රිදීම්

චමත්කාට කෙළවරක් නැතුව ඉකි ගැහෙනවා.ඇය හැඬිම පාලනය කරගනිමින් කිහිප වතාවක්ම මුහුණ සේදුවත් ඒ උපක්‍රමය සාර්ථක වුණේ නෑ.මේ හැඬෙන්නේ කේන්තියට ද වේදනාවටද කියලා හිතා ගන්න බැරිකමින් ඇයට නැවත නැවතත් හැඬෙනවා.චමත්කා කාර්යාලයේ කා අතරත් ජනප්‍රිය කේන්ති නොගන්නා බොහොම අහිංසක කෙනෙක් හැටියට.ඒ ප්‍රතිරූපය හැමෝම ඉස්සරහ බිඳ වැටිලා දැන් මිනිත්තු කිහිපයක්.

“ඔහොමත් බනිනවද අප්පා මිනිස්සුන්ට?”

“ඊටත් මේ වැඩිහිටි කෙනෙකුට”

“පව් අනේ එයාගේ ආවේගෙනෙ ඒ පිට වුණේ”

“අපි දන්නවයැ එයාට මොකක් හරි අවුලක් තිබුණු බව.”

ඒ වගේ කෙළවරක් නැති පසු විපරම් චමත්කාව තවත් සහමුලින්ම අවුලට පත් කරන්න හේතු වුණා.ඇය ඔහේ කදුළු ගලා යන්න ඉඩ දීලා මඳ වෙලාවක් එහෙමම හිටියා.

සාරංගිගේ විවාහය,ඒ කතාබහ තමයි මේ හැමදේකටම හේතුව.සාරංගිගේ විවාහයට අඳින පළඳින දේ ගැන කාර්යාලීය මිතුරියන් කතා වෙන්න ගත්තේ බොහොම උද්‍යෝගයකින්.කාලයකින් එන විවාහ උත්සවයක් නිසා හැම කෙනෙක්ම වගේ සාරංගි තරමටම මේ විවාහය ගැන උනන්දුයි.

“මම නම් ෆැෂන් වර්ල්ඩ් එකේ තිබ්බ ගවුමක් බැලුවා.සාරියක් අඳින්න කම්මැලි.මම ඒ ගවුම අඳිනවා.”

චමත්කා එහෙම කියනකොට නඳුනි ඇය දිහා බැලුවේ හිනාවකින්.ඇත්තටම චමත්කාගේ හැඩැති සිරුරට ගවුමක් බොහොම අපූරුවට ගැළපෙනවා 

“ඔයා ඉතින් කොකාකෝලා බොට්ල් එක වගේ ඉන්නවනෙ.අර මට පෙන්නපු ගවුම නේද? ඒක ඇඳලා ලයිට් මේකප් එකක් දැම්මම සාරංගි කැලේ ඉඳියි හැබැයි.”

මනමාලි වෙච්ච සාරංගි පවා ඒ කතාවට උස් හඬින් හිනා වුණේ අහිතක් නැතුව.කොහොමටත් චමත්කා කියන්නේ වයස නොපෙනෙන හැඩ කෙල්ලක්.ඉතින් ඒ කතාවේ ඇදයක් සාරංගිට පෙනුණෙත් නෑ.

ඒත් ඒ කතාවේ ඇදයක් පෙනුණු කෙනෙක් හිටියා.ඒ නිලන්ති.නිලන්ති හිටියේ විශ්‍රාම යන වයසට ඔන්න මෙන්න කියලා.ඒ නිසාම මේ තරුණ කෙල්ලන්ගේ සමහර කතාවල තියන අඩුලුහුඬුකම් නිලන්තිට ඕනෑවටත් වඩා හොඳට තේරුම් ගියා.

“ඔයාලා ඔය කතා කියලා චමත්කා රවට්ටන්න එපා.මෙයා ඇඟේ හැඩේට ලෝබ වෙලා ළමයෙක් හදන එක දවසින් දවස කල් දානවා.පොඩි එකා වගේ පෙනුණට දැන් චමත්කාට තිස් දෙකක් නේද? තවත් නාකි වෙලා කවදා ළමයි හදන්නද?”

නිලන්ති එහෙම ඇහුවේ බොහොම බැරෑරුම් ව.එතැනින් නොනැවතී සිරුරේ හැඩය ගැන වද වෙමින් දරුවෙක් ගැන නොසිතීමේ විපාක ගැන ඇය දිගින් දිගටම කියවාගෙන ගියා.

“මම ගැන නිලන්ති අක්ක මට වඩා දන්නෙ කොහොමද? මං බබෙක් නොහදා ඇඟ ගැනයි ලස්සන ගැනයි හිතනවා කියලා නිලන්ති අක්ක ස්තිරෙටම කියන්නෙ කොහොමද? ලැජ්ජා නැද්ද අක්කේ,අනිත් මිනිස්සුන්ගෙ ජීවිතේ ගැන ඔහොම ජජ් කරන්න.ඔයා කොහොමද මමවත් මම ගැන නොහිතපුවා ඔහොම ජජ් කරලා කියන්නේ?”

ආවේගය හිතට ආවේ දරා ගන්න බැරි තරමට.ඔය තරමට අනුන්ව විනිශ්චය කරන්න පුරුදු වෙන්න එපා කියලා චමත්කා කෑගහනකොටත් අවවාදයක් පිළි නොගෙන තමන්ම හරි කියලා කියන්න හදන ඇය ගැන නිලන්ති ආඩපාලි කියන්න පටන් ගත්තා.

“මම කාටවත් නොකියන මගේ කතා තියෙන්නෙ පුලුවන්.එහෙම තියෙනකොටත් ඔයාලා ඔය වගේ ජරා කතා කියන එක තමයි මට ඉවසන්නම බැරි.”

චමත්කා පුටුව පස්සට කරලා නැගිට්ටෙ බොහොම කේන්තියකින්.ඊට පස්සේ අනිත් අය කියන දාහක් කතා අතරින් ඇය දුවගෙන නාන කාමරය දිහාට යන්න ගියා.චමත්කාගෙ කතාවේ සැලකිය යුතු කොටසක් දන්න නඳුනි මිතුරිය හඬමින් යන්න ගිය හැටි බලාගෙන හිටියේ වේදනාවෙන්.

Horizontal view of depressed young woman crying

හැම මාසයකම රතු සලකුණක් නොදකින්න ප්‍රාර්ථනා කරලා අවසානයේ ඒ අමිහිරි දසුන දකිනකොට ගේ දෙදරන තරම් වේදනාත්මක හඬකින් අඬන තමන්ගේ හැඬුම ඇහෙන්නේ දසුන්ට විතරක් බව චමත්කා දන්නවා.වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම ළඟට ගිහින් බලාපොරොත්තු වියැකී යනකොට පවා දසුන් තමන්ගේ අත තදින් අල්ලාගෙන හිඳිම තමයි ඇයට තියන එකම සැනසීම.

“මම මොනතරම් පව්කාරියක් ද දසුන්?ඇයි මට අම්මා කෙනෙක් වෙන්න පින නැත්තෙ?”

මාසයක් දෙකක් ඇවිත් යන බලාපොරොත්තුව ස්වභාවික ගබ්සාවක් හැටියට නැති වෙලා ගියාම චමත්කා අඬන්නේ පුදුමාකාර ආවේගයකින්.ඒත් දසුන් කිසිම මොහොතක බලාපොරොත්තු අත්හැර ගන්න සූදානම් වුණේ නෑ.

“ප්‍රශ්න තියනවා තමයි.ඒත් චමත්කා ඔයාට අම්මා කෙනෙක් වෙන්න පුලුවන්.ඒ නිසා ස්ට්‍රෙස් වෙන්න එපා.සැහැල්ලුවෙන් ඉන්න.ඔයාලගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්න වෛද්‍ය විද්‍යාවට පුලුවන්.බය වෙන්න එපා.”

