මතක දිගහැරුම 93 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අනූ තුන්වන දිගහැරුම ,

නැවතත් කූඩාරම් අසලට පැමිනි අප දහවල් ආහාරය ලබාගෙන රෑ බෝ වීමට පෙර ආපසු පැමිණීමට සූදානම් වූයෙමු.ආපසු පැමිණෙන ගමන ද ඒ තරම් ලෙහෙසි පහසු එකක් වූයේ නැත.නමුත් ගමනට සහභාගි වූ අප හැම දෙනාටම මෙන්ම අපගේ රථයකට වත් කිසිම හානියක් සිදු නොවී නිරුපද්‍රිතව නැවතත් කොටියා කුඹුර ප්‍රදේශයට ලඟාවීමට හැකිවිය.

ඒ අසල ගම්මානයේ නිවසක මඤ්ඤොක්කා සකස් කර අප හට තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබුණේ ගමනට පෙර අප ඔවුන් වෙත දැනුම් දී ගිය පරිදිය.ගමන අවසාන කර නැවතත් අප එනතුරු එම ගැමියන් බලා සිටියේ ඉතාම ආසාවෙන් ය.කැබලිත්ත පූජා භූමියට දමිළ මිනිසුන් පැමිණ වන්දනාමාන කරන බවත් ,කැලයේ සැඟවී සිටින ත්‍රස්තවාදයේ නියැළුණු පිරිස්ද වන්දනාමාන කිරීමට පැමිණෙන බවත් ,ඒ අය පැමිණෙන්නේ ඔකද සහ පානම ප්‍රදේශවලින් බවත් අප දැනගත්තේ ඒ අවස්ථාවේ දී ය.ඒ බව ඇසීමෙන් පසුව අප තරමක් බියට පත් වුණ ද නොපෙනෙන බලවේග වල ආරක්ෂාව නිරන්තරයෙන්ම අප හට ලැබෙන බව අප විශ්වාස කළෙමු.කෙසේ හෝ ගැමියන්ගෙන් ලද එම සියලු සංග්‍රහයන් භුක්ති විඳීමෙන් අනතුරුව අප කතරගම පිහිටි අපගේ නවාතැන වෙත පැමිණියෙමු.නවාතැන වෙත පැමිණෙන අතරතුරදී කිරිවෙහෙර වන්දනා කළ අප , බලාපොරොත්තු වූ අයුරින් පූජා කටයුතු සාර්ථක කරගැනීමට හැකිවීම පිළිබඳව ,නිරුපද්‍රිතව අපගේ ගමන අවසාන කිරීමට හැකිවීම පිළිබඳවත් අප ආරක්ෂා කර දුන් සියලුම නොපෙනෙන බලවේග වලට ස්තූතිවන්ත වූයෙමු. පුදුමයට කාරණාව නම් ගෙවුණු දිනයන් තද පෑවිල්ලක් සහිත වුවද අප ගමන අවසාන කර කතරගම නවාතැනට ළං වන විටම වර්ෂාව ආරම්භ වීමය.

කෙසේ හෝ කැබලිත්ත ගමන ඉතා සාර්ථක වීම පිළිබඳව අප කාගේත් සිත් තුළ වූයේ ඉමහත් සතුටකි.අප රටට සුනාමි ව්‍යසනය ඇති වූයේ ඉන් පසු කාලයකය.සුනාමි ව්‍යසනයෙන් පසුව රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන සමයේ ජනවාරි මස 4 වන දින කතරගම ඉදිකළ අපගේ නවාතැනට ගෙවැදීමට අප සියලු කටයුතු සූදානම් කළෙමු.පවුලේ අය සහ හිත මිතුරන් කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් , ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක් වඩම්මවා පිරිත් සජ්ජායනය කිරීමෙන් අනතුරුව අප අපගේ නවාතැනට ගෙවැදුනෙමු.ඒ වනවිට හෂාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටි නිසා අප දෙදෙනා නිතර නිතරම කතරගම නවාතැන වෙත පැමිණියෙමු.ආහාර පිසීම සඳහාත් , පිරිසිදු කිරීමේ කටයුතු කිරීම සඳහාත් සේවකයන් බදවා ගත් නිසා අපගේ කටයුතු වඩාත් පහසු විය.අප දෙදෙනා පැමිණෙන විට අප සමග දරුවන්වද අප කැටුව ආවෙමු.

නවාතැනෙහි වූ විශාල කොහොඹ ගසක අප ලී වලින් නිවසක් ඉදි කළෙමු.අලංකාර නිමැවුමක් වූ එහි අප ඇඳන් තුනක්ද සවිකළේ පැමිණෙන අයට එහි ගත කිරීමට පහසු වන පරිද්දෙන්ය.එයට නැගීම සඳහා පඩි පෙළක් ද අප නිර්මාණය කළෙමු. රාත්‍රී කාලයන් එහි ගත කිරීම අතිශය සුන්දර අත්දැකීමක් විය.හෂාන් සහ මම කොළඹ ගත කරනවාට වඩා වැඩි කාලයක් ගත කළේ කතරගම නවාතැනෙහි ය.දරුවන් දෙදෙනාට නිවාඩුවක් ලද විගසම අප ඔවුන්ව ද කැටුව ආවෙමු.යාල වනෝද්‍යානය නැරඹීමට ඔවුන් දෙදෙනා අතිශය ප්‍රිය කළ අතර අප සියලු දෙනාම වනෝද්‍යානය තුළට ගොස් සතුන් නැරඹීම පුරුද්දක් කර ගත්තෙමු.අපගේ දරුවන් කුඩා කල සිටම වන සතුන්ට මෙන්ම ස්වභාවධර්මයට ද ඉතාම ලැදි දරුවන් විය.

හෂාන් සහ මම අපගේ දරුවන්ව හුරු කළේ ඉතාම සරල ජීවන රටාවකට අනුවය.දුර ගමන් වල යෙදෙන විට පවා අප ඔවුන් වෙනුවෙන් රැගෙන ගියේ අත්‍යවශ්‍යම භාණ්ඩ පමණි.පහසු ඇඳන්වල නිදා ගැනීමට මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී පැදුරක නිදා ගැනීමට ද අප ඔවුන්ව හුරු කළෙමු.මිනිස්සුන්ගේ දුක හඳුනා ගැනීමට මෙන්ම ගම්වල මිනිසුන් ගත කරන ජීවිතය දැකගැනීමට කුඩා කල සිටම අප ඔවුන්ට අවස්ථාව සැලසූවෙමු. ඒ අනුව ගම් වල සකස් කෙරෙන සාම්ප්‍රදායික ආහාර වල සිට ඕනෑම ආහාරයක් රස විඳීමට ඔවුන් හුරු වූ අතර ස්වභාවධර්මයත් සමග එයට ආදරය කරන හොඳ පුරවැසියන් ලෙස අප ඔවුන් දෙදෙනාව ගොඩනැඟූවෙමු.ඔවුන්ට අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය ඕනෑම දෙයක් ලබා දීමට අපට හැකියාව තිබුණ ද අප එසේ කළේ නැත.පාසලේ 2 වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ දරුවන් දෙදෙනාට අලුතෙන් මිලදී ගෙන දෙන සපත්තු ඉතා ඉක්මනින් කැඩෙන අවස්ථා තිබුණි.ඒවා කැඩෙන සැනින් අප ඔවුන්ට අලුතෙන් සපත්තු මිලදී ගෙන දුන්නේ නැත.කැඩුණු සපත්තුව මස්සවා දී හැකි තරම් කාලයක් ඒවා භාවිතා කිරීමට අප ඔවුන්හට ඉගැන්වුවෙමු.එසේ මස්සවා දෙන සපත්තු භාවිතා කිරීමට නොහැකිම තැන පමණක් අප, නැවතත් ඔවුනට සපත්තු මිලදී ගෙන දුන්නෙමු.ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ඔවුන්ට මිලදී ගෙන දුන් ක්‍රිකට් පිති පවා අලුතෙන් මිලදී ගෙන දුන්නේ පැරණි ක්‍රිකට් පිත්තෙන් ක්‍රීඩා කිරීමට නොහැකි වූ තැන දී ය. එමඟින් අප නිරන්තරයෙන්ම ඔවුන් දෙදෙනාට ඕනෑම දේක ඇති වටිනාකම වටහා ගැනීමට ඉඩ සැලසු වෙමු. දෙමව්පියන් වෙහෙස මහන්සි වී උපයන මුදල් වල විශාල වටිනාකමක් ඇති බව ඔවුන් උගත්තේ ඒ ආකාරයටය.විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයකු උපයන සෑම මුදලක් පිටුපසම විශාල වෙහෙසක් සහ කැපවීමක් ඇති බව මා කිව යුතුමය.මුදල් ඉපයීමට ඕනෑ තරම් පහසු මාර්ග තිබුණත් හෂාන් ඔහු ඉපයූ සෑම දෙයක් සඳහාම විශාල වශයෙන් කැපවීය.එවන් ස්වාමි පුරුෂයකු ගේ බිරිඳ වීම පිළිබඳව මා සැබැවින්ම ආඩම්බර වෙමි.හෂාන්ගේ එම කැපවීමෙහි වටිනාකම මා නිරන්තරයෙන්ම දරුවන්ට ද කියා දුන්නෙමි.

” මම ක්‍රිකට් ගහනකොට අම්මල තාත්තලාට එහෙම වියදම් කරන්න සල්ලි තිබුණේ නැහැ ලොකුවට.අපි මැච් වලට යනකොට සපත්තු වල සුදු හුණු ගා ගෙන යන්නේ.බැට් එක තෙල් ගාලා පොලිශ් කරනවා.අපි ඒ දේවල් ගොඩක් පරිස්සම් කළා .අපි ආවේ ගියේ බස් වල “

හෂාන් පවසන්නේ ඒ ආකාරයටය.එම නිසා දුක යනු කුමක්දැයි හඳුනා ගෙන හඳුනාගෙන ජීවත්වීමට අප නිතරම දරුවන්ට අවස්ථාව ලබා දුන්නෙමු.අපගේ දරුවන් කිසිම දිනක වත් විවිධ දෑ ඉල්ලමින් හඬා නැත.ඉඳහිට හෝ එසේ ඉල්ලූ විට එය ඔවුන්ට අනවශ්‍ය දෙයක් නම් ඒ බව වටහා දුන් විට එය තේරුම් ගැනීමේ හැකියාව ඔවුන් හට තිබුණි.

අනෙක් විශේෂම කාරණාව නම් සාමාන්‍යයෙන් කුඩා දරුවන් සිටින නිවෙස් වල බිත්ති මත දරුවන් විසින් විවිධාකාර දේවල් ඇඳ තිබෙනු දැකීම ඉතාම සුලභ දසුනකි.නමුත් අපගේ දරුවන් කිසිම දිනක නිවසේ බිත්ති මත විවිධ දෑ අඳිමින් අපවිත්‍ර කළේ නැත.දෙමව්පියන් වෙහෙස මහන්සි වී දරුවන් වෙනුවෙන් ඉදි කල , තමන් ජීවත් වන නිවස ආරක්ෂා කළ යුතු බවත් , තමන්ගේ දේවල් වලට ආදරය කළ යුතු බවත් දරුවන්ට කියා දී , විශාල කඩදාසි මිලදී ගෙන ඔවුන් වෙත ලබාදුන් අප ඒවායෙ චිත්‍ර ඇඳීමට ඔවුන්ව හුරු කළෙමු.ඒ සෑම දෙයක්ම අප දරුවන්ට කියා දුන්නේ ඉතා ආදරයෙන් වන අතර ඔවුන් ඒවා හොඳින් වටහා ගෙන ඒ ආකාරයෙන්ම පිළිපැදීය.

කැබලිත්ත ගමනෙන් පසුව ඇති වූ සුනාමි ව්‍යසනයෙන් අහඹු ලෙස අපගේ ජීවිත ආරක්ෂා වීමේ සිදුවීමද ,කතරගම නවාතැනට ගෙවැදීමෙන් අනතුරුවද ටික දිනක් ගෙවී යන විට මගේ ශරීරයෙ මතුවූ යම් යම් සංකූලතා මත මා හෂාන් සමග වෛද්‍යවරයෙක් මුණ ගැසීමට ගියෙමි.නයින්වේල්ස් රෝහලේ වෛද්‍ය හත්තොටුව මුණගැසුනු පසුව ඔහු කළ පරීක්ෂණයකින් හෙළි වූයේ මා නැවතත් ගැබ් ගෙන ඇති බවයි.ඒ වන විට පුතුන් දෙදෙනාට වයස අවුරුදු නමයට ආසන්න වෙමින් තිබුණි.කලකට පෙර අසනීප වූ අවස්ථාවේදී මා හට නැවතත් මව් පදවිය ලැබීමට ඇති හැකියාව ඉතාම අඩු බව වෛද්‍යවරුන් පැවසූ නිසා මා ගැබ් ගෙන ඇති බවට ලැබුණු පුවතින් මා මෙන්ම හෂාන් ද ඉතාම සතුටට පත් වූයෙමු.

වසර නමයකට පසුව මව් පදවිය ලැබීමට යාම මා හට වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සතුටක් විය.කෙසේ හෝ තවත් මසක පමණ කාලයකට පසුව දිනක් හදිසියේම මගේ නංගී මා ඇමතීය.කාලයක් තිස්සේ දරුවකු බලාපොරොත්තුවෙන් සිටි ඇයද ඒ වන විට ගැබ් ගෙන තිබුණි.ඇය එය පැවසූ විට මා හට විශාල සතුටක් ඇති වූයේ විවිධ ප්‍රතිකාර ක්‍රම කලත් අවසානයේදී ඇය ගැබ්ගෙන තිබුණේ ස්වභාවිකව නිසාය.පුදුමාකාර හාස්කමක් ලෙස එය කිව හැකි අතර මා මව් පදවිය ලැබීමට යන පුවතටත් වඩා නංගී මව් පදවිය ලැබීමට යන පුවත මා හට සතුට දනවන්නක් විය.මගේ ප්‍රාර්ථනාව සහ නංගී පිරිවෙන් තාත්තා කළ ප්‍රාර්ථනාව ද ඉෂ්ට වූයේ ඒ අයුරින් ය.කැබලිත්ත ගමනට අප සමග සහභාගි වූ හමුදා නිලධාරියා ඇතුළු පවුලේ අය විදෙස් රටක පදිංචිවීමට යාම සඳහා ඉල්ලුම් කර තිබුණු අතර එය සාර්ථක වීමට ඔවුන් කළ ප්‍රාර්ථනාව ද ඉෂ්ට වූ වග අපට පසුව දැනගන්නට ලැබුණි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles