මාන්නයෙන් හිස උදුම්මවා ගත් නැන්දම්මා නිසා විනාශ වුණ තරුණියකගේ ජීවිතයක්

උදාරි අගනුවරට තදාසන්න ප්‍රදේශයක වාසය කළ ගැහැනු ළමයෙක්. ඇය අගනුවර උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය හදාරා සරසවි වරම් ලැබුවා. ඇය කොළඹින් පිට ජීවිතය අරඹන්නේ ඉන්පසුවයි.

ප්‍රේමයේ නගරය මහනුවර!

සාහිත්‍යයට සහ සමාජ ජාලා වල ලියැවෙන කතාන්දර වල එසේ අසා තිබුණාට ඒ කතාව ඇත්තක් බව ඇයට වැටහෙන්නට ගත්තේ සරසවි අධ්‍යාපනය ආරම්භ කර කාලයක් ගෙවී යද්දී. ඇයට වඩා වසරකින් වැඩිමහල් ගිම්හාන ඇය ගැන බොහෝ උනන්දු වග උදාරිට තේරුම් යනවා.

“ස්කූල් ලව් එකක් තිබ්බේ නෑ කියන කතාවනම් බොරු. ඔයා කොච්චර ලස්සන ළමයෙක්ද?”

මිතුරියන් එහෙම කියද්දී උදාරි ඒ කතාව අසා සිටියේ සිනාවකින්. සැබෑවටම ඇයට ප්‍රේමය සම්බන්ධ අදහසක් ඒ කාලයේ තිබුණේම නැති තරම්. හොඳින් ඉගෙන ගන්නටත් ක්‍රීඩා කරන්නටත් උදාරි මුළු පාසල් කාලයම වැය කළා.

“ගිම්හාන එක්ක යාළු වෙන්න එපා අනේ. එයා මහ සීතල පාට කොල්ලෙක්. ඔයාට ඊටවඩා ලස්සන කොල්ලෙක් මෙඩිකල් ෆැකල්ටි එක පැත්තෙන් හොයා ගන්න පුලුවන්”

මිතුරියන් එසේ පැවසුවත් ප්‍රේමයට සීමා නැති බව උදාරිට සිතෙන්නට පටන් ගෙන තිබුණා. ගිම්හාන සාම්ප්‍රදායික තරුණයෙකු බව ඔහුගේ ෆේස්බුක් හැසිරීම් නිරීක්ෂණය කරමින් මිතුරියන් චෝදනා කරන්නට වුණත් උදාරිට ආපසු හැරීමක් තිබුණේ නෑ.

“යුරේනිගෙ පේජ් එකේ මහ කැත කමෙන්ට්ස් ගොඩක් අස්සෙ ගිම්හානගෙ කමෙන්ට්ස් දැක්කා. එයා හිතන විදිය හරිම නරකයි උදාරි. ඔයා ආයේ ආයේ මේ ගැන හිතන්න.”

මිතුරියන් එවැනි කතා කියද්දී පවා උදාරි තමන්ගේ පෙම්වතා සමඟ රැඳෙන්නට තීරණය කරනවා. ඇය ප්‍රේමය තුළ සමාව දීම් ඇති බවත් ප්‍රේමයේ නාමයෙන් ඉවසිය යුතු බවත් සිතනවා.

ගිම්හානගේ අවසන් විභාගය අවසන් වූ පසු ඔවුන්ගේ සම්බන්ධය ගැන නිවසට කියන්නට කල්පනා කරනවා. “මේ මිහිරැති සොඳුරු සමය” උදා වී ඇතැයි උදාරිට සිතෙන්නේ ඉනික්බිතිව.

“අනේ, මට හැමදාම දුවෙක් ගැන හීනයක් තිබ්බා. කොහෙද මට ඉන්නේ පුතෙක් විතරනෙ. දැන් මට දුවෙක් ඉන්නවා.”

ගිම්හානගේ අම්මා වසුන්දරා, උදාරිව වැළඳ ගත්තේ එහෙම කියමින්. ඇය දිගින් දිගටම උදාරි සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වන බව පෙන්වන්නට උත්සාහ කළා. නමුත් එය එහෙමදැයි උදාරිටම සිතුණු අවස්ථා ඕනෑතරම්.

“පුතා අවුට් වුණු නිසා අපි එන්ගේජ්මන්ට් එක ගමු. දුවගෙ ග්‍රැජුවේෂන් එකෙන් පස්සෙ වෙඩින් එක ගමු.”

විවාහය ගැන සිහින දැකිය යුතු වන්නේ ප්‍රේමවන්තයන් දෙදෙනා වුණත් මේ විවාහ ගිවිස ගැනීම ගැන තීරණය කළේ වසුන්දරා විසින්.

“අම්මා කියන දේට අකමැති වෙන්නේ මොකටද? අපි මැරි කරන්න බලන් නේද ආස්සරේ කරේ?”

ගිම්හාන එයට දැක්වූයේ එවැනි අදහසක්. උදාරිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර විවාහ වෙන්නට අවශ්‍ය වුණත් වසුන්දරා ඇගේ මතය වෙනස් කළේම නෑ.

“ඔයාට මගේ ආදරේ ඕන නෑ වගේ. ඒකනෙ ඔයා එන්ගේජ්මන්ට් එකට අකමැති. ඔයා මට ආදරේ නැත්නම් මොකටද මාව ආස්සරේ කළේ”

ගිම්හාන එවැනි අමුතු කතන්දර කියන්නට පටන් ගත්තා. යුවළක් ඕනෑවට වඩා කාලයක් ආශ්‍රය කරමින් කල් මරන්නට ඕනෑ නැති බවත් ප්‍රේම සම්බන්ධයක් අනිවාර්යෙන් විවාහයකින් අවසන් විය යුතු බවත් වසුන්දරා දිගින් දිගටම කියා සිටින්නට පටන් ගත්තා. උදාරි විවාහය නීත්‍යානුකූලව ලියාපදිංචි කරන්නේ අම්මාගේ සහ පුතාගේ කැමැත්තට මිස ඇගේ කැමැත්තට නොවේ.

හොදම සෙල්ලම් ආරම්භ වන්නට පටන් ගන්නේ විවාහා ගිවිස ගැනීමෙන් ඉනික්බිතිවයි. ගිම්හාන ඒ වෙද්දී පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් සිටි අතර ඔහු ඇත්තටම කාර්යබහුල ජීවිතයක් ගත කරමින් සිටියා.

“ඇයි ගිම්හාන ඔයා මාව නිවාඩු දවසකවත් බලන්න එන්නේ නැත්තෙ? මං කොච්චර නම් බලාගෙන හිටියද?”

අවසන් වසරේ දැඩි කාර්යබහුල කාලයක් ගෙවමින් සිටින නිසා උදාරිට සැමියා සමඟ කාලය ගත කරන්නට ඇත්තටම ඕනෑ වුණා. ප්‍රේමය මානසික සහනය ලබා දෙන නමුත් ඇගේ ආදරය ඇයට ගෙන ආවේ මානසික පීඩනයක් පමණයි.

“ඔයා වීකෙන්ඩ් එකේ අපේ ගෙදර එන්න. අම්මා කියනවා ඔයාට ගෙදර එන්න කියලා.”

ගිම්හාන එහෙම යෝජනා ගෙන එනවා. සරසවියට නුදුරු ප්‍රදේශයකින් පිහිටි ගිම්හානගේ ගෙදරට ගිය පසු උදාරිට ඔහු සමඟ Private time එකක් ලැබෙන්නෙම නැති තරම්. ඔවුන් කතා කරන තැන රැඳී සිටින්නට වසුන්දරා වග බලා ගන්නවා.

“මොනවද ගිම්හාන අම්මට වෙලා තියෙන්නෙ. අඩුම මට ඔයාගේ අතකින් අල්ලන්නවත් නෑනෙ. අපි කසාද බැඳපු ජෝඩුවක්. මටත් හැඟීම් තියනවා.”

උදාරි එසේ චෝදනා කරත් ගිම්හාන වචනයක්වත් නොකියන්නට ප්‍රවේසම් වුණා. අම්මාට දොසක් කීම ඔහුට අනුව විශාල වරදක්. දෙමාපියන් සමඟ ගැටුම් ඇති කර ගැනීම නුවුමනා දෙයක් වුණත් අනවශ්‍ය අත පෙවීම් ජීවිතය ඉතා අපහසු කරන වග උදාරි තේරුම් ගනිමින් සිටියා. තත්වය කිසිම අයුරකින් යහපත් වුණේ නෑ. උදාරි රූකඩයක් වෙන්නට පටන් ගත්තා. ඇගේ නූල් නැන්දම්මා වූ වසුන්දරා අත රැඳවෙන්නට පටන් ගත්තා.

“මේ මොකද අනේ ක්‍රොප් ටොප් ඇඳගෙන. අපේ පවුලට ගැළපෙන විදියට ලස්සන දිග ගවුමක් අඳින්න දුව.”

යෝජනාව ගෙන එන්නේ වසුන්දරා. ඊළඟ දවසේ ගිම්හාන එවැනි ගවුම් කිහිපයක් ඇනවුම් කර උදාරිට එවන්නට වග බලා ගන්නවා. සරසවි මිතුරු මිතුරියන් සමඟ එක් වී යන අවසන් විනෝද චාරිකාව යන්නටත් නැන්දම්මා ඇයට ඉඩ දුන්නේ නැහැ. උදාරි කොණ්ඩය රිලැක්ස් කිරීම ගැනත් දිගින් දිගට ම බැන වදින්නට වසුන්දරා කටයුතු කළා.

“අම්මගේ වැඩත් එක්ක මට පිස්සු වගේ. අපි ෆැමිලි කවුන්සලින් යමුද?”

ඒ යෝජනාව උදාරි ගෙන එද්දී ගිම්හානට කියන්න ට තිබුණේ ඉතාම කුරිරු කතාවක්.

“ඔයාට පිස්සුනේ ඔයා යන්න. මට නම් කිසිම පිස්සුවක් නැති නිසා මට එහෙම ගමන් යන්න උවමනාවක් නෑ.”

උදාරි සියල්ල ඉවසීමෙන් දරා ගන්නට කටයුතු කළා. සියල්ල විසඳා ගන්නට සිතමින් ඇය ගිම්හානගේ උපන් දිනයට Day out එකක් සැලසුම් කළා. සුන්දර දිනයක් ගෙවා දමමින් ඇය ගිම්හානට යෝජනාවක් ඉදිරිපත් කළා.

“අපි මැරි කරලා හිටියට කිසිම නිදහසක් නෑනේ. අම්මා ඕනෙවටත් වඩා අපේ ජීවිත වලට අත පොවනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? අපි ටිකක් නිදහසේ අපේ ජීවිතය ගැන හිතලා බලමු. මට හිතෙනවා වෙඩින් එකෙන් පස්සෙ අපි හයිස්ටඩීස්වලට රටකට ගියොත් හොඳයි කියලා.”

ඒ ඉල්ලීම ගිම්හාන ඒ මොහොතේ පිළි ගත්තා. ඒ ඔහු ප්‍රේමයෙන් මන්මත්ව සිටි නිසා.

නමුත් සියල්ල කණපිට පෙරළුනේ එදා රාත්‍රියේ දී!

“මගේ කොල්ලා හොඳ වැදගත්කමට හැදෙන ළමයෙක්. පෝරුවට නගින්න කලින් ඒ කොල්ලා එක්ක රස්තියාදු ගහන්න ලැජ්ජාවක් නැද්ද? කොළේ අත්සන් කරලා තිබ්බට එහෙම රවුම් ගහන්න බෑ කියලා දන්නෙ නැද්ද? ඔහොම වනචර ගෑනු අපිට ඕන නෑ. දික්කසාද කරලා දානවා.”

වසුන්දරා එසේ නින්දිත චෝදනා නගන්නට පටන් ගන්නවා. විදෙස් රටකට යාම සම්බන්ධයෙන් උදාරි කළ යෝජනාව පවා ඇය දැනගෙන ඇති බව උදාරී දැන ගන්නේ ඒ මොහොතේ දී. පෝරුව චාරිත්‍ර සිදු කළද නොකළද ඔවුන් දැනටමත් විවාහක බැවින් විවාහක යුවළකගේ අයිතිවාසිකම් තමන්ට ඇති බව උදාරි නැන්දම්මාට ඉතා සංයමයෙන් පැහැදිලි කරන්නට උත්සාහ කළා.

“ඔයාට මොකක්ද අපේ අම්මට බනින්න තියන අයිතිය?”

එය සම්බන්ධයෙන් ගිම්හාන දරන්නේ එහෙම අදහසක්.ඔහු ඉන්පසු ඇයගේ ඇමතුම්වලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරන අතර ඇය මුණ නොගැසෙන්නට පවා වග බලා ගන්නවා.

විවාහක ස්වාමි පුරුෂයා අතින් තමන් ද්වේෂ සහගත අත්හැර දැමීමට ලක් වී ඇති බව තේරුම් ගන්නා උදාරි මේ විවාහය එතැනින් නවතන්නට තීරණය කරනවා. විවාහ මංගලෝත්සවයක් ගන්නටත් පෙර විවාහයෙන් සය මසක් ඉක්ම යන තැන ඇය දික්කසාදය වෙනුවෙන් උසාවියේ පෙනී සිටින්නේ ඒ නිසා.

“මට මේ තීරණේ මහා පුදුමාකාර වේදනාවක් දෙන තීරණයක්. ඒත් තවදුරටත් ඉවසුවත් මට මාව නැති වෙයි කියලා මට ලොකු බයක් දැනෙනවා.සමහරවිට මම සියදිවි නසාගන්න වුණත් ඉඩ තියෙනවා.”

දික්කසාදයට සැරසෙමින් සිටි උදාරි පැවසුවේ එහෙම කතාවක්. ඇය ඉතාම වේදනාවෙන් තම සැමියා අතැර දැමුවා. ඒ ඔහුට අම්මාගේ සිර කුටියෙන් මිදී එන්නට අපහසු නිසා.ද්වේෂ සහගත අතැර යාම ඔස්සේ නඩු පවරා ඉක්මනින් දික්කසාදය ලබා ගන්නට උදාරිට හැකි වුණා. පුතුගේ ජීවිතය තමන් නිකරුණේ විනාස කර දැමූ බව වසුන්දරාට තේරුම් ගියාදැයි සැක සහිතයි.මේ සිදුවීමට දැන් කාලයක් ගෙවී ගොස් අවසන්. සිහිනයක් වූ පරිද්දෙන්ම උසස් අධ්‍යාපනයට විදේශ ගත වූ උදාරිට හොඳ පෙම්වතෙකු මුණ ගැසී තිබුණා. ඇය ඔහු සමඟ විවාහ වී යුරෝපීය රටක යෙහෙන් ජීවිතය ගෙවනවා.

දරුවන් තරුණ වෙද්දී ඔවුන්ට ඔවුන්ගේ අවකාශයක් තිබිය යුතු බවත් ලේලියක කියන්නේ තමන්ට අඹා සකසන්නට හැකි මැටි පිඬක් නොවන බවත් තේරුම් නොගන්නා වසුන්දරාලා සමාජයේ හිඟ නැහැ.

ඛේදවාචකයන් නොනැවතෙන්නේ ඒ නිසා.

Related Articles

Don't Miss


Latest Articles