වීදුරු කටු.

ජීවිතේ කියන්නේ කෙළවරක් නැති සිදුවීම් සමුදායක්. හදිසියේම නිර්මිතාට හිතුණේ එහෙම. ගෙවල් අස්පස් කරනවට වඩා හැඩි කර ගන්න එක පුරුදු වුණත් සති අන්තේ දවස් එන්නේ අස්පස් කරන්න.අස් කිරීම මඟ හැරලා සේරම අම්මට පවරපු අතීත දවස් කන පිරෙන්න බැනුම් අහගත්තත් සුන්දරයි කියලත් ඇයට හිතෙන්නේ මෙන්න මෙහෙම වෙලාවට.හැම තැනකම පුංචි දූවිලි අංශු හැංගිලා තියෙන්න පුළුවන්.හරියට හිතෙන් කොයි තරම් එළියට ඇදලා දැම්මත් ආයේ මතු වෙන මතක වගේ. පරණ රෙද්දක් අරන් සාලේ බඩු පිහිදාන ගමන් ඇය හිතනවා.

“ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නේ ඇයි එහෙනම්”

එහා පැත්තේ නිවසේ ගුවන් විදුලිය කෑගහන්න අරගෙන.පරණ සින්දුවක්.
නිර්මිතා උසස් පෙළ කරන්න ගත්තු දවස් වල ජනප්‍රිය වුණු සින්දුවක්. ඒ කාලේ ඉඳන් ඒ සින්දුවට පෙම් බැඳපු කෙනෙක් හදිසි මතකයකින් ඉල්ලුවා වෙන්න ඇති. අහන එක නවත්තලාම දාපු සින්දුවක් අල්ලපු ගෙදර රේඩියෝ එක මහා සද්දෙට අහන්න සලස්සනකොට පලා යන්නද?එහෙම කරන්න බෑ.අහැබැයි ඒ එක්කම එන මතක වැල නවත්තන්න පුළුවනි.ඒත් නිර්මිතා පරක්කුයි. ඇයටත් හොරෙන් ඈ අවුරුදු නවයක දහයක අතීතයකට ඉගිලිලත් ඉවරයි. ටියුෂන් පන්තියක් ඇරිලා ගෙදර යන්න බලාගෙන ඉන්න දඟකාර කෙල්ලො දෙන්නෙක් නිර්මිතාගේ මතකයේ ඇඳෙමින් මැකෙන්න ගන්නවා.

“ආඩම්බරයි බැලුවම නම්..
හොරැහින් බලන්න ඇයි එහෙනම්”

මහා පාරේ ඉන්න වග අමතක වෙලා වගේ හරිනි ගයන්නේ නිර්මිතාගේ දිහා බලාගෙන.

“ඔය කාටද කියන්නේ..”

නිර්මිතා අහන්නේ අකමැත්තෙන්. දඩබ්බර දෑසක් තමන්ව ලුහු බඳින වෙලාවක හරිනිගේ මේ විකාර හොඳටම වැඩි තැනුත් නැතුවා නෙවෙයි. හරිනිගේ සින්දු අහනවට වඩා මේ වෙලාවේ නිර්මිතාට ඕන ඒ ඇස් දෙකෙන් ගැලවෙන්න.

“උඹට. අර භාෂිත හොරෙන් හොරෙන් බලන විත්තිය දැන දැන මොකක්ද ලොකුකම. ඔච්චර මැචින් කොල්ලෙක් ජීවිතේට හම්බ වෙන්නේ නෑ”

හරිනිගේ දේශනාව නවත්තන්න කතාවක් නිර්මිතාට තියෙනවා.

“මට හරි බයයි හරිනි.මේ කාලේ හීන දකින එක අර දීකිරි දීකිරි සින්දුව වගේ.මුට්ටිය බිඳුණොත් ඔක්කොම ඉවරයි..අවුරුදු දාහතක් දහ අටක කාලෙදි අපිට ඇත්තටම ලයිෆ් පාට්නර් කෙනෙක් තෝරා ගන්න පුලුවන්ද?”

නිර්මිතා කිව්වේ හැබෑම බයකින්.හීන මාලිගා හදන එකනම් ඇත්තටම ලේසි වැඩක්.ඒත් ඒ මාළිගා බිඳ වැටීම දරා ගන්න ගෑනු ළමයෙක්ට එච්චර ලෙහෙසි වෙන්නේ නෑ.

දඟකාර ඇස් දෙකේ පැටලීම තෝරා ගනිද්දී පවා නිර්මිතා ඒ දහම දැනගෙන හිටියා.කාලය වේගයෙන් ගලාගෙන ගියා.

ඇත්ත!!

හීන බිඳ වැටීම දරා ගන්න එක හිතන තරම් පහසු නැති බව නිර්මිතාට කියා දෙන්න හරිනිටවත් කාටවත් පුලුවන් වුණේ නෑ.රැවටීමක ජීවත් වෙන බව දැන ගැනීම ගැහැනු ළමයෙක්ට මොනතරම් අසීරු ද?

“මට තියෙන්නේ තනිකම තනියට.. ඔබ සිඹින්නේ මගේ හිත විතරද..”

සුරනි එහෙම අහනකොටම පොටෝ පේලියේ දඟ හිනාවක් දාගෙන හිටිය උසස් පෙළ කාලේ නිර්මිතා, සසල සිතුවිලි ගොන්නක හිටිය වර්තමාන නිර්මිතා අතින් බිම වැටිලා කුඩු පට්ටම් වීදුරු අතරින් තවම හිනා වෙනවා.

“මොනාද බිඳ ගත්තේ බබා.. “

ඒ ආදරණිය තරවටු ඇමතුම ඔහුගෙන්. භාශිතගේ නොහික්මුණු කම් අමතක කරවලා නිර්මිතා තමන්ගේ බිරිඳ කරගත්තු ඔහුගෙන්.නිර්මිතාගේ හැම නපුරුකමක්ම ආදරයෙන් දරන ඇගේ ආදරණීයබව සෙනෙහසින් විඳ ගන්න ඔහුගෙන්.

“මේ ෆොටෝ එකක් මගෙ අතින් ලිස්සලා වැටුණා ධනුක.”

ධනුක පරිස්සමට ඒ බිඳුණු ඡායාරූපයේ නිර්මිතා අතට ගත්තේ ඇතුළතින් සිය දහස් වරක් බිඳෙමින් හිටිය නිර්මිතාගේ හිස අතගාගෙනම.ඇය ඒ පිරිමැදීම එක්ක පැරණි ගීතයක් මතක් කරගත්තා.සුරනිගේ දඟකාර හඬට වඩා මේ වගේ මොහොතකට ගැලපෙන්නේ නන්දා මාලිනී මහත්මියගේ සින්දුවක්.

“ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ..
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ..

“ම මේකට පැය බාගෙන් වීදුරුවක් දාගෙන එන්නම්..”

“එපා..” ඒ තනි වචනය දිහා ඔහු බලන්නේ පුදුමෙන්.

“ඔය නිර්මිතා කැඩිලා බිඳිලා ඉවර ඒ කාලෙමයි.පොඩි දේටත් අඬන, තරහ හොඳම යාලුවා කරගත්තු ඒ නිර්මිතා ආයේ ඕනේ නැහැ.ඔය ෆොටෝ එක එහෙමම තිබුණාවේ.”

ධනුක හිනා වෙනවා.

“ඕනේ දෙයක් කරගන්න පුළුවන්, හිත හයිය, ඔලුව කෙලින් තියාන ඉන්න නිර්මිතා හිටපුදෙන්. ඒ ඔයාගේ නිර්මිතා”

නිර්මිතා කියන්නේ ලතැවිල්ලෙන්.භාෂිතගේ දරුණු රැවටීම හින්දා තමන් අසංවේදි වුණා කියලා ඇයට හිතෙන්නේ.සමහර බැඳීම් අවසන් වෙන්නේ හැඟීම් සහ සංවේදනා මරා දාලා.තමන්ටත් වුණේ ඒක කියලා ඇයට හිතෙනවා.

“ඔයා ඇතුළේ හිටිය අහිංසක කෙල්ල තවම ඉන්නවා.හැබැයි නිර්මිතා දන්නේ නෑ ඒ කෙල්ල ඉන්න වග.දැන් ඔය වීදුරු කටු පාගා ගන්නේ නැතුව ගිහින් වාඩි වෙන්න. නැත්නම් මම උස්සලා ගිහින් කාමරෙන් තියනවා”

හැඟීම් හංගගෙන ඉන්න නිර්මිතාට එළියට එන්න කාලේ ඇවිත්. අර “නැත්නම් ඔප්ෂන් එක” ක්‍රියාත්මක වන තුරු හිටිවනම ඉන්න හිතෙන දඟකාර නිර්මිතාට ඉඩ දීලා නිර්මිතා හිතන්නේ සතුටින්.

“අපි සමහර වෙලාවට ප්‍රශ්නයක් හින්දා දුක් වෙනවා විතරක් නෙවෙයි සදාකාලික දඬුවම් විඳීමත් බාර ගන්නවා..”

වීදුරු කටු ප්‍රවේසමෙන් අහුලන ගමන් ධනුක කියනවා.නිර්මිතා ඒ කතාව ගැන මේ තරම් කාලයක් හිතන්න අමතක වීම ගැන පසුතැවෙන්න පටන් ගන්නව.

“අපි ගොඩක් දෙනෙක් වර්තමානයෙ ජීවත් වෙන්නෙ නෑ.අපි ඉන්නෙම අතීතෙ.
කෑවට බිව්වට, ඔෆිස් එකක වැඩ කරාට, එහෙ මෙහෙ ගියාට ඒ වර්තමානෙ තියන ඇඟෙන් විතරයි.අපේ හිත ඉන්නෙම අතීතයේ..”

ධනුකගේ ඒ වචන ඇහෙනකොට ඇත්තටම ලැජ්ජා හිතෙන නිර්මිතා වීදුරු කටු අහුලන්න ඔහුට උදව් වෙන්න පටන් ගත්තා.

“අපි කවුරුත් මිනිස්සු තමයි.මතක අමතක කරන්න අමාරුයි තමයි.ඒත් මතක අස්සෙ අතරමං වෙවී පෑරෙන එකවත් මතක අමතක කරන්න සහමුලින්ම වෙනස් මිනිස්සු වෙන එකවත් විසඳුමක් නෙවෙයි..”

ධනුක වීදුරු කටු එකතු කරගෙන නැගිට්ටේ එහෙම තියාගෙන.

“මං මේ කටු ටික ආපහු රැක් එක උඩින් තියෙන්නේ නෑ.විසි කරනවා හොඳේ..”

ඔහු එතැනින් ගියේ එහෙම කියාගෙන.

ඇත්ත!අපි බොහෝ දෙනෙක් කරන්නේ බිඳුණු වීදුරු කටු විසි නොකර පරිස්සම් කරන එක.ඉතින් හිත හදාගන්න ලෙහෙසි නෑ.

නිර්මිතා නැගිට්ටේ කොස්සක් අරගෙන එන්න.පුංචි වීදුරු කටු බිම තියෙන්න පුලුවන්.ඒවාට කකුල කපා ගන්නේ මොකටද!!! පරිස්සමින් එකතු කරලා විසි කරලා දාන්න ඕනෑ.

ඇය හිතුවේ කාලයකට පස්සේ නිදහසක් දැනෙන හදවතින්.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content