බොරු වියදම්.

සකී කෙටි තාප්පයෙන් එහා පැත්ත බලාගෙන හිටියේ හරිම ආසාවෙන්.වරුණි ආන්ටිලාගෙ මිදුලේ ලොකු කලබලයක්.පාට පාට බැලුන්, පාට පාට මල්,එල්සාගේ රූප ගොඩාක් අරන් මාමාලා ටිකක් ලොකු වැඩක.නෙතුලි ඒ දිහා හරිම ආසාවකින් බලා ඉන්න හැටි සකී බලාගෙන හිටියා.

“අද මගේ බර්ත්ඩේ එක..ඔයා කේක් කපන්න එනවද?”

නෙතුලි අහන්නේ තාප්පය ගාවට දුවගෙන ඇවිල්ලා.සකී නෙතුලි එක්ක හිනා වුණා.

“මට අම්මි එල්සාට වගේ ගවුමකුත් ගෙනාවා.”

නෙතුලි කියන්නේ හරිම ආසාවෙන්.සකි එයාගේ උපන් දිනය සිහි කළා.අවුරුදු හයට ම සකී කවදාවත්ම උපන්දින කේක් එකක් කපල නෑ.එයාට කවදාවත් පාටි එකක් තිබිලත් නෑ.

“අද ඔයාගේ උපන්දිනේ ඔන්න අම්මා කිරි බත් හැදුවා..”

අම්මා එහෙම කියනකොට සකිට අලුත් සතුටක් ඇතිවුණේ නැහැ.කිරිබත් කොහොමටත් සතියේ එක දවසකට අම්මා හදනවා.ඉස්කෝලෙට කිරිබත් ගෙනියන දවසක් කොහොමටත් තියෙනවා.ඉස්කෝලේ නොගිය දවස් වලත් සති අන්තයේ එක දවසකට මුං කිරිබත්, කිරිබත්, ඉඹුල් කිරිබත් වගේ නානප්‍රකාර ජාති අම්මා හදලා දෙන නිසා සකීට කිරිබත් කියන්නේ අලුත් කෑමක් නෙවෙයි.

“අපි පන්සල් යමු..”

බෝනික්කෙක්,ටෙඩි බෙයා කෙනෙක්,ලස්සන පොත් මොන මොනවා හරි සකී ආස තෑගි එයාට අරන් දුන්නට පස්සේ අම්මලා හැමදාම කරේ පන්සල් ගිය එක.උපන්දිනයට සාදයක් තියන්න පුලුවන් කියලා සකී දැනගෙන දැන් ටික දවසක්.නෙතුලිගේ ගිය අවුරුද්දේ පාටි එකත් එයාට මතකයි.එදා නෙතුලි ඇන්දේ මොආනා වගේ.සකීටත් එහෙම ඇඳුමක් අඳින්න ආස හිතුණා.ඒත් කොහෙන්ද පාටි එකක්.ඒ වගේ ලස්සන කේක් එකක් ඕන වුණත් අම්මා කියන්නේ ඒවා බොරු වියදම් කියලා.

සකී ඇස් රිදෙනකම් නෙතුලිලගෙ මිදුල දිහා බලාගෙන ඉඳලා ගෙට දුවගෙන ගියා.මේ පාරවත් බර්ත්ඩේ පාටි එකක් අම්මගෙන් ඉල්ලලා බලන්න ඕන.

happy family

“බොරු වැඩ පුතේ.ඕවට මිනිස්සු පුරුදු වෙන්න හොඳ නෑ..” මම ආයිමත් එහෙම කියාවිද?

සකී ගෙට දුවගෙන ගියේ අම්මා හොයාගෙන.මෙන්න අමුත්තෙක් ඇවිල්ලා.

“සුදු පුංචී..”

පුංචි හිනා වෙලා සකීව බදා ගත්තා.මොනතරම් ආසාවකින් නෙතුලි දිහා බලන් හිටියද කිව්වොත් සකීට පුංචි එන සද්දෙවත් ඇහුණේ නෑ.

“මගේ පුතා නෙතුලි එක්ක සෙල්ලම් කරා ද?”

පුංචි අහන්නේ ආදරෙන්.සකි ඔලුව වනලා පුංචිගෙ උකුලට පැන ගත්තා. ඊට පස්සේ නෙතුලිගේ උපන්දින සාදය ගැන පුංචිත් එක්ක කියවගෙන ගියේ දිය ඇල්ලක් ගලන තරම් වේගෙට.

“ඔය මිනිස්සු හැමදාම අර දරුව පිටින් දාලා උපන්දිනයට මහා නැටුමක් නටනවා.. මට තේරෙන්නෙ නෑ වරුණිට මොන පිස්සුවක් හැදිලද කියලා.”

සකීගේ අම්මා එහෙම කියන්නේ තේ හදන ගමන්.සකී දුවලා ගිහින් කෑම මේසය උඩට නැග්ගා.අර පේන්නේ නෙතුලිලගෙ මිදුල.කොළ පාට,නිල්පාට එක එක පාට බැලුන් එල්ලල මිදුල හරිම ලස්සනයි.

“එයා අඳින්නේ එල්සා වගේලු..”

සකී පුංචිට කීවේ ආසාවෙන්.පුංචි අලුත් රස්සාව ගැන අම්මා එක්ක කියන්න ගත්තේ සකී ආයේම නෙතුලිලා දිහා බලන් ඉද්දී.

“පුංචිට ඒ රස්සාවෙන් සල්ලි ගොඩක් හම්බ වෙනවද?”

සකී ඇහුවේ පුංචිගේ ගවුමේ තිබුණු රෝස මල් ගනින ගමන්.වැඩිය ගනින්න බෑ.ඒ ගවුමේ ඒ තරමටම මල් තියෙනවා.පුංචි වගේ හොඳට ඉගෙනගෙන කැම්පස් යන්න ඕනි කියලා අම්මා කිව්වට සකීට තාම දහයෙන් එහාට වැරදෙන්නේ නැතුව ගනින්න බෑ.

“මගේ පුතාට මොනවාහරි ඕන වෙලා නේද?”

පුංචි අහන්නේ හයියෙන්ම හිනාවෙන ගමන්.සකී කට උල් කරලා සල්ලි ගැන ඇහුවේ අයිස් ක්‍රීම් එකක්වත් කන්න හිතිලා කියලා එයාගේ පුංචි වුණු රෂිනිට හිතුණා.සකී ඔලුව වනලා පුංචි දිහා බලාගෙන හිටියා.

“මගේ බර්ත්ඩේ එකට ඒ සල්ලි නාස්ති කරන්න පුලුවන්ද?”

සකී අහන්නේ බැගෑපත් හඬකින්.රෂිනිට සකී කියන දේ නොතේරුණු නිසාම ඇය සකීව වඩා ගත්තේ කතාව තව ටිකක් තේරුම් ගන්න.

“මටත් නෙතුලිට වගේ කේක් එකකුයි එල්සා ගවුමකුයි බැලුනුයි පාටියකුයි ඕන.පුංචිගෙ සල්ලි ඒකට නාස්ති කරන්න පුලුවන්ද?”

රෂිනි අක්කා දිහා තද බැල්මක් බලන ගමන් සකීව වඩාගෙන සාලයට ගියේ ඒ ඉල්ලීම ඉටු කරන්න පොරොන්දු දෙන ගමන්.ඊටත් පස්සේ එයා අරන් ආව චිත්‍ර පොත් සහ පාට සකීට දීලා චිත්‍ර අඳින්න ඉඩ දීලා ආයෙම අක්කා ගාවට ආවා.සකීගේ අම්මා රසිකා හිටියේ කල්පනාවක.

“මං හිතුව ඕක වෙයි කියල..”

රසිකා කියන්නේ තරහ හඬකින්.රෂිනි අක්කා දිහා බැලුවෙත් කේන්තියෙන්.

“ඔහොම විකාර නටනකොට අපේ ළමයටත් ඕව ඕන වෙයි කියල මම හිතුවා..”

Beautiful young woman and her charming little daughter are hugging and smiling

රෂිනි කවුලුවෙන් එහා මඳ වෙලාවක් බලන් හිටියා.නෙතුලි එහා මෙහා දුවන්නේ පුදුමාකාර සතුටකින්.

“අක්කේ,ඔයාලාගේ විදියට දරුවන්ට හිතන්න බැහැ.පුංචි හිත්වලට ආසාවල් තියනව.මහා ලොකු පාටි නෙවෙයි.දූ ආස තීම් එකකට කේක් එකක් හදලා සැරසිලි කරලා එයා ආස ගවුමක් අරන් දීලා අපි හතරපස් දෙනාට පාටියක් දාන්න පුලුවන්.බැරි නෑනෙ.අනික ඔයාලා සල්ලි අඩුපාඩුකම් තියන මිනිස්සුද?”

රෂිනි අහන්නෙ තරහින්.සකීගේ ඇස්වල දිලිසෙන ආසාව දැක්කම මේ කතාව කියන්න අවුරුදු හයක්ම නාස්ති කරන්න වුණාට රෂිනිට දුකයි.

“මිනිමලිසම් ගැන සල්ලි ඉතුරු කරන එක ගැන උගන්නන තරමට සකී ලොකු වෙයි අක්කෙ.එයා තාම චූටි බබෙක්.එයාගේ ආසාවල් ඉෂ්ට කරන්න.අහිංසක ආසාවල් ඉෂ්ට නොවී හැදුණම ලොකු වෙලාත් ළමයි ඇරියස් පිට කරනව.මං ආස නෑ අපේ සකීට එහෙම වෙනවට..”

රෂිනි එහෙම කියලා සාලෙට යන්න ගියා.සුරංගනා ගවුමක් ඇඳගෙන රෝසපාට කේක් එකක් කපන පුංචි බබෙක්ව අඳින සකීව දැකලා රෂිනිගේ ඇස්වලට කඳුළු පිරුණා.

“ඊළඟ පාර අපි පුතාගෙත් බර්ත්ඩේ පාටි එක ගමු..”

සකී පුංචිගෙ බෙල්ල තද කරලා බදාගත්තේ සන්තෝසයෙන්.

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content