වසර 18 ක විවාහය අවසන් කළ අගමැතිගේ ආදර අන්දරය

කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ බිරිඳ සොෆී ග්‍රෙගෝයර් ටෘඩෝ වෙන් වන බව Instagram හි නිවේදනය කරනවා. ඔවුන්ගේ 18 වසරක විවාහයේ අවසානය සනිටුහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කරන්නටත් ඔවුන් වග බලා ගත්තා

51 හැවිරිදි Trudeau සහ 48 හැවිරිදි Grégoire Trudeau විවාහ වූයේ 2005 මැයි මස අගදීය.

අගෝස්තු දෙවැනි බදාදා ඔවුන් එකවරම ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවල මේ ප්‍රකාශය පළ කළා. වෙන්වීමට තීරණය කළේ “බොහෝ අර්ථවත් හා දුෂ්කර සංවාද” වලින් පසුව බව ඒ ප්‍රකාශයේ සඳහන්.

ඔවුන් දෙදෙනා නීතිමය ගිවිසුමකට අත්සන් තබා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

“ඔවුන් වෙන්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් සියලුම නෛතික හා සදාචාරාත්මක පියවර ගෙන ඇති බව සහතික කිරීමට ඔවුන් කටයුතු කර ඇති අතර, එය දිගටම කරගෙන යනු ඇත,”

නිල නිවේදනයේ එසේ සඳහන්.

මෙම යුවළ ප්‍රථම වරට මුණගැසුණේ තරුණ වියේදී. සොෆියා ජස්ටින්ගේ බාල සොහොයුරා වන මයිකල්ගේ පාසල් මිතුරියකව වී සිටියා. ඔවුන් 2003 දී වැඩිහිටියන් ලෙස නැවත හමු වූ අතර සොෆියා රූපවාහිනී නිවේදිකාවක ලෙස සේවය කරමින් සිටියදී ඒ හමු වීම සිදු වුණා.ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටිනවා.

ටෘඩෝ 2015 දී ප්‍රථම වරට අගමැති ලෙස තේරී පත් වූ විට, සොෆියා ග්‍රෙගෝයර් ටෘඩෝ ජාත්‍යන්තර නායකයින්, ප්‍රභූවරුන් සහ ප්‍රජා සංවිධායකයින් හමුවීම සහ ඇගේ සැමියා සමඟ විදේශ සංචාර සඳහා කැමැත්තෙන් එක් වූවා. ඒවාට ඉහළ මහජන ප්‍රතිචාරයක් ද තිබුණා.

Vogue විසින් 2016 කලාපයේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් ඉදිරිපත් කරන ලද අතර, එහි සඳහන් වූයේ Trudeau “ඔහුගේ බිරිඳ කෙරෙහි දක්වන සෙනෙහස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමෙන් ඇතැමුන් කම්පනයට පත් කරන” බවක්.

ඇය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ මානසික සෞඛ්‍යය වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව ද කටයුතු කළා. ඇයට ප්‍රකාශනය කිරීමට නියමිත පොත් දෙකක් ද තිබෙනවා.

මෑත වසරවලදී සොෆියාගේ භූමිකාව අඩුවෙන් පෙනෙන බවක් දක්නට ලැබුණා. ඇය කලාතුරකින් තම ස්වාමිපුරුෂයා සමඟ නිල චාරිකා සඳහා ගමන් කළා. පසුගිය වසරේ ඔවුන්ගේ විවාහ සංවත්සරයේදී ඇය සමාජ මාධ්‍ය සටහනක ලියා තිබුණේ “අපි හොඳ ඉර එළිය සහිත දින, අධික කුණාටු සහ ඒ අතර ඇති සියල්ල හරහා ගමන් කළ අතර ඒ ගමන අවසන් වී නැත” යනුවෙන්.

ඔවුන් දෙදෙනා චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා මැයි මාසයේදී ලන්ඩනයට ගොස් තිබුණා.ටෘඩෝ සඳුදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර එදින රාත්‍රියේ ඔවුන් ටොරොන්ටෝ උමං මාර්ගයේ සවාරියක් ගිය නමුත් පසුගිය දින දෙක තුළ ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් තිබුණේ නෑ.

“සොෆී සහ අගමැතිවරයා ඔවුන්ගේ දරුවන් ආරක්ෂිත, ආදරණීය සහ සහයෝගී පරිසරයක ඇති දැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත,”

යනුවෙන් ද නිල නිවේදනයේ සඳහන්. එය එසේ වීම නම් ඉතා වටිනා ක්‍රියාවක් බව නොකියාම බැහැ.ඔහුගේ කාර්යාලය ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එක්ව ගමනක් නොමැති බව යුවළකට වැටහෙන්නට යන කාලය සාපේක්ෂ එකක්. එය තේරුම් ගත් පසු නොගැටී වෙන් වී යාම හොඳ තීරණයක් මිස අන් කිසිවක් නෙවෙයි. එය අගමැතිවරයෙකුට මෙන්ම සාමාන්‍ය මිනිසෙකුට ද පොදු දෙයක්.එකිනෙකාට චෝදනා නොකර ගනිමින් වෙන් වීම ප්‍රසිද්ධියට පත් කිරීම මඟින් ටෲඩෝ යුවළ ලෝකයට හොඳ ආදර්ශයක් ද සපයනවා.

පෞද්ගලිකත්වය සුරකිමින් ඔවුන්ට ඔවුන්ගේ ගමන යන්නට හැකි වේවා!

Related Articles

Don't Miss


Latest Articles