සුළි කුණාටුවක් අතර දරුවෙකු බිහි කල අම්මා

කුණාටුවක පවා මව්වත්කම නොසෙල්වී දැල්වෙනවා.තමන්ගේ නූපන් දරුවාගේ ජීවිතය වෙනුවෙන් පවා ඕනෑම අවස්ථාවක් දරාගැනීමේ හැකියාව මවකට තිබෙනවා.මේ ඉතා මෑතකදී අසන්නට ලැබෙන එවැනි කතාවක්.

මවක් වීම බොහෝ කාන්තාවන්ට සතුට ඇති කළත් යම් තරමක ත්‍රාසජනක අත්දැකීමක්. ඔවුන් තම ගර්භනී කාලය තුළ හැඟීම් සම්බන්ධ සුළි සුළඟක් හරහා ගමන් කරනවා.නමුත් සැබෑවටම සුළි කුණාටුවකට මුහුණ දීම වෙනස් ආකාරයේ අත්දැකීමක්.ඉයන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවේ විවිධ ප්‍රදේශවල විනාශයක් සිදු කරද්දී,  ගැබිනි කාන්තාවක් වේදනාකාරී ප්‍රසව වේදනා දැනීමෙන් පසු කුණාටුව හරහා ගමන් කරන්නට තීරණය කලේ ආරක්ෂිතව රෝහල වෙත ළඟා වීමේ අපේක්ෂාවෙන්.

හැනා-කේ විලියම්ස් ඇගේ ප්‍රසව වේදනා ආරම්භ වූ විගසම භයානක ආකාරයක අත්දැකීමකට මුහුණ දුන්නා. ව්‍යසනකාරී කුණාටුව මැද, ඇයට රෝහලට යාමට කාලය පැමිණ ඇති බව හැනා තේරුම් ගත්තා.විලියම්ස් මහත්මිය ඇගේ සැමියා සහ මව සමඟ ඔවුන්ගේ බ්‍රෙවාඩ් ප්‍රාන්තයේ නිවසේ සිටියදී හදිසියේම ප්‍රසව වේදනා ඇති වීමට පටන් ගත් අතර ඒ වන විට හැකි ඉක්මනින් රෝහලට යා යුතු බව ඇය දැන සිටියා.

තමන්ගේ තත්වය පිළිබඳව තම පවුලේ අයට දැනුම් දීමෙන් පසු, විලියම්ස් මහත්මිය ඇගේ මව සහ සැමියා සමඟ මෝටර් රථයට ගොඩ වුණා.ඉයන් සුළි කුණාටුව හරහා ගමන් කර හෝ ඇගේ දරුවා ආරක්ෂිතව ප්‍රසූත කිරීමට සූදානම් විය යුතුමයි.

“මම මගේම මානසික සුළි කුණාටුවක සිටි නිසා සැමියා කුණාටු හරහා රිය පැදවූ බවක් මට මතක නැහැ.”

ඇය ඒ ගැන කියන්නේ එවැනි කතාවක්.

අඳුරු වළාකුළුවලින් අහස වැසී ගොස් තිබුණා. අධික වේගයෙන් හමා එන සුළඟින් ගස් නැමෙමින් පැවතියා.එහෙත් විලියම්ස් මහතා බියට පත් වූයේ හෝ කලබල වූයේ නෑ.ඔහු පවුලේ අය රැගෙන හෙල්ත් ෆස්ට් හෝම්ස් ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රිය පැදවූවා. 2022 සැප්තැම්බර් 28 වන දින අලුයම 2 ට පමණ රෝහලට ළඟා වන්නට ඔවුන්ට හැකි වුණා.

සම්පූර්ණ ක්‍රියාවලිය පුරාම පවුලේ අයගේ නොසැලෙන ගුණය සහ අධිෂ්ඨානය ඔවුන්ට උපකාර වූ බව රෝහල් කාර්ය මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත්, විලියම්ස් මහත්මියට ප්‍රසව වේදනා දරා ගනිමින් ඇගේ දරුවා මෙලොවට පැමිණීම වෙනුවෙන් පැය විස්සක් බලා සිටීමට සිදු වුණා.විලියම්ස් මහත්මිය නිරීක්ෂණය කිරීමෙන් පසු, ඇගේ වෛද්‍ය ක්‍රිස්ටිනා ජැක්සන්,දරුවා අවදානමට පත් වීමට ඉඩ ඇති නිසා හදිසි සිසේරියන් සැත්කමක් සඳහා ඇයව රැගෙන යාමට තීරණය කළා

රාත්‍රී 10.11ට විලියම්ස් මහත්මිය රාත්තල් 7යි අවුන්ස 13ක් බරැති වජිහා නම් රූමත් ගැහැණු ළමයෙකු බිහි කළා. ඔවුන්ගේ කුඩා දේවදූතයා දැකීමෙන් දෙමාපියන් සතුටු වූයේ පුදුමාකාර ලෙසයි.ඒ සතුට ගැන විලියම්ස් මහත්මිය මෙසේ සිහිපත් කරනවා.

“ඇය මුලින්ම දකින විට ඔවුන් ඇයව මට ස්පර්ශ කරන විට මට එය දැනුණා, මම මුලින්ම කීවේ, ‘ඒ ලොකු බබෙක්’ කියලා.”

ඇගේ සතුට දෝරේ ගලා යනවා.

“දියණියගේ නමේ තේරුම රූමත්, තේජාන්විත කාන්තාවක් යන්නයි. සම්පූර්ණ දරු ප්‍රසූතිය පුරාම ඇය අතිවිශිෂ්ට වූ බව” විලියම්ස් මහත්මිය පවසනවා. ඉයන් සුළි කුණාටුව මධ්‍යයේ තම දරුවා ආරක්ෂිතව ප්‍රසූත කිරීමට හැකිවීම ගැන විලියම්ස් සතුටු වන්නේ කියා ගන්නට නොහැකි තරමට.

“මට උදව් වූ හැමෝටම රන් තරුවක් දෙනවා” ඇගේ හෙදියට සහ වෛද්‍යවරයාට ප්‍රශංසා කරමින් ඇය මෙසේ පැවසුවා.

ඔවුන් මට හැඟෙව්වේ අමාරුම මොහොතක් හරහා පවා සෑම දෙයක්ම හොඳින් සිදුවනු ඇති බවයි.”

විලියම්ගේ දරු ප්‍රසූතියේ අත්දැකීම සාමාන්‍ය දෙයක් වන්නේ නැහැ, නමුත් ඇය එය ඇගේ ජීවිත කාලය පුරාම මතක තබා ගන්නා බවටත් සැකයක් නෑ.සුළි කුණාටුව ෆ්ලොරිඩාවේ විවිධ ප්‍රදේශවල විශාල විනාශයක් සිදු කළේ ජල මට්ටම භයානක මට්ටමට ඉහළ යාමත් සමඟයි.රෝහලට එන්නට මඳ හෝ ප්‍රමාදයක් වූවානම් විලියම්ස් මහත්මියට විශාල කරදරයකට ලක් වීමට පවා සිදු වනවා.

ඉතා අසීරු මොහොතක පවා නිර්භීතව දරා ගැනීමත් කළ යුතු සුදුසුම දේ කිරීමත් අපව විශාල අනතුරුවලින් වළක්වනවා. කුණාටුව ඇති වෙමින් පවතින මොහොතේම ක්‍රියාත්මක වූ නිසා දැන් ඔවුන් කුඩා බිළිඳියකගේ දෙමාපියන්.

නිර්භීත වීම සෑම දෙයකටම ඉහළින් පවතින බව සැබෑ සත්‍යයක්.

Related Articles

Don't Miss


Latest Articles