මතක දිගහැරුම 22 – අප්සාරි සිංහබාහු තිලකරත්න

විසි දෙවන දිගහැරුම ,

සමහර ගුවන් මගීන්ගෙන් ගුවන් සේවිකාවන් වෙත ආදර යෝජනා ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්විය .මටද එසේ බොහෝ දෙනාගෙන් ආදර යෝජනා පැමිණ ඇත. සමහරු අපගෙන් දුරකථන අංක ඉල්ලා සිටින නමුත් එකල අපට දුරකථන තිබුණේ නැත.

පසුකාලීනව ආයතනය මගින් අපට දුරකථන ලබා දුන් අතර එය ලංකාවට දුරකථන පැමිණි මුල් වකවානුව විය. අපව හදිසියේ සේවයට කැඳවීමට අවශ්‍ය වුවහොත් එය දැනුම් දීමට අප සතුව දුරකතනයක් තිබීම අනිවාර්ය වූ නිසා එසේ අපට දුරකථන ලබා දුන් අතර නිවාඩු දිනයන් හි දී අප කොහේ ගියත් එම දුරකථනය ලග තබාගත යුතුය.

මගේ සේවා කාලය තුළදී මට අප රටේ බොහෝ වැදගත් පුද්ගලයන් මුණ ගැසී ඇත .අප රටේ හිටපු ජනාධිපතිවරයෙකුගේ ලේකම්වරයෙක් එකල මා හා බොහෝ සුහදශීලී විය .අතිශය කරුණාවන්ත පුද්ගලයෙකු වූ ඔහු ගුවන් ගමනක යෙදෙන්නේ නම් ” අප්සාරි දුව ” කියමින් අමතා ඔහු යෙදෙන ගුවන් ගමන් වාරයේ මට රාජකාරි වැටී ඇත්දැයි පරික්ෂා කර බලයි . එයට හේතුව වන්නේ සෑම ගුවන් මගියෙක් වෙතම අප සපයන ඉතා කාරුණික වූ සහ සුහදශීලී වූ සේවාවයි .

ගුවන් ගමන් වාර වලදී එලෙස නිතරම හමුවන , ලංකාවේ පිළිගත් වෘත්තීන්වල යෙදෙන පුද්ගලයන් එසේ අප හා සුහද වීම පසු කාලීනව ඇතැම් අවස්ථාවලදී ප්‍රයෝජනවත් වූ වේලාවල් ද ඇත .

එක අවස්ථාවක දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ තරගයකට සහභාගි වීමට යන අවස්ථාවේ දී මට මුණ ගැසී ඇත.ඒ , ඩුබායි සිට එංගලන්තයට යන ගුවන් ගමන් වාරයේ දී මා ඩුබායි ගුවන් තොටුපොළෙහි සිට ගුවන් යානයට නැගුණු මොහොතේ දීය.එකල මට ක්‍රිකට් පිළිබඳව කිසිදු දැනුවත්කමක් නොතිබුණු අතර එකඳු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වත් මා හඳුනන්නේ නැත. පාසල් යන කාලයේ මගේ බොහෝ මිතුරියන්ට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව උමතුවක් තිබූ අතර ඇතැම් මිතුරියන් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත ලිපි පවා ලියූහ. නමුත් එකල මට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කැමැත්තක් හෝ කිසිම උනන්දුවක් තිබුණේ නැත .

ඩුබායි ගුවන් තොටුපොළෙන් ගුවන් යානයට මා නැගුණු මොහොතේ අප කාර්ය මණ්ඩලයේ සිටි පිරිමි ළමුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ගුවන් යානයේ ගමන් ගන්නා බව මට පැවසීය .ගුවන් මගීන් සියළු දෙනාම ආහාර ගෙන අවසන් වී ඔවුන්ට තේ සහ කෝපි ද අප පිළිගැන්වූ පසු ගුවන් මගීන් සඳහා මගේ සේවය අවශ්‍ය දැයි පරික්ෂා කරමින් මා ගුවන් යානය තුළ එහා මෙහා ගමන් කරනා විට එක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් මගේ නමින් මා ඇමතීය. ඔහුගේ අවශ්‍යතාවය කුමක්දැයි මා විමසන විට ඔහු තමන්ට ප්ලේන්ටි එකක් අවශ්‍ය බව මට පැවසීය. ඔහුගේ අවශ්‍යතාවය පරිදි මා ප්ලේන් ටී එකක් සකස්කර ගෙන විත් ඔහුට පිළිගැන්වූයෙමි. මද වේලාවකට පසුව නැවතත් මා එම ක්‍රිකට් ක්‍රීඩකයා අසලින් යන විට ඔහු නැවත වරක් ප්ලේන් ටී එකක් දීමට හැකි දැයි විමසුවේය . ගුවන් මගීන්ගේ අවශ්‍යතා සලකා බැලීමට ගුවන් සේවිකාවන් වශයෙන් අප සැදී පැහැදී සිටින නිසා ඔහුගේ එම අවශ්‍යතාවය ද මා නොපැකිලිව ඉටු කළෙමි .ඒ ආකාරයෙන් ඔහු අසලින් යන සෑම අවස්ථාවකම පාහේ ඔහු මගෙන් එම ඉල්ලීම කළ අතර ඒ සෑම අවස්ථාවකදීම මම ද ඔහුට ප්ලේන්ටි පිළියෙල කර දුන්නෙමි .

ඔහු නැවත වාරයක් එසේ මගෙන් ප්ලේන්ටි සකස් කර ඉල්ලූ විට මා ගුවන් යානයේ සේවය කරන පිරිමි ළමයෙකුට එම ක්‍රිකට් ක්‍රීඩකයා දිගින් දිගටම ප්ලේන්ටි සකස් කර ඉල්ලන බව කීවෙමි . යානයේ අනෙක් පසින් මට ඉදිරියට යන ලෙස පැවසූ ඔහු ප්ලේන්ටි එකක් සකස් කර අදාල ක්‍රිකට් ක්‍රීඩකයා වෙත ගොස් පිළිගැන්වීය . ඉන්පසුව ඔහු නැවත වරක් පෙර ආකාරයෙන් ප්ලේන්ටී සකස් කර ඉල්ලූයේ නැත.

වර්තමානයේ දී එම ක්‍රිකට් ක්‍රීඩකයා ව මට ඉඳහිට මුණගැහෙන අතර එවිට මා ඉහත කී සිද්ධිය ඔහුට මතක් කර දෙමි. එය සිහිපත් වී ඔහුගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වන අතර ඒවා මගේ සේවා කාලය තුළ මා මුහුණ දුන් රසබර සිදුවීම් ලෙස මගේ මතකයේ අදටත් ඇත .

එක වරක් සුදු කලිසමට සුදු කමිසයක් සහ සුදු සපත්තුද පැළඳ brief case එකක්ද අතින් ගෙන එක් තරුණ මහත්මයෙක් අප ගුවන් යානයේ ගමන් ගැනීමට පැමිණියේය. ඔහු අප බොහෝ දෙනකු ගෙන් බියර් ඉල්ලමින් අධික ප්‍රමාණයක් බියර් පානය කළේය. අප කිහිප දෙනකු ගුවන් යානයේ අපට නියමිත ස්ථානයේ සිටින විට ඔහු හදිසියේම එතැනට පැමිණ ” බියර් එක වැදුනේ නෑනේ ” යනුවෙන් පැවසීය . ඉන් පසුව අප සමග සේවය කළ එක් පිරිමි ළමයෙකු ඔහුට පානය කිරීමට හොඳ බීමක් ගෙනත් දෙන්නම් යැයි පවසා ඔහුට ආපසු ගොස් අසුන් ගන්නා ලෙස පැවසීය . ඉන්පසුව එම පිරිමි ළමයා පෙර කී තරුණ මහතා වෙත ගොස් ඔහුට යම් පානයක් පිළිගැන්වීය. එය පානය කළ ඔහු තද නින්දකට වැටුණු අතර ගුවන් යානය ගුවන් තොටුපොළෙන් ගොඩබැස්සවූ පසුවවත් ඔහු පිබිදුනේ නැත. අවසානයේ දී ඔහුව රැගෙන යෑම සඳහා ගුවන් යානා සඳහා ඇති සෝපානයක් රැගෙන ඒමට කාර්ය මණ්ඩලයට සිදුවිය. ඇත්ත වශයෙන්ම ලබාදුන් පානය කුමක්දැයි අප නොදන්නා අතර එය සියලු දෙනාටම අමතක නොවෙන තවත් රසබර සිදුවීමක් බවට පත්විය .

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles