මතක දිගහැරුම 49 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හතලිස් නවවන දිගහැරුම ,

ගුවන් සේවිකාවක් ලෙස සේවය කරන කාලයේ විවිධ වූ පුද්ගලයන්ගෙන් විවාහ යෝජනා පැමිණියා මෙන්ම තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත් නව යොවුන් වියේ ඇතැම් සිදුවීම් ද මගේ මතකයේ තවමත් ඇත. පාසල් යන වියේ දී සෑම උදෑසනකදීම පාසල් බස් රථයට මාව සහ නංගීව ඇරලවීම සඳහා මගේ අම්මා අප කැටුව මහරගම ලංකා බැංකුව අසලට පැමිණිම පුරුද්දක්ව තිබුණි.ඒ අසලින් විවිධ පිරිමි පාසල් වල ළමුන් ගෙන යන පාසල් බස්රථ ගමන් කරන අතර ඇතැම් පිරිමි ළමුන් ලංකා බැංකුව අසල මා සිටිනවා දුටු සැනින් මගේ නමෙහි අකුරු පිලිවලින් කියා ,ඉන් අනතුරුව නමද කියා කෑ ගසන අතර මගේ අම්මා එම පිරිමි ළමුන් දෙස කෝපය මුසු බැල්මකින් බලා සිටිනවා මා දැක ඇත්තෙමි.

මා පෙර කී ” කිත්සිරි සර් ” ගේ පන්තියට සහභාගි වීමෙන් ජීවිතයට බොහෝ දේ ලබාගත් අතර එතුමා මා අදටත් ගරු කරන ගුරුවරයෙකි.එවැනි යහපත් ගුරුවරු අතර පෞද්ගලික පන්තිවලට සහභාගි වන කාලයේ, පන්තිය අවසන් වී යන විට අතින් සංඥා කර නවතින්නැයි පවසා තනියම පැමිණ මුණ ගැසීමට හැකි දැයි ඇසූ ගුරුවරයෙක්ද සිටියේය.පසුව ඒවා පිළිබඳව මගේ දෙමාපියන් දැනුවත් කළ පසුව පන්ති යාම නතර කළ අවස්ථාද මගේ ජීවිතයේ ඇත.

මා ගුවන් සේවිකාවක් ලෙස රාජකාරි කරන කාලයේ මගේ නිල ඇඳුම් මසන ආයතනයේ පිහිටා තිබුණේ liberty plaza ගොඩනැගිල්ලේය.වරක් මා රාජකාරි අවසන් කර අලුත් නිල ඇඳුම් මසා ගැනීම සඳහා එම ආයතනය වෙත ගිය අතර මා එහි සිටින විට, එයින් පිටත සිටි කාන්තාවන් දෙදෙනෙක් මා දෙස බලමින් එහා මෙහා යන ආකාරය එම ආයතනයෙ වීදුරු අතරින් මා දුටුවෙමි.ඉන්පසු ඔවුන් දෙදෙනා ඇඳුම් මසන එම ස්ථානය තුලට පැමිණ මා සේවය කරන්නේ Air lanka ආයතනයේ දැයි විමසීය.මා ගුවන් සේවිකාවක් ලෙස සේවය කරන බව ඔවුන්ට පැවසූ විට , ශ්‍රී ලාංකික අවිවාහක රූ රැජින තරගයට සහභාගි වීමට මා කැමති දැයි ඔවුන් එකවරම ඇසීය .එවැනි තරගයකට සහභාගී වීමට අදහසක් ඒ වන විට මා සිත තුළ කිසිසේත්ම නොතිබුණි.නමුත් ශ්‍රී ලාංකික අවිවාහක රූ රැජිණ තරගයට සහභාගි වී ජයග්‍රහණය කළ ජයග්‍රාහිකාවන් කිහිප දෙනෙක්ම මා සමග ගුවන් සේවිකාවන් ලෙස සේවය කරමින් සිටියහ.ඒ අතරින් ” දීප්ති අලස් ” යනු මා අදටත් ඉතා ගරු කරන තැනැත්තියක් වන අතර ඇය ඉතා නිහතමානී සහ වැදගත් චරිතයකි.එමෙන්ම ඇය නිරන්තරයෙන්ම තමාට ලැබුණු නාමය ඉතා ගෞරවනීය ලෙස ආරක්ෂා කරමින් කටයුතු කළ තැනැත්තියක් ද වූවාය.ඇය හා මම රූපයෙන් සමාන බව සමහර අවස්ථාවන්වලදී ඇතැමුන් කියා ඇත.

කෙසේ හෝ මට මුණගැසුණු කාන්තාවන් දෙදෙනා පැවසුවේ ඔවුන් අවිවාහක රූ රැජින තරගයේ සංවිධායකවරුන් බවයි.එම තරඟයට සහභාගිවීම සඳහා මා හට සුදුසුකම් තිබෙන බව පවසමින් තරගයට සහභාගී වන්න යැයි ඔවුන් මට ආරාධනා කරන්නට විය.ඒ සඳහා මට එකවරම පිළිතුරක් දිය නොහැකි නිසා , ඒ අවස්ථාවේදී මා අම්මගෙන් සහ තාත්තා ගෙන් විමසා ඔවුන්ට පිළිතුරක් ලබා දෙන්නම් යැයි පැවසූ අතර ඔවුන් මා සම්බන්ධ කර ගැනීම සඳහා මගේ දුරකථන අංක ද ලබා ගත්හ.

නැවත නිවසට පැමිණි විට අදාල කාන්තාවන් දෙදෙනා මට පැවසූ අවස්ථාව පිළිබඳව මා අම්මාට සහ තාත්තාට පැවසුවෙමි.ඒ සඳහා ඔවුන්ගේ විශාල කැමැත්තක් නොතිබුණු අතර අකමැති බවක් පෙන්වූයේ ද නැත.මගේ දුරකථන අංකය ඉල්ලා ගත් තරඟයේ සංවිධායක මඩුල්ලේ සිටි කාන්තාවන් දෙදෙනා තරගයට සහභාගි වන්න යැයි කියමින් කිහිප වරක්ම මා හට ඇවිටිලි කරන්නට විය .

එවැනි තරගයකට සහභාගි වනවා නම් වරින් වර නිවාඩු ගැනීමට අවශ්‍ය නිසා ,පසුව මා Air Lanka ආයතනයට අමතා මා හට ලැබුණු අවස්ථාව පිළිබඳව ඔවුන් හා සාකච්ඡා කළෙමි.එවිට ඔවුන් පැවසුයේ, මා හට එම තරගයට සහභාගි වීම සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ඔවුන් දක්වන බවයි.ඉන්පසුව මා ශ්‍රී ලාංකික අවිවාහක රූ රැජන තරගයට සහභාගි වීමට කැමැත්ත පළ කරමින් එහි සංවිධායකයන් දැනුවත් කළෙමි.

කොළඹ තරු තරු පහේ හෝටලයක පැවති පෙර පුහුණුවීම් සඳහා සහභාගි වීමට මා මගේ නංගී සමග ගියෙමි.එහිදී මා හට එම තරගයේ සංවිධායක මණ්ඩලයේ සිටියේ අනෙක් අයවද හඳුනා ගැනීමට හඳුනාගැනීමට අවස්ථාව හිමි විය.රූ රැජිනකට තිබිය යුතු සුදුසුකම් සපුරාලීම සඳහා ඔවුන් විවිධ පුහුණුවීම් වාර පැවැත්වූ අතර මා දින කිහිපයක්ම ඒවාට සහභාගි වුණෙමි.එහි සිටි බොහෝ දෙනා මා ජයග්‍රහණය කළ හැකි බවට වරින් වර මා හට ඉඟි ලබා දුන් අතර මට එම තරගයෙන් ජයග්‍රහණය ලැබිය හැකිය යන විශ්වාසය මා තුළ ඒ වන විටත් ගොඩනැගෙමින් පැවතුණි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles