අනුන්ගේ තීරණ.

“ඔයා කොහොමද අනේ තාරකා අඳුනන්නේ?”

භාග්‍යා එහෙම අහනකොට නිමාලි කරමින් හිටිය වැඩෙත් නවත්තලා භාග්‍යා එක්ක හිනා වුණා.තාරකා එක්ක ෆේස්බුක් දාපු ඡායාරූප දැකලා එහෙම අහන්න භාග්‍යා හිතෙන්න ඇති කියලා නිමාලි හිතුවා.

“ඔයා දන්නවද ඒ කවුද කියලා..”

නිමාලි එහෙම අහන්නේ හරිම සතුටින්.ඒ සතුටට හේතුව භාග්‍යා හිතුවේ කුතුහලයෙන්.නිමාලි හිනාවකින්ම කතාව පටන් ගත්තා.

“ඒ තමයි මගේ මල්ලි මැරි කරන්න ඉන්න ගෑනු ළමයා..”

නිමාලි එහෙම කියනකොට භාග්‍යාගේ ඇස් ලොකු වුණේ පුදුමයෙන්.ඒ කියන්නේ තාරකා බඳින්න යනවා.තමන් දන්න දේ නිමාලිට කියනවද නැද්ද කියලා භාග්‍යා හිතන්න පටන් ගත්තා.ඒත් ඒ වගේ ආරංචියක් නොකියා ඉන්නත් බෑ.

“මම කලින් වැඩ කරපු බ්‍රාන්ච් එකේ තමයි තාරකා වැඩ කළේ..”

භාග්‍යා එහෙම කිව්වේ නිමාලි එතැනින් එහාට මොනවාහරි අහයි කියන අපේක්ෂාවෙන්.ඒත් නිමාලි මොකුත් නාහා තමන්ගේ වැඩ පටන් ගත්තා.සාමාන්‍යයෙන් පවුලකට ගෑනු ළමයෙක් සම්බන්ධ කර ගනිද්දී විස්තර අහන්න අනිත් අය කැමැත්තක් පෙන්නුවත් නිමාලි කිසිම දෙයක් අහන්න ලෑස්ති නැති පාටයි.

“අපිට මොකද..දෙයක් අහනව නම් කියන්න අපිටත් කතා තියනවා.” භාග්‍යා හිතුවේ කේන්තියෙන්.

තාරකා හිනාවෙවී නිමාලි එක්ක ගත්තු ඡායාරූප මතක් වෙනකොට භාග්‍යාට එහෙම ඉන්න හිත හදා ගන්න අමාරු වුණා.මොනවා වුණත් නිමාලි එක්ක තියන යාළුකම සලකලා නිල්හාන් මල්ලිට අමාරුවේ වැටෙන්න නොදී ඉන්න භාග්‍යා තීරණය කළා.

“නිමාලි..ඔයා ඇත්තටම තාරකා ගැන මොකද හිතන්නේ?”

භාග්‍යා ඇහුවේ ලොකු කතාවක් පටන් ගන්න සූදානමින්.නිමාලි ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ සාවධානව.

“මං හිතන දේ ඒ තරම් වැදගත් නෑනෙ භාග්‍යා.ඒ ළමයා මල්ලිට ගැළපෙනව නම් එයාලා මැරි කරයි.තාම එයාලා රිලේෂන්ශිප් එක පටන් අරන් ලොකු කාලයක් නෑ..”

නිමාලි එහෙම කියනකොට භාග්‍යා කල්පනාවට වැටුණේ ඉතිරි ටික කියනවද නැද්ද කියලා හිතන ගමන්.මේවා ඇත්තටම නොකියා ඉන්න ඕනෑ කතා නෙවෙයි කියලා ඊටත් පස්සෙ එයා හිතන්න ගත්තා.

“එයාට අපි එක්ක වැඩ කරනකොට වෙන සම්බන්ධයක් තිබුණා.”

වෙන්න නෑනා ගැන එහෙම කතාවක් අහන්න ලැබුණම වෙන නෑනලාට මතු වෙන උද්‍යෝගය නිමාලිට නැති වීම ගැන නොහිතාම සම්මානි කතාව ඉදිරියට අරගෙන ගියා.

“ඒ දෙන්නා ඇත්තටම එක ඇනෙක්ස් එකක ජීවත් වුණෙත්..”

ඒ බෝම්බය ටිකක් ප්‍රබලයි.නමුත් නිමාලි හිනාවක් ඉතිරි කරමින් ඉවත බලා ගත්තා.හිනා වුණාට දැන් ගෑනි පුපුරනවා ඇති.භාග්‍යා හිතුවේ හීන් සතුටකින්.
කසාද නොබැඳම එකට ජීවත් වුණා මදිවට හිටිගමන් ඒ සම්බන්දෙ නතර කරලා දාන්න තරමට තාරකා වැඩ කරේ ගෑනුකම අමතක කරලා දාලා.දැන් ආයෙම කොල්ලෙක් හොයාගෙන,සමන් මලෙන් ඉපදුණා වගේ නෑනලා එක්කත් හුරතලේ.

“ඔයාලා මේවා නොදන්නව ඇති කියලා හිතාගෙන තමයි මම කීවේ නිමා.අපරාදයක්නෙ මල්ලි ඔහොම කෙල්ලෙකුට අහු වෙන එක..”

භාග්‍යාගේ ඒ කතාව ඇහුණු නිමාලි භාග්‍යා දිහා බැලුවේ තද බැල්මකින්.ඉන්පස්සේ එයාට පුරුදු ලස්සන හිනාව එක්ක පටන් ගත්තු කතාව තාරකාගේ විස්තර අහන්න කියලා භාග්‍යාට හිතුණත් ඒක එහෙම වුණේ නෑ.

“ඇත්තටම වෙන කෙනෙක්ට ආදරේ කරපු,ලිවින් ටුගෙදර් හිටපු,කලින් කසාද බැන්ද අය ආයෙ මැරි කරන්න නුසුදුසු මිනිස්සු නෙවේ භාග්‍යා.ඒක මේ අපි හිතාගෙන ඉන්න මහ විකාර අදහසක්..දෙන්නෙක් වෙන් වෙන්නේ තවදුරටත් එකට ගමනක් නැති නිසා.ඒත් ඉන්පස්සේ ගමන තනියම යනවද එහෙමත් නැත්නම් වෙන වෙනම යනවද කියලා තීරණය කරන්න එයාලට හයියක් තියෙන්න ඕන.තාරකාට ඒ හයිය තිබුණා.ඉතින් එයා ඒ හයිය එක්ක අපේ පවුලට එකතු වෙනව නම් අපිට වැදගත් එච්චරයි.ඒ නැතුව එයාගේ අතීතෙන් අපිට වැඩක් නෑ.මට නම් කොහොමත් වැඩක් නෑනෙ..මල්ලිට ආදරෙන් ඉන්න පුලුවන් නම් ඒකනෙ වැදගත්..”

නිමාලිගේ දිග කතාව ඇහුවට පස්සේ ආයේ කියන්න කිසිම දෙයක් ඉතුරු නෑ කියලයි භාග්‍යාට හිතුණේ.ඒ නිසාම භාග්‍යා යන්තම් හිනා වෙලා ලිපි ගොනුවට ඇහැ අලවා ගත්තා.

“එයාලට හොඳ නම් අපිට මොකද?” පරිගණකයට එහෙම කියපු භාග්‍යාගේ කල්පනාව ආයේම බිඳුණේ සුදෝ සුදු සාරියකුත් ඇඳගෙන කාර්යාලයට ආපු කුෂානි නිසා.

Two employees gossiping in office cubicle

“කේක් ගෙනාවා..”

කුෂානි හයියෙන් එහෙම කියලා නගරයේ ජනප්‍රිය අවන්හලක කේක් එකක් මේසය මතින් තිබ්බා.

“අද ඔයාගේ නඩු දවස නේද?”

ජීවනී එහෙම අහනකොට කුෂානි අදත් දික්කසාද නඩුවට ගිහින් එන්න ඇති කියලා භාග්‍යාටත් නිමාලිටත් මතක් වුණා.කුෂානිගේ මුහුණ හඳ වගේ.හිනා වෙනකොට ඇස් දිලිසෙනවා.

“යන්තම් මං නිදහස්..ඩිවෝස් එක ලැබුණා..”

කුෂානි හොඳ හුස්මක් ගන්න ගමන් එහෙම කියද්දී දික්කසාද වීම එච්චර සැනසිල්ලක්ද කියලා භාග්‍යාට හිතුණා.

“ඔයාගේ ඇඟේ තිබ්බ කැළැල් වල හැටියට නඩු වාර ඔච්චර ගියත් වැරදි.අනේ ලොකු සැනසිල්ලක් කුෂී.ඒ වගේ මනුස්සයෙක්ගෙන් තුරන් වෙන්න ලැබුණු එක..”

නිමාලි එහෙම කියනකොට ටිකකට කලින් නිමාලි කියපු වචන වලින්ම නිමාලිට ගහන්න භාග්‍යාට කැත හිතක් පහළ වුණා.අතීතය නැතුව අනාගතයයි වර්තමානෙයි හිතන නෑනෙක් හොයා ගන්න කියලා කෙලින්ම කියන්නත් බෑනෙ.ඒ නිසා භාග්‍යා වෙන වචන ටිකක් හොයා ගත්තා.

“දැන් සෙපරේට් වුණා,ඩිවෝස් වුණා කියලා ආපහු කසාදයක් කරගන්න බැරි වෙන්නෑ කුෂී.කොල්ලො උනත් ගති ගුණ මිසක් ඕවා බලන් නෑ..”

ඒ ඇනුම් පදය නොදැනුණා වගේ නිමාලි ඉවත බලා ගත්තා.අනිත් අයගෙ තීරණ ගැන වැඩියෙන් හිතන භාග්‍යා වගේ අය එක්ක ලොකුවට සංවාද කිරීම ඇත්තටම තේරුමක් නැති වැඩක්.

“ඩිවෝස් වුණා කියලා ආයේ බඳින්න ඕනම නෑ භාග්‍යා.මං හිතන් ඉන්නෙ මින්පස්සේ මගේ නිදහසේ ජීවත් වෙන්න.මගේ ඇඟේ තියන තුවාල කැළැල් තරම් හිතේ තියන කැළැල් සනීප වෙන් නෑනෙ.ඒ නිසා මං ඒ කැළැල් සනීපකරගෙන තනියම ජීවත් වෙනවා.ආයේ කවුරුහරි මගේ ජීවිතේට ඇවිල්ලා මගේ පාර හරස් කරනවට මම කැමති නෑ.ගෑනියෙක්ට තනියම ජීවත් වෙන්නත් පුලුවන්.බැරිකමක් නෑ.මං මේ කේක් ගෙනාවෙත් මගෙ තනිකඩ ජීවිතේට චියර් කරගන්න..”

කුෂානි එහෙම කියද්දී නිමාලිට නම් මතු වුණේ හීන් හිනාවක්.සබඳතා ගොඩ නැඟීම,බිඳ ගැනීම,ඒවා පවත්වා ගැනීම කියන්නෙ තනිකරම පෞද්ගලික තීරණ.ඒවා ගැන කොහෙවත්ම විවේචනය නොකර ඉන්න පුලුවන් නම් ඒක තමා මිනිස්කම කියලා නිමාලිට හිතුණා.

More Stories

Don't Miss


Latest Articles