බොහොම ප්‍රසිද්ධ සහ ඉතාමත් දක්ෂ වෛද්‍යවරයෙක්ගෙන් ඒ සුබ යැයි කියන්න පුළුවන් පණිවිඩය චමත්කා අහගෙන දැන් වැඩි දවසක් නැහැ.හෙමින් සැරේ බලාපොරොත්තු ගොඩ ගහමින් ඉන්න වෙලාවක නිලන්ති කරපු බරපතල චෝදනාව චමත්කාට දැනුණේ පිහි ඇනුමකටත් වඩා සැරට.

“මගේ කේන්දරේ කුජ හතේ කියලා කිසිම යෝජනාවක් හරියන්නේ නැතුව තිබුණා.ගිහාන්ගේ අම්මා කැමති කරගන්න පුලුවන් දවසක්වත් පේන්න නෑ.ඒ නිසා අපිට මැරි කරනවානම් මැරි කරන්න වෙන්නේ අපේ කැමැත්තට.අපි එහෙම වේදනාවෙන් කරන දේ ගැන හිත හිතා ඉන්නකොට බඳින්නේ නැතුව රස්තියාදු ගහ ගහ ඉන්නවා කියලා කිව්වෙත් ඔය නිලන්ති අක්කම තමයි චමත්කා.”

මුහුණ සෝදාගෙන එළියට ආවත් හොඳටම අඬපු නිසා ඉදිමුණු චමත්කාගේ මුහුණ දිහා බලාගෙන නඳුනි කිව්වෙ කල්පනාකාරීව.අනිත් අයගේ ජීවිත ගැන ඒ තරම් පහසුවෙන් විනිශ්චය කරන්න ඔවුන්ට පුළුවන් වුණේ කොහොමද කියලා නඳුනිටත් හිතා ගන්න බෑ.

“දරුවෙක් ලබා ගන්න බේත් හේත් කරන්න මම මගේ ඇඟට මොනතරම් වේදනාවක් දුන්නද? මොනතරම් පරීක්ෂණ කළාද? දරුවෙක් ලබා ගන්න මම ඕනතරම් දේවල් කරන්න ලෑස්ති.ඒත් මගේ කතාව ගැන වචනයක්වත් නොදැන මම ඇඟේ හැඩේ ගැන හිතනව කියලා එයාලා කියනකොට මට ඉවසන්න බැරුව ගියා.”

චමත්කාට ආයෙමත් ඇඬෙන්න ආවා.නඳුනි ඇගේ අත අල්ලා ගත්තේ ප්‍රවේසමින්.රිදීම් මැද ජීවත් වෙන නිහඬ සටන්වල යෙදෙන තමන් සහ මිතුරිය ගැන අනිත් අය මොන විනිශ්චයන්ට ආවත් තමන්ට තමන්ගේම කියලා වේදනාත්මක කතාවක් තියන බව තමන් දැන ගත්තම ඇති කියලා නඳුනි හිතුවා.

“ඕන කෙනෙක් ඕනම දෙයක් කියයි චමා.ඔයා ඉක්මනින් අම්මා කෙනෙක් වෙයි.ඕවා ගැන හිතලා හිත රිද්දා ගන්න එපා.හිත් හදනවට වඩා හිත තැලෙන්න දේවල් කියන්න හරිම පහසුයි.ඒකයි මිනිස්සු ඒ පාර තෝරා ගන්නේ.”

නඳුනි කිව්වේ කලබල නැති හඬකින්.අපිව කලබල කරන්න උත්සාහ කරන අය ඉදිරියේ අපි කලබල විය යුතු නැති බව චමත්කාත් ඉක්මනින් ඉගෙන ගනීවි කියලා ඇය හිතුවා.

More Stories

Don't Miss


Latest Articles