ක්‍රීඩා පිටිය මැද දනින් වැටී පෙම්වතියට විවාහ යෝජනා කළ ක්‍රිකට් තරුව

සකී ගල්ගැසී බලා සිටියදී ඇය ඉදිරිපිට දණ නවා ඇගෙන් විවාහ වනවාදැයි ඇසූ අහස්ට දෙන්නට මුද්දක් තිබුණේ නැත.එහෙත් වසර ගණනාවක් පුරා වෙහෙසෙමින් උපයා ගත් සම්පතක් ඔහු අත විය.ඇගේ ආදරයෙන් ධෛර්යය ලබා ඔහු දිනා ගත් තරගාවලියේ වීරයා සම්මානය ඇය වෙත දිගු වී තිබිණ.

පරාජය අමතක කළ ප්‍රතිවාදී සගයන් පවා කෑගසා සුබ පතන හඬ ඇසේ.අහස්ගේ බලාපොරොත්තු සහගත දෑස් දැල් වේ.සකී ඇගේ කැමැත්ත පළ කරේ වචනයෙන් නොවේ.

අපේ වෙබ් අඩවියේ අතිශය ජනප්‍රිය වූ සුහදිනි නවකතාව අමතක කෙනෙක් නැතුව ඇති. සකී සහ අහස් නිර්මිත චරිත වුණත් එවැනිම සුන්දර ආදරයක් ගැන ක්‍රිකට් පිටියෙන් ඇසෙනවා. මේ අහස් අපේ රටේ කෙනෙක් නම් නෙවෙයි. ඔහු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. Deepak Chahar ක්‍රිකට් රසිකයන් කවුරුත් දන්නා නමක්. මේ ඔහුගේ අපූරු ආදර කතාව.

ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැසුණේ දීපක්ගේ සහෝදරිය වන මල්ටි චාහාර් හරහා. ටික කාලයකට පසු ඔවුන් ඉතා සමීප මිතුරන් බවට පත් වුණා. මේ දීපක් තමන්ගේ දක්ෂතා හොඳින් පෙන්වමින් සිටි කාලයක්.හමුවී මාස කිහිපයකට පසු ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගත්තා.

2021 IPL තරඟාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරඟාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් (CSK) සහ පන්ජාබ් කිංග්ස් අතර තරඟයකින් පසුව දීපක් ජයාට විවාහාරාධනාව කළා. එය බොහොම සුන්දර අවස්ථාවක්. එකල සමාජ මාධ්‍ය කළඹන්නට ඒ ඡායාරූප හේතු වුණා.

දීපක් ප්‍රේක්ෂකාගාරය මැදින් යමින් ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ දණින් වැටී සිය ආදරය ප්‍රකාශ කරන විට ඇය ද තරගය නැරඹීමට පැමිණ සිටියා. ඔහුගේ පෙම්වතිය සතුටු කඳුළු සලමින් සිටියේ මෙය සැබෑවටම Surprise Proposal එකක් වූ නිසා. ඇයට “ඔව්” කියන්නට ලොකු වෙලාවක් ගියේ නැහැ. පසුව දීපක් පැවසුවේ තම පෙම්වතියට මේ ආකාරයෙන් විවාහ යෝජනා කිරීමේ අදහස ලබා දුන්නේ CSK නායක මහේන්ද්‍ර සිං දෝනි බවයි.

“මම ජයාට විවාහ යෝජනාව කරන්න හිටියේ ෆයිනල් මැච් එකෙන් පස්සේ. ඒත් දෝනි යෝජනා කළේ කොලිෆයිඩ් රවුන්ඩ් එකටත් කලින් ඒක කරන්න කියලා. මං ඒක කළා.”

MS දෝණි එහෙම යෝජනා කර තිබුණේ දීපක්ට ඉදිරි තරග වෙනුවෙන් අවධානය ඉහළින්ම තබා ගැනීම වෙනුවෙන්.

ක්‍රිකට් පිටියේ දී විවාහ යෝජනා කිරීමෙන් පසු, දීපක් සහ ජයා 2022 ජුනි 2 වන දින විවාහ ගිවිස ගත්තා. දීපක් ඉන්ස්ටග්‍රෑම් හි ඔහු සහ ජයාගේ සුන්දර පින්තූර රාශියක් සමඟින් ඔවුන්ගේ විවාහය නිවේදනය කළා.ඒ ප්‍රේමණීය සටහනක් ද සමඟ.

 “අපි පළමු වරට මුණගැසුණු විට, ඔබ ඉපදී ඇත්තේ මා වෙනුවෙන් පමණක් බව මට වැටහුණා.දැන් අපි ජීවිත කාලයක් එක්ව බෙදා ගන්නට සූදානම්. මම පොරොන්දුවක් වෙන්න කැමතියි. ඔයාව සතුටින් තියන්න මට පුලුවන්. මේ මගේ ජීවිතේ ලස්සනම අවස්ථාව.”

ඒ ක්‍රිකට් පිටියේ සැබෑ අහස් කෙනෙකුගේ කතාව. ප්‍රේමයෙන් ජීවත් වෙන්නටත් ජය පරාජය දරා ගන්නටත් දීපක්ට ජයා තරම් ත්‍යාගයක් තව නැහැ. 

Related Articles

Don't Miss


Latest Articles