ඔලියැන්ඩර් – 08

0
0
oleander Flower

” චමීල්..! “

” කියන්න රත්තරං…” 

තරුණිය දෑස සිහින් කර ඔහු දෙස රවා බැලූ අතර ඇගේ කෝපාවිශ්ට උවන දුටු තරුණයාට වහා සිනහවක් නැඟුණේය. 

” ජෝක් යකෝ.. කියපන් මොකෝ ?” 

” අද හෙඩ් ඔෆිස් එකට ගියේ කවුද ?” 

” මල්ෂියි , විකසිතයි . ඇයි ?” 

තරුණයාගේ පිළිතුරත් සමඟ ඇගේ වත මැළවී ගියේය. දහවල් දොළහ කණිසමට පෙර කෙසේ හෝ අවන්හලට පැමිණෙන්නටත් , ඉන් පසුව ප්‍රධාන කාර්‍යාලයේ හෝජනාගාරයට යෑමටත් ඈ සැලසුම් කරමින් සිටියාය . කෙසේ හෝ හෝජනාගාරයට යන ගමනේදී ඔහු හමුවී ඔහුට ස්තූති කිරීමටද අවස්ථාවක් ගැනීමට ඈ මඟ බලමින් සිටියාය. පෙර දිනයේ එක දිගට සිදුවූ බොහෝ සිදුවීම් හේතුවෙන් තමා පූර්ණ සිහියෙන් මිඳී සිටි නිසා ඔහු කළ උපකාරයට වචනයකින් හෝ තුතියක් පිරි නැමීමට නොහැකි වූවාය. ඔහු නොවන්නට තමා බොහෝ දුරට තව තවත් කරදර රැසක පැටළීම නොඅනුමානය. නමුත් සිතුවාට වඩා කාලයක් දේශනයට ගත වීමත් ඉලක්ක කළ වේලාවට අවන්හලට පැමිණීමට නොහැකි වීමත් හේතුවෙන් සැලසුම් කොට තිබූ ආකාරයට ඇයට ප්‍රධාන කාර්‍යාලයට යෑමට නොහැකි වූවාය  . 

” මේ මචං ලා…”

අවන්හලේ හෝජනාගාරයේ වීදුරු ද්වාරය විවර කර පැමිණි එහි තවත් සේවකයෙක් වූ මදුශාන් බෙරි කර ගත් මුහුණින් අතේ තිබූ ට්‍රේ බඳුන මේසයක් මතින් තැබුවේය.

” පස්වෙනි කස්ටමර්ත් හැරිලා ගියා බං. ස්පේස් නෑ. ඔක්කොම ෆුල්. එක ටේබල් එකක් හිස් නෑ. ඔක්කොම ෆුල්. කා පාක් එකත් එහෙමයි. ආපු මිනිස්සුන්ට ඉක්මන්ට කාලා බීලා යන්න කියන්නයෑ..”

” ඊයෙත් ඔය වැඩේ උනා. දැන් නම් මෙතන ඉඩ හොඳටම මදි. “

සඳැස්විත් කණගාටුව පිරි උවනින් ඔහු දෙස බලා පැවසුවාය. 

” මං හිතන්නේ මැඩම් මේ ටිකේම තව තැන් කීපයක්ම බැලුවා. “

එක දිගට මොහොතක් කල්පනා කරමින් සිටි සඳැස්විගේ අඳුරු වූ උවන වහා ආලෝකමත් වූවාය.

” දැන් මැඩම් කෝ ?” 

” ඇතුළේ ඉන්නවා. “

තරුණයින් දෙදෙනාගෙන් සමුගත් ඈ වහා උත්පලා රන්දෙණිගල සිටිනා ඉසව්ව බලා පා ඉක්මන් කළාය. අවන්හල තුළ පසෙක තනා තිබූ කුඩා කාර්‍යාල කාමරයක හිඳ ලිපි ගොනුවක් පරීක්ෂා කරමින් සිටි ඇය සඳැස්විගේ පැමිණීමත් සමඟම එය නැවත වසා ඈ දෙසට හැරුණාය. 

” කියන්න සඳැස්වි…”

” මැඩම් , අදත් කස්ටමර්ස්ලා ගොඩක් ඇවිල්ලා හැරිලා ගියා. ටේබල් ඔක්කොම ෆුල්. කා පාක් එකත් එහෙමයි. අද විතරක් නෙමෙයි ඊයෙත් අපිට මේ ප්‍රශ්නෙම තිබ්බා “

” මට තේරෙනවා ළමයෝ. මං මේ ටිකේම වෙන ඉඩ කඩ තියන ස්පේස් එකක් හෙව්වා. තියන ඒවා අස්ප ගණන්. මං මේ කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. “

වෙනදාට රන් පැහැයෙන් දිදුලන උත්පලාගේ ප්‍රියමනාප මුහුණ අද බොහෝ සෙයින් සුදු මැළි වී ගොසින්ය. අතේ තිබූ පෑන නැවත මේසය මතට දැමූ ඈ දෑඟිලි තුඩු මතින් නළල පිරිමදින්නට පටන් ගත්තාය. 

” මැඩම් , කරන්න පුලුවන් නං පොඩි විකල්පයක් තියනවා. “

තමා ඉදිරියේ සිටගෙන සිටිනා කුඩා එකියගේ බහට තිගැස්සුණු උත්පලා දෑස දල්වා ගනිමින් ඈ දෙස බලා සිටියාය. තමා කාලය ගෙවා දැමීමට මෙන් ආරම්භ කළ මෙම කුඩා ව්‍යාපාරය මේ තරමට දියුණු වූයේ හුරුබුහුටියගේ ආගමනයෙන් පසුව බැව් ඇගේ යටි සිත හොඳින්ම දැන සිටියාය. මෙවරද ඈ පවසන්නට යන කාරණාව ඉතා වටිනා එකක් විය හැකියැයි ඇගේ යෝජනාවට ප්‍රථමව උත්පලාට වැටහී ගියාය.

” කියන්නකෝ බලන්න. “

” මැඩම් , RD එකේ ෂෝ රූම් එක. එතන බය නැතුව ටේබල් පනහක් විතර ඇරේන්ජ් කරන්න පුලුවන් “

උත්පලාගේ දෑස ක්ෂණිකව නළල තෙක් විසල් වී ගියාය. 

” මුලින්ම වාඩි වෙන්නකෝ…”

උත්පලා වහා තමා ඉදිරියේ තිබූ අසුන තරුණියට පෙන්වූ අතර ඈ කිසිදු කලබලයකින් තොරව එහි අසුන් ගත්තාය.

” ෂෝ රූම් එක තියෙන්නේ හෙඩ් ඔෆිස් බිල්ඩින් එකේනේ ළමයෝ . “

” ඔව් මැඩම්. මං ඒකම තමයි මේ කියන්නේ. රස විමන එතනට ගෙනිච්චොත් රස විමනට විතරක් නෙමෙයි RD foods එකටත් වාසි ගොඩක් තියනවා. ෂෝ රූම් එක තියෙන්නේ RD බිල්ඩින් එකේ යටම තට්ටුවේ. කා පාක් එකට මූණ දාලා. RD එකට ඇතුළු වෙන ඕනෙම කෙනෙක්ට මුලින්ම දකින්න ලැබෙන්නේ ෂෝ රූම් එක. ෂෝ රූම් එකේ තියෙන්නේ මේ වෙනකන් RD එකෙන් එළියට එන ප්‍රඩක්ට්ස්. එතන ඒවා තිබුණා කියලා RD එකට එන කවුරුවත් ඒවා සල්ලි දීලා ගන්නෑනේ මැඩම්. “

“ඒක නං හරි. ඔය ෂෝ රූම් එකේ තියන ප්‍රඩක්‍ට්ස් ඔක්කොම සේල් කරන්න තියන ඒවා නෙමෙයි. එතන ෂෝ රූම් එකක් හදලා තියෙන්නේ RD එකට ඇතුළු වෙන ඕනෙම කෙනෙක්ට RD එක ඇතුළෙ වෙන්නේ මොනවද ? අපේ ෆ්‍රැක්ටීස් වලින් එළියට එන ප්‍රඩක්ට්ස් මොනවද ? ඒවා RD super සුපර් මාර්කට් හරහා මාකට් වෙන්නේ කොහොමද ? අපේ ප්‍රඩක්ට්ස් වල තියෙන කොටිලීස් මොනවද ? එතකොට අපි එක්ස්පෝට් කරන අයිටම්ස් වල තියන හොඳ දේවල් මොනවද ? ඔය වගේ සෑහෙන්න දේවල් ටිකක් දැනගන්න . “

” හරියට නිකන් චූටි මියුසියම් එකක් වගේ..”

” ඔව් එහෙම කිව්වත් හරි. “

” අන්න ඒ නිසාම තමයි මැඩම් අපි රස විමන එතනට ගෙනියන්න ඕනේ කියලා මං කියන්නේ.  ඒකෙන් අපි රස විමන ගැන විතරක් හිතුවොත් , පළවෙනි දේ අපිට සෑහෙන්න ස්පේස් එකක් එතනදි ලැබෙනවා. RD එකට ඇතුළු වෙලා දකුණු පැත්තෙන් ලිෆ්ට් එකටයි , ස්ටෙයාකේස් එකටයි යන ඉඩ වෙන් කළත් ඉතුරු ස්පේස් එකේ අපිට ටේබල් අඩුම පනහක් විතර ඇරේන්ජ් කරන්න පුලුවන් එක පාර. අනික මැඩම් තියන වටිනාම දේ RD එකේ කා පාක් එක. එතන සෑහෙන්න ඉඩක් තියනවා. ඊලඟ එක බිල්ඩින් එකේ වම් පැත්‍තේ තියන එළියේ ඉඩ. මැඩම් ඒක ග්‍රීන් හට් එකක් වගේ නැත්‍තන් අවුට් ඩෝ රෙස්ටුරන්ට් එකක් වගේ අරන් එතනටත් හරියට බැලුවොත් ටේබල් විසි පහක් වත් ඇරේන්ජ් කරන්න පුලුවන් තරම් ස්පේස් එකක් තියනවා. අපි ගොඩක් ඕගනික් ෆුඩ්ස් ඉන්ට්‍රඩියුස් කරන නිසා ඒ අවුට් ඩෝ ස්පේස් එක යූස් කරලා අවුට් ඩෝ රෙස්ටුරන්ට් එකක් හැදුවොත් මං හිතනවා ඒක සෑහෙන්න ජනප්‍රිය වෙයි . “

සඳැස්විගේ පැහැදිලි කිරීම් හමුවේ උත්පලාගේ හදවත තුළ බලාපොරොත්තු රැසක් පීදුණාය. ඈ තව දුරටත් දෑස දල්වාගෙන කුඩා තරුණියගේ යෝජනා සියල්ලට සවන් දී උන්නාය. 

” මේකෙන් RD එකටත් සෑහෙන්න වාසි වෙනවා කියලා අපිට එයාලට පැහැදිලි කරන්න පුලුවන් මැඩම්. අපිට පුලුවන් අපේ කස්ටමර්ස්ලට අපේ කෑම හඳුන්වලා දෙන අතරේ මේවට යොදාගන්න ඉන්ග්‍රීඩියන්ස් හැමදේම අපි ගන්නේ RD foods වලින් කියලා කියන්න. අපි ගොඩක් ඕගනික් ෆුඩ්ස් එක්ක යන නිසා කස්ටමර්ස්ලට එතනින් විශ්වාසයක් ඇති වෙනවා එහෙනං RD එකෙන් එළියට එන කෑම වගේම ඉන්ග්‍රීඩියන්සුත් කිසිම වසක් විසක් නැති පිරිසිදු ඒවා කියලා. අපි ඔය අතරෙදි RD foods වල සාම්පල්ස් ෂෝ රූම් එකේ තිබ්බ විදිහටම තැන තැන තියමු. නිකන්ම ෂෝ රූම් එකක ඕවා තියනවට වැඩිය මේ ක්‍රමේ එයාලට සෑහෙන්න වාසිදායකයි මැඩම්..”

” ම්ම්ම්…”

උත්පලා දිගින් දිගටම කල්පනා කළාය . 

” ඇත්තටම ඔයාගේ අයිඩියා එකනං සුපර්. හැබැයි මෙහෙමයි මගේ හස්බන්ඩ් වගේ උනානං මට මේක කතා බහ කරලා පැහැදිලි කරලා උදව් ඉල්ලගන්න තිබ්බා. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ RD බිල්ඩින් එක අපේ පුතණ්ඩියගේ. මං අම්මා උනාට මිනිහා එක්ක බිස්නස් ඩීල් එකක් කතා කරන්න යනවානං ෆුල් ප්‍රොෆෙශනල් විදිහට ඒක කරන්න ඕනේ. මේ ගැන අයිඩියා එකක් එයා එක්ක කතා කළත් ඒකා අනිවාර්‍යෙන්ම ප්‍රපෝසල් එකක් ඉල්ලනවා . “

උත්පලා හිස දෙපසට සලමින් තොල්පට තද  කර ගනිමින් පැවසුවාය. 

” මැඩම්ට පුලුවන්ද මට හෙට දවස වෙනකන් දෙන්න ? මට පුලුවන් ප්‍රපෝසල් එකක් හදන්න “

උත්පලාගේ දෑස නැවත දිළිසෙන්නට පටන් ගත්තාය .

” ශුවර්.. ඔයාට ඒක කරන්න පුලුවන්නං මගෙන් කිසිම බාධාවක් නෑ. මටත් මේ වැඩේ ඉක්මනට ඉවර කරගන්න ඕනේ සඳැස්වි . නැත්තන් අපිට එන කස්ටමර්ස්ලා අනිත් පැත්‍තට හැරිලා යනවා හූල්ල හූල්ල බලන් ඉන්න තමා වෙන්නේ. “

” මං හෙට අනිවාර්‍යෙන්ම ප්‍රපෝසල් එකක් හදලා ගෙනත් දෙන්නං මැඩම්. මැඩම් ඒක සර් එක්ක කතා කරන්න. “

සඳැස්වි හිඳ සිටි පුටුව පසුපසට කරමින් නැඟී සිටියාය. 

” ආ.. සඳැස්වි.. ඔයාට මෑතකදි ගන්කන්දව මීට් උනාද ?” 

” නෑ  මැඩම් “

” මෙහෙමයි , මං ඔයාට ජොබ් එක දෙද්දිම කිව්වනේ ඔයාගේ තාත්‍තා RD එකේ වැඩ කරපු කෙනෙක් කියලා කාටවත් දැනගන්න තියන්න එපා කියලා. ඒක ඉස්සරහටත් ඒ විදිහටම තියාගන්න. මොකද මෙහෙ ඉන්න ගොඩක් අය කිසිම සුදුසුකමක් නැතුවත් එයාලගෙ දරුවෝ කම්පැණි එකට දාන්න බලන් ඉන්නේ. අපේ පුතා කීයටවත් ඒ ක්‍රමේට කැමති නෑ. අපේම රිලේශන්ස්ලා ඉන්නවා කම්පැණි එකට ජොයින් වෙන්න බලාගෙන . ඒත් අපේ එකා සුදුසුකම් නැතුව කාටවත් චාන්ස් එකක් දෙන්න කැමති නෑ. ඒ නිසා ඉස්සරහටත් මේ කාරණේ මමයි , ගන්කන්දයි , ඔයයි විතරක් දැනගෙන ඉන්න එක හොඳයි “

” ඕකේ මැඩම්. මං ඒ කියපු විදිහටම කරන්නං “

” ගුඩ් ගර්ල්..”

සඳැස්වි බලාපොරොත්තු රැසක් සිත තුළ තබා ගනිමින් උත්පලාගේ කාර්‍යාලයෙන් පිටතට අඩි තැබුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here