මතක දිගහැරුම 14 – අප්සාරි සිංහබාහු තිලකරත්න

දාහතරවන දිගහැරුම ,

ගුවන් සේවිකාවක වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා මම සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුණෙමි . එහිදී අප ඇවිදින විලාසය පවා නිරීක්ෂණයට ලක් කෙරෙන අතර ඔවුන් අසන සියලු ප්‍රශ්න වලට උත්තර දුන් මට ජපානයේ සිරිත් පරිදි හිස නමමින් උත්තර දීමද නිරායාසයෙන්ම සිදුවිය. මාගේ අයදුම්පතෙහි මා ජපානයේ කලක් අධ්‍යාපනය ලැබූ බව සඳහන් වී තිබුණු නිසා එහි සිටි ඩිලා හෙට්ටිආරච්චි මහත්මිය සිනාමුසු මුහුණින් යුතුව ” මෙයා තවම ජපානේ කෙනෙක් වගේ ඔලුව වනනවා ” යැයි ඉංග්‍රීසි බසින් කීය .
කෙසේ හෝ තවත් සම්මුඛ පරීක්ෂණ දෙකකින් පසුව ඒවායින් මා සමත් වී ඇති බවත් ඔවුන් මා තෝරාගත් බවටත් ලිපියක් මට ලැබුණි .එතැන් පටන් මගේ ජීවිතයේ ආරම්භ වූයේ සුන්දර අත්දැකීම් රාශියක් මට හිමිකර දුන් අලුත්ම පරිච්ඡේදයක් ය.

ගුවන් සේවිකාවක වීම සඳහා තෝරා ගත් සියලු දෙනා සඳහාම මුලින්ම මාස කීපයක පුහුණුවීම් කාලයක් පැවැත්විණි . එය කටුනායක දී පැවැත්වුණු අතර සති කිහිපයකට උඩදී මා රැකියාව කළ හෝටලයේ ලොබියේ දී, ප්‍රවාහන සේවය එනතුරු බලා සිටි ගුවන් සේවිකාවන් දෙස ආසාවෙන් බලාහුන් මටද එම ස්ථානයේ සිටම ප්‍රවාහන සේවය එනතුරු බලා සිටින්නට සිදුවිය. මා බොහෝම සතුටින් උදෑසනම හෝටලයට යන අතර air lanka ආයතනයේ බස් රථය එනතුරු අනෙක් මිතුරියන් සමග බලා සිටිමි . ඒ අතරතුර හෝටලයේ සිටි මගේ මිතුරන්ද මට මුණ ගැසීම සතුටට කරුණක් විය . කටුනායක training center එක වෙත යන අප නැවත පැමිණෙන්නෙ හවස හතර හමාරට පමණය.

අප කණ්ඩායමේ ගැහැණු ළමයින් තිහක් පමණ සිටි අතර අප සියලු දෙනාම ඔසරි හෝ සාරි වලින් සැරසී පැමිණිය යුතු විය. මගේ අම්මා මට ඉතා අලංකාර ඔසරි නිර්මාණය කර දුන් නිසා ඒවායින් සැරසී මා පුහුණුවීම් සඳහා පැමිණියේ ඉතාම ආසාවෙන් ය .

වර්තමානයේ දී පවා බොහෝ දෙනා සිතන්නේ ගුවන් සේවිකාවක වීම යනු ලේසි පහසු කාර්යයක් බවත් එය ඉතා පහසු රැකියාවක් බවත්ය.ගුවන් සේවිකාවන් කොළ පැහැති ලස්සන සාරියකින් සැරසී, Makeup ආලේප කරගෙන ඉතා සුන්දරව සිනාමුසු මුහුණෙන් සිටින නමුත් එම රැකියාවෙහි ඇති වගකීම් සහගත බව සහ බැරෑරුම්කම මට වැටහුනේ පුහුණුවීම් ආරම්භ වූ දින සිටම ය.

ඇත්ත වශයෙන්ම ගුවන් සේවිකාවක් සිටින්නේ මගීන් සමග හා සිනාමුසු මුහුණින් කතා කිරීමටවත් හෝ ඔවුන්ට ආහාර පිළිගැන්වීමට වත් පමණක් නොවේ . ඒවා ගුවන් සේවිකාවකගේ රැකියාවේ එක කොටසක් පමණක් වන අතර ඊට එහා ගිය විශාල වගකීම් රැසක් ගුවන් සේවිකාවකගේ සුරතේ පවතී .

අපට පුහුණුවීම් ලබාදීම සඳහා උපදේශකවරුන් වෙන වෙනම සිටි අතර කෑම සහ බීම පිළිබඳව අවශ්‍ය සියලු දේ අපට ඉගැන්වූයේ පෙතියාගොඩ මහතා විසින්‍ ය.එහිදී ඔහු විසින් අපට ගුවන් මඟීන් සඳහා ලබාදෙන සියලුම ආහාර වේල් පිළිබදව අවබෝධය ලබා දෙයි. Business class, economy class සහ first class වල ගුවන් මගීන් සඳහා පිළිගැන්වෙන්නේ වෙන වෙනම ආහාර වේල් ය. ඒ සියලුම ආහාර වේල් පිළිබඳව ගුවන් සේවිකාවක් අවබෝධය ලබා සිටිය යුතු වේ.

