එයා කැමති නෑ!

“මේ බලන්නකො..මේ ගවුම මාර ලස්සනයිනෙ.ගමුද?”

හිමාලි ඇහුවේ රුවීගෙන්.රුවී ඒ ෆොටෝ එක දිහා ටික වෙලාවක් බලන් ඉඳලා ආපහු ෆෝන් එක තල්ලු කරා.

“කර කැපිලා වැඩී..අයියගෙන් බැනුම් අහන්න වෙයි..”

හිමාලි මුහුණ පුදුමයෙන් බර කරගත්තා.

“ඔයාලගෙ අයියා? ගවුමක කර කැපුණට බනිනවා? එහෙනම් ශරින්දි අක්කා අඳින්නෙ කොට ගවුම් පවා..”

හිමාලි ඇහුවේ පුදුමයෙන්.ඇය දන්න විදිහට රුවීගෙ අයියා පසුගාමී අදහස් තියෙන කෙනෙක් නෙමෙයි.

“අපේ අයියා නෙමෙයි අනේ.අනුරාධ අයියා..”

රුවී එහෙම කිව්වේ ඇගේ පෙම්වතා ගැන.හිමාලි පුදුමයෙන් වගේ රුවිනි දිහා බලාගෙන හිටියා.

“ඇයි අනේ අඳින ඇඳුමට තහංචි දාන්නේ මොකටද?”

හිමාලි එහෙම කිව්වේ ඇගේ පෙම්වතාව සිහි කරන ගමන්.ඔහු ඇයට ලස්සන ඇඳුම් තෝර ගන්න උදව් වෙනවා මිසක් කවදාවත් නීති දාන්නේ නැහැ.

“මේ ඇඳුම කොට වැඩිද?”

හිමාලි එහෙම අහන වෙලාවටත් ඇගේ පෙම්වතා වුණු විසල් හිනා වෙනවා.

“ඔයා අවුරුදු විස්සක කෙල්ලක් නේද හිමා..කොට ඇඳුම් මේ කාලේ අඳින්නෙ නැතුව ඔයා කවද අඳින්නද?”

සමහර පාට,විලාසිතා හිමාලිගේ ලස්සන ඉස්මතු කරන්නේ නෑ කියලා මතක් කළොත් මිසක් කවදාවත් විසල් හිමාලිට නීති දාන්නේ නැහැ.ඔහු උදව් කරන්නේ ලස්සනම දේ තෝරාගන්න විතරයි.

“කර කැපුනු ඇඳුමක්,කොට ඇඳුමක්,අත් නැති ඇඳුමක් අඳිනවා කියන්නේ එයාව යකා කරගන්න වැඩක්..”

රුවී මුමුණන්න ගත්තා.

“රුවී, කෞෂිගේ බර්ත්ඩේ එකට ගන්න ගිෆ්ට් එක මොකක්ද?”

හිමාලි තවත් දවසක් ඇහුවා.රුවී කල්පනාබරව මොහොතක් ගෙව්වා.

“අයියා කැමති නෑනෙ පාටි වලට යනවට..මං හිතුවෙ කෞෂිට තෑග්ගක් යවලා නිකං ඉන්න..”

හිමාලි ඉනට අත තියාගෙන මිතුරිය දිහා බලාගෙන හිටියා.

“මොන විකාරයක්ද මේ..කෞෂි ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම අපේ යාළුවා.මේ ඊයේ පෙරේදා ඔයාට මීට් වුණු අනුරාධ ඇයි ඒ යාලුකම් තහනම් කරන්නෙ..”

හිමාලි ඇහුවේ ඇත්තටම තරහකින්.රුවී හිනා වුණා.ඊටත් පස්සේ මිතුරිය දිහා බැලුවේ අපහාසාත්මක බැල්මකින්.

“විසල්ට ඔයා කරන දේවල් ඔක්කොම හරි වෙන්න පුළුවන්.ඒත් අනුරාධ මට හොඳ නරක කියා දෙනවා.මං කරන්න ඕනේ මොනවද නැත්තෙ මොනවද කියලා එයා දන්නවා..”

ඒ ගමන හිනා ගියේ හිමාලිට.

“ඔයාට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නව නේද? ඔයාගේ අයියා කවදාවත් ඔයාට ඔය වගේ බොරු නීති දාල තියෙනවද?”

රුවී අහක බලාගෙන මඳ වෙලාවක් හිටියා.

“අපේ අයියා බොරුවට සංකර වෙලා තියෙන්නේ ශරින්දි අක්කා හින්දා කියලා අනුරාධ අයිය නම් කියන්නෙ..බලන්නකො ශරින්දි අක්කා අඳින පළඳින කැත.අපේ අයියාට එයා නඩත්තු කරන්නම මුළු සැලරියම යනවා ඇති..”

හිමාලි මිතුරිය දිහා බලාගෙන හිටියේ දුකින්.ලස්සන ඇඳුම් වලට ආසා කරපු,ශරින්දි අක්කා වගේ ලස්සනට ඉන්න හීන දැක්ක රුවී එකපාරටම වෙනස් වුණා.දිග ගවුම්,ගොතපු කොණ්ඩය රුවී ඕනෑවට වඩා වයසට යවලා කියලයි හිමාලි හිතුවේ.

“මං මේ අවුරුද්දෙන් පස්සේ මේ කෝස් එක නවත්තනවා..”

එක දවසක් දේශන නිමා වෙලා නිවසට යන්න සූදානම් වෙන අතරේ රුවී හිමාලිට කිව්වා.මේ අවුරුදු හතරක පාඨමාලාවක්.පෞද්ගලික විශ්ව විද්‍යාලයක පිළිගත් පාඨමාලාවක්.අවුරුද්දකින් නැවතෙනවට වඩා අවුරුදු හතරම මහන්සි වුණොත් පැහැබර අනාගතයක් ලැබෙන පාඨමාලාවක්.

“අපරාදයක්නෙ.ඔයාට අමාරු තැන් මම කියා දෙන්නං…”

හිමාලි එහෙම කිව්වා.ඒත් රුවී තමන්ට වඩා දක්ෂ බවත් ඇයට අමාරු පාඩම් ඇත්තෙම නැති බවත් හිමාලි ඊටත් පස්සේ හිතුවා.

“ඇත්තටම මට එහෙම අමාරුයි කියන්න ලෙසන් එකක් නෑ.ඒත් අර තර්ඩ් ඉයර් එකේ කොල්ලෙක් මගෙ පස්සෙන් එනවනෙ..”

ඒ තරුණයා කැත විදියට පස්සෙන් නොඑන බව හිමාලි හිතුවා.ඔහු බොහොම ආචාරශීලී විදියට වතාවක් දෙකක් රුවිනිගෙන් කැමැත්ත අහපු කෙනෙක්.

“මං ඒ කොල්ල ගැන අනුරාධ අයියට කිව්ව.අයියාට මාත් එක්ක තරහ ගිහින්. බොහොම අමාරුවෙන් මේ ඉතුරු මාස තුනටත් අවසර ඉල්ලා ගත්තේ..”

හිමාලි මිතුරියගේ අත අල්ලා ගත්තේ බොහොම තදින්.අද නම් තරහ වුණත් කමක් නෑ.එයා අන්තිම තීරණයට ආවා.

“රුවී,මේ කෝස් ෆී එක සුළුපටු ගාණක් නෙවෙයිනෙ.ඒකට අනුරාධ කීයක් දුන්නද?”

රුවී බිම බලාගෙන වචනයක්වත් නොකියා අහගෙන හිටියා.

“එයා වියදම් නොමරපු දෙයක් ගැන එයා ඔච්චර නීති දාන්නෙ මොකටද?”

හිමාලිට ඇත්තටම තරහයි.තමන්ගේ මිතුරිය මේ තරම් අනුවණ විදියට වැඩ කරයි කියලා එයා කවදාවත් හිතුවේ නැහැ.ඉතුරු මාස තුනත් එනවා කියපු රුවී හදිසියේම අතුරුදන් වුණා.හිමාලි එයා ගැන හොයන්න උත්සාහ කළත් කිසිම ආරංචියක් ලැබුණේ නැහැ.ශරින්දිගෙන් ඇමතුමක් ආවේ ඒ අතරේ.

“රුවීට සනීප නෑ.අපේ ගෙදර එනවද නංගි..”

හිමාලි මිතුරියව බලන්න ඉක්මනින්ම ගියා.රුවී හිටියේ ඇදිලා ගිහින්.එයාගේ දිග කොණ්ඩේ බෙල්ල ගාවට කපලා දාලා.ඒ ඇස්වල තිබුණේ හිස් හැඟීමක්.

“අර මනුස්සයා මේ ළමයට වද දෙනවා.කොල්ලො පස්සෙන් එන්නේ කොන්ඩෙ නිසානෙ කියලා මේ ලගදි කතුරක් අරගෙන කොන්ඩෙ කපලා දාලා.ඊට පස්සේ අපිටත් ෆෝන් කරලා හරි නරක කතා කියනවා.නංගිට පාරට බහින්න බැරිවෙන්න නින්දා කරනවා කියලා බය කරලා.නංගි ඉන්නේ ස්ට්‍රෙස් වෙලා.අපි එයාට ඩිප්‍රෙෂන් වලට බෙහෙත් කරන්න ගත්තා නංගි..”

ශරින්දිගේ කම්මුල දිගේ ගලාගෙන ගියේ නෑනා වෙනුවෙන් උපන් කදුළු.

“ඔයා චුට්ටක් රිලැක්ස් වෙන්නකො. ඊට පස්සෙ අපි රොමේන් අක්කිගෙ සැලෝන් එකට ගිහින් කොන්ඩෙ ලස්සනට හදලා කලර් කරමු..බැච් එකේ හැමෝම පුදුම වෙයි..නේද අක්කි…”

හිමාලි මිතුරිය ගාවට ගියේ අලුත් බලාපොරොත්තුවක් අරගෙන.

විෂ පිරුණු පෙම්වතෙක් ඇති කරපු තුවාල කොණ්ඩේ කලර් කරාට සුව කරන්න අමාරු බව හිමාලි දන්නවා.ඒත් හැම පුංචි කාරණාවකින්ම මිතුරියට හිනා හොයන්න එයා හිතා ගත්තා.ආදරය කියන්නේ ඖෂධයකට.වස බඳුනකට නෙවෙයි.ටික ටික සනීප වෙනකොට රුවීට ඒ පාඩම හෙමින් සැරේ උගන්වන්න හිමාලි හිතා ගත්තා.

More Stories

Don't Miss


Latest Articles