fbpx

පිරිමියෙක් ලෙස වෙස්ගෙන කාව්‍ය ශාස්ත්‍ර හැදෑරූ රූමත් කිවිඳිය ගජමන් නෝනා.

වසර 1746 මාර්තු දහවන දින දොන් ෆ්‍රැන්සිස්කෝ සේනාරත්න කුමාර පෙරුමාල්ට දාව ෆ්‍රැන්සිනා ජසෙන්තු ග්‍රේවියෝගේ කුසින් පවුලේ දෙවන ගැහැනු දරුවා ලෙස උපත ලද ඇයව දෝන ඉසබෙලා කොරනේලියා පෙරුමාල් ලෙස බෞතීස්ම කරන ලදී.ඇගේ උපන්ගම කොල්ලුපිටිය ලෙස ජනප්‍රවාද වල සඳහන් වෙනවා.

ඉසබෙලා තම නිවසේ සිටම දෙමාපියන්ගෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව මිලාගිරිය පාසලෙන් යම් කාලයක් අධ්‍යාපනය හදාරා තිබෙනවා. කුඩා අවදියේ පටන්ම කවි නිර්මාණයට විශේෂ කැමැත්තක්ද ඇය තුල තිබී තිබෙනවා. ඉසබෙලාට වයස අවුරුදු 13 ක් වන විට ඔවුන් තම පියාගේ රැකියාවේ මාරුවත් සමග කොල්ලුපිටියෙන් කහවත්තටත්, නැවතත් එතැනින් මාරු වී මාතර වේරගම්පිටියේ වාසය කළ බව කියවෙනවා.

මාතර වේරගම්පිටියේ විසීමට යෑමෙන් පසුව ඇය තම මාමා වන “පත්තායමේ ලේකම්” ගෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති අතර අනතුරුව ඔහු විසින් ඇයගේ කාව්‍ය කුසලතාවය හදුනාගෙන එය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් වේරගම්පිටියේ ඇගේ නිවස ඉදිරිපිට පිහිටා තිබූ පන්සලේ “කරතොට ධම්මාරාම” හිමියන් වෙත යොමු කර තිබෙනවා. ඒ පිළිබඳව ද රසවත් කතාවක් ඉතිහාසයේ කියැවෙනවා. එකල කාන්තා පාර්ශවයට භික්ෂූන් වහන්සේලාගෙන් අධ්‍යාපනය ලැබීමට අවසර තිබී නැහැ. එහෙත් ඉසබෙලාගේ තිබූ කාව්‍ය හැකියාව ඔප් නැංවීමට අවස්ථාවක් උදා කර දිය යුතු බව සිතු ඇගේ මාමා ඇයව පිරිමි ළමයකු සේ වෙස් ගන්වා පන්සලෙන් කාව්‍ය ශාස්ත්‍රය හැදෑරීමට යවනවා.

කාලයක් මෙසේ පිරිමි දරුවකු සේ ඉගෙන ගත් මුත්, අවසානයේ දී ඇය විසින් තමන්ගේ අනන්‍යතාවය ගුරු හිමියන්ට අනාවරණය කර සිටි බව පැවසෙනවා. එය ධම්මාරාම හිමියන්ගේ උදහසට ලක් වූ බවත් ඉසබෙලා තමන්ට කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳව තිබූ දැඩි ඇල්ම නිසාම මෙසේ කළ බවත් තේරුම් කර දී උන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටි බව කියැවෙනවා.

සහජයෙන්ම කවීත්වය හිමි වූ ඉසබෙලා කාගෙත් ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය චරිතයක් වුණා. තරුණ වියට එළැඹෙත්ම ඉසබෙලා රූප සොබාවෙන් අග තැන්පත්ව සිටි බව පැවසෙනවා. දුටුවන් මන මත් කරන, කා අතරත් කැපී පෙනෙන රුවකට හිමිකම් කී හෙයින් ඇය බොහෝ කාන්තාවන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වෙද්දී පිරිමින්ගේ නෙතට ප්‍රියජනක දසුනක් වුණා. ලන්සි පන්නයට බෝස්තරුක්ක හැට්ටය සහ ගවුම විලාසිතාව කරගෙන සිටි ඇය ඊට ඇට මාලයක් පැලඳීමටද අමතක කර නැහැ.

වසර අවුරුදු විසි දෙකක් වන විට ගාල්ලේ තල්පේ මෙරංචිගෙයි ගර්දියෙස්‌ ආරච්චි සමඟ විවාහ වූ ගජමන් නෝනා විවාහයෙන් පසු ගාල්ලේ තල්පේ යන ප්‍රදේශයේ පදිංචියට ගියාය.ගාර්දියෙස් ආරච්චි හා විවාහයෙන් පසු ඇය එක්‌ පිරිමි දරුවෙකු ලැබුවාය. ඔහු දොන් ජුවානිස්‌ අල්විස්‌ නම් විය. විවාහයෙන් වසර දෙකකට පසු ගාර්දියෙස් ආරච්චි මියගිය අතර ඉන් අනතුරුව ගජමන් නෝනා නැවත සිය දෙමවුපියන් හමුවට ගොස් තිබෙනවා.
පසුව ඇය මාතර දොන් ග්‍රේබ්‍රියල් හෙන්ද්‍රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහම්දිරම් හා දෙවන වරට ද විවාහ වුවාය. නමුත් විවාහයෙන් වසර අටකට පසු අවාසනාවන්ත ලෙස ඔහුත් මියගිය අතර එම විවාහයෙන් ඇය දොන් ගිරිගෝරිස්‌, දොන් දාවිත්, දොන් දියස්‌ නම් පුතුන් තිදෙනෙකු ලැබුවාය.