යම් ගුවන් මගියෙකු වෙත අප වයින් එකක් හෝ වෙනත් Alcohol වර්ගයක් පිළිගන්වන්නේ නම් , එහි නම නිවැරදිව උච්චාරණය කරන ආකාරය , එම වයින් එක හෝ ඇල්කොහොල් වර්ගය නිශ්පාදනය කෙරෙන රට , එහි රසය , එහි පවතින ඇල්කොහොල් ප්‍රමාණය , එය පිලිගන්වන ආකාරය , එය පිළිගැන්විය යුත්තේ මොන හැඩයේ වීදුරුවක ද , වයින් බෝතලය හෝ ඇල්කොහොල් බෝතලය අල්ලන ආකාරය ආදී සියලුම දේවල් කිසිදු වරදක් නොවන ලෙස අප දැන සිටීම අනිවාර්‍ය වේ .

ඒ වගේම ගුවන් මගින් වෙත පිළිගන්වන ආහාර පිළිබඳව ද මනා අවබෝධයක් අප සතු විය යුතුය . සියලුම කෑම බීම වල නම් නිවැරදිව උච්චාරණය කරන ආකාරය පිළිබඳ අපට ඉගැන්වීම සඳහා එකල සිටි ප්‍රසිද්ධ සහ ප්‍රවීණ නිවේදිකාවක් වෙනම ම අප හට පන්ති පැවැත්වීය.
ආහාර පිළිගැන්වීමේ දී එම ආහාරය කුමන රටට අයත් එකක්ද , එය පිළිගන්වන විට කොපමණ උෂ්ණත්වයක් සහිත විය යුතුද යනුවෙනුත් අප දැන සිටිය යුතුය .

ඉතා මිල අධික , කුඩා ටින් එකක පිලිගැන්වෙන ” කැවියා ” නම් වූ ආහාරය පළමු පන්තියේ ගුවන් මගින් වෙත නිතර පිළිගැන්වෙන ආහාරයකි. මාළු බිත්තර වලින් සකස් කෙරෙන එහි බිත්තර ලබාගන්නේ කුමන මාළුවා ගෙන් ද , එම මාළුවා ජීවත් වන්නේ කුමන මුහුදේ ද ,එය සකස් කරන්නේ කෙසේද , එය ආහාරයට ගත යුතු වන්නේ කුමන චීස් වර්ගය සමග ද ආදී දේවල් පිළිබඳ අවබෝධය අප සතු විය යුතුය .

ලෝකයේ චීස් වර්ග ඉතා විශාල සංඛ්‍යාවක් පවතින අතර එම චීස් වර්ග වල නම්, ඒවා නිපදවන්නේ කෙසේද සහ ඒවා නිෂ්පාදනය කෙරෙන රටවල් මොනවාද යන තොරතුරු අප දැන සිටිය යුතුය. ලෝකයේ සුපිරිම හෝටලයක සූපවේදියකු මෙන් , එසේත් නොමැති නම් ලෝකයේ සුපිරිම හෝටලයක රැකියාව කරන සේවකයකු මෙන් සියලුම ආහාර වර්ග වල නම් ,ඒවා සකස් කෙරෙන ආකාරය , සකස් කරන්නේ මොන අමුද්‍රව්‍ය වලින් ද ආදී සියලුම දැනුම ගුවන් සේවිකාවකට තිබිය යුතුය .

ඊළඟට අපට උගන්වන්නේ ගුවන් මගියෙකු වෙත අපගේ සේවාව ලබා දෙන ආකාරය පිළිබඳවයි .ට්‍රොලියක තබාගෙන යන ආහාර වර්ග වලින් මුලින්ම පිළිගන්වන්නේ කුමන ආහාර වර්ගය ද , කුමන සුප් වර්ගය ද යන්නත් , සාමාන්‍යයෙන් ආහාර ලබා දෙන පිළිවෙලක් ඇති බැවින් එම පිළිවෙල නිසි ආකාරයෙන් ද , වයින් වර්ගය හෝ ඇල්කොහොල් වර්ගය වීදුරුවට වත්කරන ආකාරය , එක් එක් වර්ගයේ කොක්ටේල් වර්ග සකස් කරන ආකාරය , ප්‍රමිතිගත රසයකින් යුතු තේ සහ කෝපි සකස් කරන ආකාරය පිළිබඳව හොඳ දැනුමක් උපදේශක වරයා විසින් අපට ලබා දෙයි .

පුහුණුවීම් කාලය තුළ මේ මුලික අදියර වලින් ගුවන් සේවිකාවක වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව මට පසක් විය. නමුත් ජීවිතයේ හැම මොහොතකම අපට ඉගෙන ගන්නට බොහෝ දේවල් ඇති නිසා වෙහෙස මහන්සිය පසෙකලා මා ගුවන් සේවිකාවක වීමේ සිහිනයේ තවදුරටත් සැරිසරමින් සිටියෙමි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles