සතුටු මන්තර.

“මේ නිල් ගවුම ඉල්ලලා ඕඩර්ස් දෙකක් ඇවිල්ලා.අපරාදේ අපිට ඒක මහන්න බැරි වුණේ”

යසාරා කියන්නේ වේදනාවෙන්.ඇණවුම් විස්සකටත් වඩා සූදානම් කරමින් හිටිය රුවිනි යසාරා දිහා බැලුවේ පුදුමයෙන්.යසාරා කවදාත්ම සතුට ගැන කියන්නේ නෑ.හැබැයි කොරහ ඇතුළෙත් එකම එක කිඹුලෙක් හරි හොයා ගන්න හරිම හපනියක්.

“නිල් පාට ෂෝට් ඩ්‍රෙස් එක කරන මෙටීරියල් එකට ගර්ල්ස්ලා එච්චර කැමති නෑ මිස් යසාරා.ඒ නිසා තමයි මම අර ලිනන් ෆ්‍රොක්ස් ටිකයි කොට්න් මැක්සි ඩ්‍රෙස් ටිකයි වැඩියෙන් මහන්න කියලා කිව්වේ.පහුගිය දවස්වල ඕඩර්ස් ආවේම ඒවට..”

රුවිනි තමන්ට තේරෙන දේ සහ ඇත්ත තත්ත්වය යසාරාට වටහා දෙන්න උත්සාහ කළා.ඒත් හොඳ ලාබයක් සහිත අනිත් හැම ඇණවුමම ගැන අමතක කරපු යසාරා ඉස්ටෝරු කාමරයෙන් එළියට ආවේ රුවිනි එක්ක කේන්තියෙන්.

“නිල් පාට ගවුම මහන්නේ ජානකී නේද? එයාට කෝල් කරලා කියන්න මට අද හවසම ගවුම් දෙකක් එවන්න කියලා.”

දැන් වෙලාව උදේ නවයයි.හවස් වෙනකොට ගවුම් දෙකක් මහන්න ජානකීට පුලුවන් වෙයිද කියලා රුවිනි හිතුවේ කැලඹීමෙන්.

“එයා අද අර ස්මෝක් කරපු ගවුම් මහනවා කිව්වා මිස් යසාරා.ඒ වැඩේ පරක්කු වුණොත් මං අද බාර ගත්තු ඕඩර්ස් කල් යයි..”

රුවිනි කියන්නේ කලබලයෙන්.අලුත්ම විලාසිතාවක් සහිත ඒ ගවුම මේ දවස්වල තරුණියන් අතර හරිම ප්‍රචලිතයි.ඒ එක ඇණවුමක්වත් මඟ හැරීම සුදුසු නෑ කියලයි රුවිනිට හිතෙන්නේ.

“ආන්‍යා මේ දවස්වල සින්ඩරෙල්ලා ෆ්‍රොක්ස් එකේ මොඩ්ලර් වෙලා.එයාගෙ ඉන්ස්ටග්‍රෑම් කැම්පේන් එක එහෙම ගොඩක් සාර්ථකයි මිස් යසාරා.අපි ඕඩරේක දෙකක එල්ලිලා හිටියම කරදරයි..”

ඒත් යසාරා ඒ කතා අහන්න කැමති වුණේ නෑ.රුවිනි හැම දෙයක්ම හොයලා බලලා කරත් අතපසු වුණු දේ ගැනම කියමින් ඉඳලා යසාරා යන්න ගියා.රුවිනිට කලකිරීමක් දැනෙන්න පටන් ගත්තා.

යසාරා,තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් අරන් දැන් අවුරුද්දකට වඩා ගෙවිලා ගිහින්.මුලින්ම කුඩා ඇණවුම් විදියට ලබා ගත්තු කාන්තා ඇඳුම් වේගයෙන් අලෙවි වෙන්න පටන් ගත්තා.ඊටපස්සේ යසාරා කළේ මැහුම් ශිල්පිනියන් කිහිප දෙනෙක් එක්ක ව්‍යාපාරය පුළුල් කරන එක.සමාජ ජාලා වල බොහොම ජනප්‍රිය වෙන්න ගත්ත යසාරාගේ ඇඳුම් ව්‍යාපාරයේ කළමනාකරණය රුවිනිට පැවරිලා දැන් මාස කිහිපයක්.

රුවිනි නිතරම සතුටින් රාජකාරි කරන්න කැමති ගැහැනු ළමයෙක්.දවසින් දවස අලුත් විලාසිතා හොයන්න,සමාජ ජාලා තුළින් ව්‍යාපාර කරන අනිත් ඇඟළුම් ව්‍යාපාර සමඟ තරග කළ හැකි තැන් හොයන්න රුවිනිට තිබුණේ තදබල උනන්දුවක්.ඒත් යසාරා කරන්න බැරි වෙන දේ ගැන පසුතැවෙමින් ඉන්න එක ගැන රුවිනිට සමහර වෙලාවට දැනෙන්නේ කලකිරීමක්.නෙළා ගත්තු අස්වැන්න අතක් බර වුණත් ගහේ ඉහළ අත්තක රැඳෙන එකම ගෙඩියකට හූල්ලන යසාරාගේ මානසිකත්වය ගැන සමහර වෙලාවට රුවිනිට තේරුම් ගන්න අපහසුයි.

“අපරාදේ අපිට ආන්‍යා මොඩ්ල්ට ගන්න තිබ්බා..”

ආන්‍යා ඉන්ස්ටග්‍රෑම් නිරූපිකාවක විදියට සින්ඩරෙල්ලා සමාගම ප්‍රවර්ධනය කරන දිහා බලාගෙන රුවිනි හිතුවා.මේ වගේ සුන්දර විලාසිතා ප්‍රවර්ධනය කරන්න ආන්‍යා තරම් ගැලපෙන කෙල්ලක් නැහැ කියලයි රුවිනිට හිතෙන්නේ.

“ආන්‍යා ලොකු ස්ටාර් කෙනෙක් නෙවෙයිනෙ රුවිනි.ඇයි ඒ ළමයගෙ ගණං එච්චර සැර?”

ආන්‍යා නිරූපණ ශිල්පිනියට තෝරා ගැනීමේ පරීක්ෂණයෙන් පස්සේ යසාරා මුහුණ කළු කරගෙන කියපු හැටි රුවිනිට මතක් වෙනවා.

“ඒ ළමයා දැන් සෑහෙන්න මාකටිං වැඩ කරනවනෙ මිස් යසාරා.ගාණ ටිකක් සැර ඇති..”

ඒත් ආන්‍යාගේ මුදලට යසාරා එකඟ වුණේ නැහැ.ඒ නිසාම වෙනත් ගැහැනු ළමයෙක් සේවයට යොදවන්න රුවිනිට සිදු වුණා.

“අර වොෂිකා ෆොටෝස් වලට ලස්සනට හිනා වෙන්නෙ නෑනෙ රුවිනි..”

එහෙම පැමිණිලි යසාරා කරද්දී රුවිනිට හිනාවක් මතු නොවෙනවා නෙවෙයි.

“ඒ ළමයාට මං හිනායන කතා කියන්නයැ මිස් යසාරා.මට හිතෙන්නේ එයා මොඩ්ලින් ගැන දන්න කෙනෙක් නෙවෙයි.”

රුවිනි එහෙම කියන්නේ හිතට එන කෝපය සඟවාගෙන.

“අර නිල්පාට ගවුම් ඕඩර් කරපු ගර්ල්ස්ලා ඒ ඕඩර් එක කැන්සල් කරලා මිස් යසාරා..”

එදා හවස රුවිනි යසාරාට ඇමතුමක් දුන්නේ ඒ බව කියන්න.ඒ නිසා අතට ආපු තවත් ඇණවුම් කිහිපයක්ම කල් දාන්න වුණු බවත් නොකියා බැරි නිසා රුවිනි ඒ ගැන දැනුම් දුන්නේ හරිම පරිස්සමින්.

“ගිම්හානිගෙ ඇඳුම්වල කොලිටි එක මදිනෙ..”

රුවිනි තවත් සොයා ගැනීමක් කළා.ඒත් යසාරාගේ මිල ගණන් යටතේ මැහුම් ශිල්පිනියන් සොයා ගැනීමත් පහසු නෑ.

“ඔයාලගෙ ඇඳුම්වල නූල් ගැලවෙනවා..”

“අපෝ මේ ඇඳුම පොඩ්ඩක්වත් නීට් නෑ.”

“මේ පේජ් එකෙන් ඇඳුම් ගන්න එපා.මෙයාලා හදිස්සියෙ මහලා ඔහේ එවනවා..”

මෙහෙම පැමිණිලි ෆේස්බුක් පිටුවෙත් ඉන්ස්ටග්‍රෑම් පිටුවෙත් පළ වෙනකොට රුවිනි ඒ කමෙන්ට්ස් මකමින් දවස ගෙවා දැම්මා.

“මං මේක ආසාවෙන් පටන් ගත්තු වැඩක්.ඒත් දැන් දවස දවස පිරිහෙනවා..”

යසාරාගේ ඇස් රතු වෙන හැටි රුවිනි බලාගෙන හිටියේ වේදනාවෙන්.

“ඕනෑම පරාද වීමක් ජයග්‍රහණයක ආරම්භයක් මිස් යසාරා.අපි දැන් කරන්න ඕන අපි අතින් වුණු වැරදි හොයා ගන්න එක..”

රුවිනිගේ අධිෂ්ඨානශීලි ඇස් දෙක දිහා යසාරා බලාගෙන හිටියෙ පුදුමයෙන්.

“දවසින් දවස අපේ ඇඳුම්වල කොලිටි එක ගැන ප්‍රශ්න එනවා..අනික අපිට ඕඩර්ස් එනවත් අඩුයි..”

රුවිනි ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇය හොයා ගත්තු අඩුපාඩු යසාරාට පෙන්වලා දුන්නා.

“අපි ඒකට කරන්න ඕන මහන්න කීප දෙනෙක් ගන්න එක මිස් යසාරා.දෙන්නෙක් තුන්දෙනෙක්ට ඕඩර්ස් ගොඩාක් දුන්නම වෙන්නේ උඩින් පල්ලෙන් ඒවා කරලා දාන එක.ඒ නිසා අපි හොඳට මහන කීප දෙනෙක්ව හොයා ගමු..”

රුවිනි පුංචි සටහන් පොතක අලුත් අරමුණු ලියන්න පටන් ගත්තා.

“ලස්සන ගෑනු ළමයෙක් ලස්සනට ගවුම් ඇඳලා ඉන්නවා දැක්කම අනිත් කෙල්ලන්ටත් ආස හිතෙනව.අපි අලුත් මොඩ්ලර් කෙනෙක් හොයා ගමු.වොෂිකා වගේ මූණ පුම්බගෙන ඉන්න අඩු වියදම් කෙනෙක් නෙවෙයි.කියුට් ගෑනු ළමයෙක්ව ඉක්මනින් හොයා ගමු..”

එකින් එක අවුල් ලෙහන රුවිනි අන්තිමට යසාරා දිහා බැලුවේ ලස්සන හිනාවක් තොල් මතට අරගෙන.

“මාව එළෙව්වත් කමක් නෑ..මේ ඇඩ්වයිස් එක මිස් යසාරාට..”

යසාරා රුවිනි දිහා බැලුවේ පුදුමයෙන්.රුවිනිට තමන්ට දෙන්න තියන පණිවිඩේ මොකක්ද?

“අනේ අපිට ඒක කරන්න බැරි වුණා කියලා වැරදෙන දේවල් ගැන පසුතැවීම නවත්තන්න මිස් යසාරා.අපි ලස්සනට ඉෂ්ට කරගන්න ටාගට් ගැන සතුටු වෙන්නත් පුංචි වෙලාවක් තියා ගන්න.මොකද අපිට තියන ලොකුම ඇස්වහ කටවහ අපිමයි.අපේ වාසනාව අවාසනාවට හේතුවත් අපිමයි..අපි තමන්ගෙ ජයග්‍රහණ ගැන සතුටු වෙලා අඩුපාඩු ගැන තේරුම් අරන් තමයි අපේ ගමන යන්න ඕන.දිනුම් දිහාවත් බලන්නේ නැතුව පැරදුණු එක ගැන හූල්ලනකොට ආයේ දිනුම අපි ගාවට එන්නේ නෑ..”

යසාරා මඳ සිනාවකින් වටපිට බැලුවා.ඇත්ත තමයි! අවුරුදු තිහක තරුණියක් හැටියට තමන් දිනාගත්තු දේවල් නැතුවා නෙවෙයිනෙ.

“අපිට මේ පුංචි බිස්නස් එක ගාමන්ට් එකක් වෙනකම්ම දුර අරන් ගියෑකි මිස් යසාරා.වැරදුණු තැන් හොයමු.ඒත් දිනන තැන් සමරමු..”

රුව්නි එහෙම කියලා සමාජ ජාලා පීරන්න පටන් ගත්තේ හොඳ නිරූපිකාවක් හොයන අදහසින්.

අපි කාටත් පැරදෙන තැන් ගැන පසුතැවෙන තරමට ජයග්‍රහණය සමරන්න අමතක වෙනවා.ඒත් ජීවිතේ කියන්නේ හිනා වෙලා සමරන්න ඕනෑ දෙයක් කියලත් අපි මතක තියා ගන්න ඕනෑ.ඒක යසාරාට විතරක් නෙවෙයි.අපි කාටත් පොදු පාඩමක්!

More Stories

Don't Miss


Latest Articles