නැන්දම්මා සහ සැමියා විසින් වස දී ඝාතනය කළායැයි සැක කෙරෙන ලේලිය

මිනිස් ඝාතන සෑම රටක මෙන්ම අපේ රටේ ද එතරම් දුලබ නොවන සිදුවීම් වෙනවා.දිනපතා ප්‍රවෘත්ති විකාශයන් හිදී ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති  දෙක තුනක්වත් වාර්තා වන තරම්.නමුත් සමහර මිනිමැරුම් සම්බන්ධයෙන් කොපමණ කාලයක් ගියත් අපේ කතාබහ නවතින්නේ නැහැ

පද්මිණී කුලරත්න ඝාතනය එවැන්නක්.

පද්මිණී කුලරත්න කියන්නේ කවුද?

දොස්තර ඩේමන් ගාමිණී ද සිල්වා කුලරත්න ගාල්ලේ ඇති කීර්තිමත් පවුලක උපන් කෙනෙක්.සමාජ සේවා සහ වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ප්‍රසිද්ධ ඔහු කැකිරාව රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළා.ධනවත් මිනිසකු වූ ඔහු මව සමඟ වාසය කළා.කීර්තිය සහ බලය හිමි වෛද්‍ය කුලරත්න විවාහවීමට සිතන්නේ ඔය කාලයේ දී. ඔහුගේ තෝරාගැනීම වූයේ කළුතර ධනවත් පවුලක දියණිය වූ පද්මිණී සුසිලා පෙරේරායි.

උගත් තරුණියක වූ පද්මිණී විවාහ වන්නේ විසි තුන් හැවිරිදි වියේදී.විවාහයෙන් පසු ඇය පද්මිණී කුලරත්න බවට පත්වනවා.ඉතාමත් ඉක්මනින් මවක් බවට පත්වීමට පද්මිණී ට හැකි වෙනවා.1948 වසරේදී තම පශ්චාත් උපාධිය වෙනුවෙන් වෛද්‍ය කුලරත්න ඇමරිකාව බලා යන අතර පද්මිණි තමන්ගේ දෙමවුපියන් වෙත යනවා.

ඔහු නැවත පැමිණි පසු පද්මිණි තවත් දරුවන් දෙදෙනකුට උපත ලබා දෙනවා.ඒ විශාල නිවසේ පවුලේ සාමාජිකයින්ට අමතරව මෙහෙකරුවෙක් සහ මෙහෙකාරියන් දෙදෙනෙක්ද රියදුරු කෙනෙකුද වාසය කළා.

පද්මිණී සහ වෛද්‍ය කුලරත්න අතර ගැටුම් ඇති වීම

වෛද්‍ය කුලරත්න රජයේ සේවයෙන් ඉවත් වී පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කළා.සේවය වෙනුවෙන් ඔහු ආරියවතී නම් තරුණියක සේවයට බඳවා ගන්නවා.එයට පද්මිණිගේ එතරම් කැමැත්තක් ඇති වන්නේ නැහැ.කාලය සමග ආරියවතී සහ දොස්තර කුලරත්න අතර සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා.දිනක් ඇය ඩිස්පෙන්සරිය වෙත ගොස් බලද්දී ආරියවතී දොස්තර කුලරත්නට ඉතාම සමීපව කටයුතු කරන බව දැක කෝපයට පත්වී ආරියවතී ට බැන වදිනවා.නමුත් මේ සිදුවීමේදී කිසිවෙක් ඇගේ පැත්ත ගන්නේ නැහැ.එකක් තබා ඇගේ නැන්දණිය පවා මේ සිදුවීම සම්බන්ධයෙන් නිහඬ වෙනවා.ලෝරා මහත්මියද ආරියවතීට කැමැත්තක් දක්වන්නට පටන් ගන්නවා.ආරියවතී සහ දොස්තර කුලරත්න ඉතාම සන්තෝෂයෙන් ජීවත් වීමට පටන් ගනිද්දී පද්මණී ගේ ජීවිතය ගෙවී යන්නේ හැඬූ කඳුළින්.

දොස්තර පවුල බිඳී යාම සම්බන්ධයෙන්  රියදුරු වූ රොමියල්ට කෝපයක් ඇතිවෙන අතර ඔහු ආරියවති ට බැන වැදීම නිසා ඔහුගේ රැකියාව අහිමි වෙනවා.

නිරන්තරයෙන් ගැටලු ඇතිකර ගන්නා පද්මිණී ට මානසික රෝගයක් ඇති බව පවසමින් ඇය අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යැවීමට පවා වෛද්‍ය කුලරත්න උත්සාහ කරනවා.

අක්කගේ වේදනාවට පිළියමක් ලෙස පද්මිණීගේ බාල සහෝදරිය වන ලලනි ඇය වෙත පැමිණෙනවා.ඇය අක්කා වෛද්‍යවරයෙකුට පෙන්වන අතර පද්මිණි සිත් බිඳීමකින් පීඩා විඳින බවට වෛද්‍යවරයා පවසනවා.මේ අතර ගැටුම් දිනෙන් දින උග්‍ර වන අතර පද්මිණීට පහර දීමට පවා වෛද්‍ය කුලරත්න පෙළඹෙනවා.මේ සියලුම අඩන්තේට්ටම්වලට ලෝරා අනුබල දී තිබෙනවා.පද්මිණී නිවසේ කාමරයක සිර ගතවන අතර ලෝරාගේ අරමුණු වෙනුවෙන් බැනුම් වලට ද ලක් වනවා.

නිවසේ මුළුතැන්ගෙයි දෙකක ආහාර පිසුනු අතර ලෝරාට සහ වෛද්‍ය කුලරත්නට එක් මුලුතැන්ගෙයක ද පද්මිණී ට සහ දරුවන්ට තවත් මුළුතැන්ගේ ආහාර පිසිනවා.කාමරයේ සිරගත කළ පසු පද්මිණිට දෙන ආහාර වල අඩු වීමක් පවා සිදු වූ බව පැවසෙනවා.

මේ අතර දික්කසාද වීමට වෛද්‍ය කුලරත්න තීරණය කරනවා.ඒ සම්බන්ධයෙන් නීතිඥ උපදෙස් ගත යුතු බව පත්මිණි පවසා තිබෙනවා.මේවා ගැන ලෝරා සිට ඇත්තේ අධික කෝපයකින්.

හදිසියේ ගිලන් වන පද්මිණී

කාමරයේ සිර කර සිටින නිසා පද්මිණී ට ආහාර ලබා දෙන්නේ වේවැල් කූඩයක තබා ඒවා උඩුමහලට රැගෙන යාම මඟින්.දිනක් මෙසේ ආහාර ගත් පසු පද්මිනී ද දරුණු උදරාබාධයක් ඇති වනවා.ඇය ලලනි අමතා තමන් දරුණු ලෙස රෝගාතුර වී ඇති බවත් වහාම වෛද්‍යවරයකු වෙත ගොස් ජීවිතය බේරා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

නමුත් බාල දියණිය පමණක් ළඟ සිටිය දී දැඩි ලෙස රෝගාතුර වී පීඩා විඳිමින් දින කිහිපයකට පසු පද්මිණී මිය යනවා.පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය පැමිණෙද්දී වැසිකිළිය සෝදා හැර තිබෙන අතර ඇගේ වමන කොටස් සහ ආහාරයට ගත් භාජන පරීක්ෂාවට ලක් වෙනවා.

පරීක්ෂණයෙන් ඔප්පු වෙන දේ.

පද්මිණීගේ ආමාශයට දැඩි ලෙස හානි වී ඇති අතර හුස්ම හිරවී මරණයට පත්වී තිබෙනවා.ඇගේ උදරයේ පාසානම් නොමැති වස වර්ගය පවතින බව සොයා ගැනීමට ලක් වනවා.වෛද්‍ය කුලරත්න ගේ බෙහෙත් ශාලාව පරික්ෂා කර අදාළ විෂ වර්ගයට සමාන දේ අඩංගු වන බෝතල් දෙකක් සොයා ගැනෙනවා.මරණයට සැක පිට මෙහෙකාරියන් දෙදෙනා සහ ලෝරා කුලරත්න අත්අඩංගුවට ගැනෙනවා.

නඩු විමසීම

පද්මිණී සහ දරුවන් වෙනුවෙන් කෑම පිසූ මෙහෙකාරිය නිදොස් කොට නිදහස් කෙරෙන අතර බිලිං අච්චාරුවලට වස මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් අනෙක් සේවිකාව වූ සොපියාට සහ ලෝරා කුලරත්නට එරෙහිව වරද පැටවෙනවා.අනුබලදීම සම්බන්ධයෙන් වෛද්‍ය කුලරත්නට ද වරද පැටවෙනවා.

මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වන අතර ඔවුන්ට මරණ දණ්ඩනය හිමි වෙනවා.ඔවුන් අභියාචනා කරන අතර ඉන් නිදහස් වූ බව පැවසෙනවා

පද්මිණී කුලරත්න ඝාතන නඩුව 1967 වසරේ ලංකාවේ ඉතාම ජනප්‍රිය වූ නඩුවක්.මේ සම්බන්ධයෙන් පසු කාලයේ ටෙලි නාට්‍යයක් පවා නිර්මාණය වී තිබෙනවා.ලෝරා පිළිකාවකින් මිය ගිය බවත් වෛද්‍යවරයා නැවත විවාහ වූ බවත් සඳහන් වෙනවා.

පද්මිණි කුලරත්නට සැබෑවටම වස දී මරා දැමුවාද නැතිනම් ඇය අධික පීඩනය දරාගත නොහැකිව සිය දිවි නසා ගත්තා ද යන්න අදටත් අභිරහසක්       

Related Articles

Don't Miss


Latest Articles