මේ කාලයේ ඉසබෙලා තම ජීවිකාව ලෙස, යමක් කමක් තිබූ නිවෙස් වල දරුවන්ට එම නිවෙස් වලට ගොස් අකුරු ඉගැන් වූ බවත් විශේෂ උත්සව අවස්ථා සඳහා කවි කීමට සහභාගි වූ බවත් ඉතිහාසයේ සඳහන්ව තිබෙනවා. පියාගේ සෙවණේ රැදෙමින් ඇය තම දරැවන් පෝෂණය කර ඇත්තේ එසේ උපයාගත් මුදලින්.

ජනප්‍රවාද වල සඳහන් වන පරිදි 1801 දී කසාගල විහාරයට ගොස් එන අතරමගදී ගජමන් ආරච්චි ට වල් අලියෙකු පහරදී ඔහු මිය යනවා. තම පියාගේ අභාවය ඉසබෙලාගේ ජීවිතේ දරුණුම ඛේදවාචකයක් වෙනවා. ඉන් අනතුරුව ඇය ආර්ථික අගහිඟකම් වලින් පිරි ඉතා දුක්ඛිත තත්ත්වයකට පත් වෙනවා. මේ කාලයේ දී ඇයගේ දුක නිවා ගැනීමට ඇයට තිබූ එකම මාර්ගය වී ඇත්තේ කවිය පමණයි. පහත කවිය ඇගේ දුෂ්කර කාලයේ කියු කවියක් ලෙස ජනප්‍රියව තිබෙනවා.

“සිතට කයට සැප දෙන මව්පියොත් නැත
නිවට කලට සලකන නෑ සියොත් නැත
ගැහැට ලෙඩට වෙද පිළියම් කිසිත් නැත
දුකට අපට පිහිට වන්න කාත් නැත”

වයසෙන් මුහුකුරා යත්ම ඉසබෙලා මවගෙන් ‘නෝනා’ කොටස සහ ‘පියාගෙන්’ ගජමන් කොටස ගෙන ‘ගජමන් නෝනා’ යනුවෙන් භාවිතා කර තිබෙනවා. ගජමන් නෝනා යන්න ඇගේ මව හැඳින්වීමට යොදා ගත් නමක් වන බවත් පසුකාලීනව ඉසබෙලා මෙම නාමය පාවිච්චි කළ බවත් ඉතිහාස පොත් වල සඳහන් වෙනවා.

ඇය විසින් ලියූ ප්‍රසිද්ධ පැදි පෙළ අතර පහත ඒවාද වේ. මෙම පැදි පෙළ වලට අමතරව ඇය සහ ඇලපාත මුදලි අතර ඇති වූ සංවාද කවි ද අදටත් ශ්‍රී ලාංකිකයන් අතර බොහොම ජනප්‍රියව පවතී.

  • දැඩිතර ශෝක මාලය
  • දෙණිපිටියේ නුග රුක වැනුම
  • පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය
  • සෙව් වික‍්‍රම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි
  • සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ
  • තිලකරත්න දිසානායක ළමාතැනී කළ පින්කම් වැණුම
  • තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය
  • මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම

ඇය අතිශය ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දී සිටි අවධියේ එවකට මාතර මහාධිකරණ භාර නිලධාරියාව සිටි “ජෝන් ඩොයිලි” වෙත තමන්ට උපකාර කරන ලෙස ඉල්ලීමක් කවි පෙළකින්ම යවා ඇත්තේ ඔහු ඇගේ කවි වලට තිබූ රැචිකත්වය ඇය දැන සිටි නිසා බව කියවෙනවා. ඊට පිළිතුරු වශයෙන් සහ ඇයගේ කවීත්වයට ගරු කිරීමක් වශයෙන් ඩොයිලි විසින් ඇයට “නෝනාගම” නමින් ගම්වරයක්ද ලබා දී තිබෙනවා. නෝනාගම හන්දියේ ඉදිකර ඇති ගජමන් නෝනාගේ පිළිරුව අදටත් අපිට දකින්නට පුළුවන්.

ඇගේ නිර්මාණ දෙස හැරී බැලීමේ දී “දෙනිපිටිය නුගරුක වැනුම” මහත් ප්‍රසිද්ධියක් උසුලනවා. පියාගේ මරණයෙන් පසු ඒ වේදනාවත් සමග ලියැවුණු “පියාගෙ මරණය පිළිබඳ ශෝකාලාපය”, “ඇලපාත මුදලි හා හුවමාරු වූ කවි”, “ජෝන් ඩොයිලි දිසාපතිට ආධාර පතා ලියූ කවි” විශේෂයි. “දැඩිතර සෝක මාලය” ඇය විසින් ලියා ඇති දීර්ඝතම කවි පොතයි.

මාතර යුගයේ ලේඛකයන් අතුරින් “ගජමන් නෝනා” කිවිඳිය ට සුවිශේෂ ස්ථානයක් හිමි වෙනවා. ඇයි සතු වූවා යැයි කියැවෙන මනස්කාන්ත රූපශ්‍රීයට සමානවම ඇය සතුව තිබී ඇති කවීත්වය හේතුවෙන් ඇය සුවිශේෂී කිවිඳියක ලෙස ඉතිහාසගතව තිබෙනවා.

සිය ජීවිතයේ අවසාන කාලය හුදෙකලාව ගත කළ ඇය 1814 දෙසැම්බර් මස 15 වැනි දින අභාවප්‍රාප්ත වූවාය.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x