මතක දිගහැරුම 71 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ එක්වන දිගහැරුම ,

වර්තමානයේ දී මෙන් නොව , එකල කුරුඳු කර්මාන්තය එතරම් පහසු එකක් වූයේ නැත.කුරුඳු තලන මිනිසුන් ප්‍රමාණය ඉතා අඩු වූ බැවින් ඔවුන්ට තිබූ ඉල්ලුම ඉතා ඉහල විය.හොඳම වර්ගයේ කුරුඳු නිෂ්පාදනය කරන ආකාරය , අවුරුද්දකදී කුරුඳු තැලිය යුතු වාර ගණන ආදී බොහෝ කාරණා ද මා ඉගෙන ගත්තෙමි. ඒ වගේම තේ දළු නෙලූ විට ඒවා බාර දෙන ස්ථාන වලට සහ ,කුරුඳු තොගයන් වෙළඳසැල් වලට භාර දෙන විට මා ගිය අතර එම අත්දැකීම් මා හට ඉතා රසවත් විය.එයට හේතුව වූයේ මේ සියලු කටයුතු වල මම නිරතවූයේ ඉතා කැමැත්තෙන් සහ උනන්දුවෙන් වූ නිසාය.

මේ සියලු වගා කටයුතු වලට අමතරව කුඹුරේ කටයුතු වල නියැලීම සියල්ලන්ටම වඩා මට රසවත් අත්දැකීමක් විය.කුඹුරු වල සිදුකෙරෙන කටයුතු සියල්ල අවසානයේ සහල් ගෝනියක් නිවසට රැගෙන එන විට දැනෙන සතුට වචනයෙන් කියා නිම කළ නොහැකි තරම්ය. රට වෙනුවෙන් මහන්සි වී ,වගා කිරීමේ කටයුතු වල නියැලෙන ගොවීන් දරන වෙහෙස , වගා කිරීමේ දී අත්වන වාසි අවාසි ආදිය ඇත්ත වශයෙන්ම අපට සිතාගත හැකි විය. අප කුඹුරේ කටයුතු වල නියැලෙන සමයේදී ඇතැම් අවස්ථාවලදී මොනරුන් ,වල් ඌරන් වැනි සතුන් පැමිණ ඒවාට හානි පමුණුවයි.ඉතා හොඳින් පීදීගෙන එන ගොයම එසේ විනාශ වී තිබෙනු දකින විට විශාල දුකක් අප සිත් තුළ ඇති වේ.මන්ද , වගා කිරීම වෙනුවෙන් අප දැරූ වෙහෙස මහන්සිය සහ කැපකිරීම සුළුපටු එකක් නොවේ.

අප සපයන අමු තේ දල්ල ,වෙළෙඳ පොළට නිකුත් කෙරෙන තේකොල දක්වා නිශ්පාදන‍ය කෙරෙන ආකාරය මා තේ කර්මාන්ත ශාලාවලට ගොස් අධ්‍යනය කරමින් ඉගෙන ගත්තෙමි.ඒ සෑම දෙයක් පිළිබඳවම දැනුම ලබාගෙන ඒවායෙහි නියැලීමට මා තුළ විශාල උනන්දුවක් විය.ඊට අමතරව එළවළු සහ පලතුරු වර්ගද අප වගා කළෙමු.ඒවා දකින වාරයක් පාසාම සිතට ඇතිවන සතුට අසීමිතය.

විවේකයක් ලද සෑම අවස්ථාවකදීම හෂාන් වත්තට පැමිණෙන අතර අපට පහසු වන අයුරින් එහි කුඩා ගෙයක්ද අප සෑදූවෙමු.සතියට දින තුනක් පමණ මම එහි ගොස් වැඩ කෙරෙන ආකාරය , අඩුපාඩු සොයා බලමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කළෙමි.අප යටතේ සේවය කළ සේවකයන් දිරිගැන්වීම උදෙසා වසරකට වතාවක් එක් එක් ඛාණ්ඩ යටතේ හොඳම සේවකයන් තෝරා පත් කරගෙන ඔවුන්හට දීමනාද , තෑගි වශයෙන් රෙදි සෝදන යන්ත්‍ර , ශීතකරණ ,රයිස් කුකර් වැනි නිවසට අවශ්‍ය කරන උපකරණ ලබා දුන්නෙමු.ඒ මඟින් සෑම සේවකයෙක්ම දිරි ගැන්වෙන අතර ඔවුන්ගෙන් ඉතා හොඳ මෙන්ම විශ්වාසදායි සේවයක් ලබා ගැනීමට අපට හැකි විය.

සියලු කටයුතු සිදුකරන අතර දරුවන්ගේ වැඩ කටයුතු ද, හෂාන්ට තරඟ සංචාර සඳහා සහභාගි වීමද , විදෙස් සංචාරවලට සහභාගි වීමද මා කළෙමි.සජී ඇතුළු හෂාන්ගේ හොඳම මිතුරන් තිදෙනා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය අතර බොහෝ විදෙස් රටවල් වල දී අපගේ මිතුරන්ගෙන් අපට විශාල සහයෝගයක් හිමිවිය.ඕස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවල් වලට මා දරුවන් රැගෙන ගියෙමි. ඇතැම් අවස්ථාවන්වලදී මා හට තනිවම දරුවන් රැගෙන යාමට සිදු වූ අතර දරුවන්ට අවශ්‍ය ඇඳුම් ඇතුළු අනෙක් සියලුම දේ සූදානම් කර හෂාන් අපට පෙර පිටත්වන විට ඔහු හට භාර දෙමි.ඉන්පසුව මා, මා හට අත්‍යවශ්‍ය දේවල් පමණක් කුඩා බෑගයක බහා පිටේ එල්ලාගෙන දරුවන් දෙදෙනාව අත් දෙකෙන් වඩාගෙන ගුවන් ගමන් සඳහා යන අවස්ථාවන් ද තිබුණි.එවැනි අවස්ථාවලදී ගුවන් තොටුපලේදි මා දකින බොහෝ දෙනා පුදුමයට පත්වන අතර ඇතැම් අය මට උදව් කිරීමට ද පැමිණෙයි.

හදිසියේ හෝ මා හට වැසිකිළි යාමට උවමනාවක් ඇතිවුවහොත් දරුවන් දෙදෙනාව අයකුට භාරදී යාමට මා බිය විමි.එම නිසාම ගුවන් ටිකට්පත් වෙන්කරවා ගන්නා විට ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ සහායකයෙක්ව ඉල්ලා සිටීමට අමතක කළේ නැත .එසේ කිරිම මට විශාල උපකාරයක් විය. හා දරුවන් දෙදෙනාම වඩාගෙන යන ආකාරය ගුවන්තොටුපොළේ දී දුටු එක් සුදු ජාතික කාන්තාවක් මා Bionic Women ( Television serious character ) මෙන් යයි කීය. තවත් සමහර අවස්ථාවන්වලදී ලංකාවේ තරග වාර පැවැත්වෙන විට, මා වාහනයෙ පිටුපස ආසනයේ දරුවන් දෙදෙනාව වාඩි කරවාගෙන වාහනය පදවාගෙන නැරඹීම සඳහා ගිය අවස්ථාද ඇත.දරුවන් දෙදෙනාම පුංචි සූප්පු භාවිතා කිරීමට පුරුදු වී සිටි අතර වාහනයේ යන ඇතැම් අවස්ථාවලදී එක් දරුවෙක් අනෙක් දරුවාගේ සූප්පුව උදුරාගෙන ඔහුගේ කටේ ගසා ගන්නා අතර අනෙක් දරුවා හඬන්නට පටන් ගනියි.විටෙක ඔවුන් දෙදෙනාගේ ක්‍රියාවන් අතිශය විනෝදජනක ඒවාද විය.කෙසේ හෝ මේ සියලු දෑ කළමනාකරණය කර ගැනීමට මා තුළ වූ ශක්තිය පිළිබඳව ඇතැම් විට මා හටම සිතාගත නොහැකි විය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles