකට පස්සෙයි.

ඒ තමන්ගේ මේස උඩ මිලිමීටරයක්වත් ඇද නොවී ගාණට මිම්මට තියලා තිබ්බ අයිෆෝන් එක එකපාරටම මේසේ උඩ කෝල් එකක් ආපු හන්දා නටන්න ගත්තයින්.

කෝල් එකේ ඩිස්ප්ලේ එකේ වැටිච්ච නම දැක්ක ගමන් කවීන්ගේ අර ලෝකෙටම චන්ඩි පාට් දාන යකා මූණ එකපාරටම අයිස් කැටයක් වගේ දිය වෙලා ගියා. කම්පැණියේ චෙයාමන් තනතුරේ ඉඳන් තමන්ගේ මුළු අධිරාජ්‍යයම එක තත්පරයෙන් උඩුයටිකුරු කරන්න පුළුවන්, තමන්ගේ ජීවිතේ කන්ට්‍රෝල් එක තියෙන ඒ එකම එක බලකණුවේ නම ෆෝන් ස්ක්‍රීන් එකේ දිලිසෙද්දී කවීන් හීන් දාඩිය දාගෙන හුස්මක් ඉහළට ගත්තා.

ගල් ගැහුණු ඇඟිලි වලින් හෙමින් සැරේ ෆෝන් එක අතට ගත්ත මිනිහා, කටහඬ උපරිමයෙන් පූස් පැටියෙක්ගේ ගාණට බාල්දු කරලා ආන්සර් කරා.

“හෙලෝ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here