විවාහ ජීවිතය තුළ බොහෝ පීඩාවන්ට ලක් වූ කරිශ්මාගේ වේදනාකාරී මතකයන්.

කරිෂ්මා කපූර් බොලිවුඩයේ එක යුගයක බොහෝ කතාබහට ලක් වූ නිළියක්.කරිෂ්මා නලු පරපුරකින් පැවත එන්නියක්.කොහොම වුණත් කරිෂ්මාගේ ජීවිතය ඔබ අපේ Smartlady සමූහයට ලියා එවන නිර්නාමික ගැටලුවක හැඩහුරුකම් ගන්නා බව පැවසුවොත් ඔබ මාත් එක්ක එකඟ වෙන එකක් නෑ.

නමුත් ඒ තමයි සත්‍යය.ඕනෑම ගැහැනියකට අයත් නොවිය යුතු කඳුළු කතාවක් ඇය සතුව තිබෙනවා.

“අම්මා තමයි මාව විනාශ කරේ.එයාගේ අරමුණු වලට යන්න මාව යූස් කරන්න ගිහින්..”

නිර්නාමික පණිවිඩ රැගෙන එන සමහර සොයුරියන් එසේ පවසනවා.ඔබ පමණක් නෙවෙයි.කරිෂ්මා ද එවැනි අම්මා කෙනෙකුගේ ගොදුරක්.

කරිෂ්මාගේ පාසල් ජීවිතය හයවැනි ශ්‍රේණියෙන් නවතා දමන අම්මා,බබිතා කපූර් ඇයව චිත්‍රපටියක රඟපාන්නට රැගෙන යනවා.වයස දහතුනක දැරියකට සිප ගැනීම් අවස්ථා වැඩියෙන් දෙන්නට අම්මා කරන යෝජනාවට ප්‍රධාන නළුවා එරෙහි වූ නිසා කරිෂ්මාට ඒ චිත්‍රපටියේ රඟපෑම අහිමි වෙනවා.නැවත ඒ අවස්ථාව ඇයට ලැබෙන්නේ වයස දහසයෙන්.කුඩා දරුවන් රියැලිටි තරගවලට කැඳවාගෙන විත් ඔවුන්ගේ ළමා විය සහමුලින්ම නැති කරන අම්මාවරු තුළ ද බබිතාගේ හැඟීම් ම තිබෙනවා වන්නට පුලුවන්.ඒ දරුවා කෙසේ හෝ ජනප්‍රිය කිරීම.නමුත් මේ කෙසේ හෝ අරමුණ ජය ගැනීමට යාම දරුවන්ට දරුවන්ව අහිමි කරන කාරණාවක්.

පියා සහ මව දික්කසාද වු නිසා පවුලේ ආර්ථිකය වෙනුවෙන් රංගනයට පිවිසෙන්නට වූ බව කරිෂ්මා පසුකාලීනව පවසා තිබුණා.කෙසේ නමුත් ඒ චිත්‍රපටිය තුළත් ඇයට සරාගී දර්ශන සහ අඩ නිරුවත් දර්ශන ලබා දෙන මෙන් බබිතා ඉල්ලීම් කර තිබුණත් අධ්‍යක්ෂකවරයා එය ප්‍රතික්ෂේප කර තිබුණා.

යොවුන් වසන්තයට හසු වන කරිෂ්මා ආදරයක පැටලෙන්නේ අජේ දේව්ගන් සමඟ.එය බොලිවුඩය පුරා ජනප්‍රිය වූ ප්‍රේමයක්.එහෙත් ඒ ප්‍රේමයට තිත තැබෙන්නේ තුන්වැන්නිය වූ රවීනා නිසා.ඉන්පසු අභිෂේක් බච්චන් සමඟ ප්‍රේමයක් ඇති කරගන්නා කරිෂ්මා කපූර් ඔහු හා විවාහය ප්‍රසිද්ධ කරේ අමිතාබ් භච්චන්ගේ උපන්දිනය දවසක.නමුත් ඉන් දින කිහිපයකට පසු එය අවලංගු කළ බව බච්චන් පවුල දන්වා සිටියා.මෙයට හේතුවත් බබීතාගේ අධික තන්හාවයි.අමිතාබ්ගේ වත්කම්වලින් අඩක් සහ මූල්‍යමය දෑවැද්දක් බබීතා අමිතාබ්ගෙන් ඉල්ලා තිබුණා.ඒ කාලය අමිතාබ් භච්චන්ට තරමක මුල්‍ය අස්ථාවර කාලයක්,එසේම බබීතාගේ මේ යෝජනාව ද අපහැදීමක් ඇති කරන යෝජනාවක්.ඒ නිසා ජයා භච්චන් පවුලේ තීරණය බබීතාට දන්වා විවාහය අවලංගු කරනවා.

ඉන්පසු බබීතා හැරෙන්නේ විවාහකයෙකු වූ සංජේ කපූර් දෙසට.ඔහු ඒ වන විට විවාහකයෙකු වුවත් එය දික්කසාද කර ඔහුට කරිෂ්මා විවාහ කර දෙන්නට බබීතා තීරණය කරනවා.එය වෙනුවෙන් ඇය කරිෂ්මාට දැඩි බලපෑමක් කර තිබෙනවා.නමුත් කරිෂ්මාගේ පියා නම් එයට එරෙහි වී තිබෙනවා.

“අපිට යහමින් සල්ලි තිබුණ.ඉතින් ඇයි දුවලා සල්ලිකාරයන්ට දෙන්නේ?”

රන්ධීර් කපූර් එසේ පවසා තිබුණේ හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතටයි.කරිෂ්මා විවාහ වූ සංජේ කපූර් ගැන මතු වූ සැක සංකා ගැන ඔහු පැවසුවත් බබීතා හෝ දරුවන් ඔහුට ඇහුම්කන් දී නැහැ.

ඔහුගේ ලිංගික ආශාව වෙනස්.ඔහු මධුසමයේ පටන් මා වෙනත් පිරිමින්ට වෙන්දේසි කළා.ඔවුන් මා සමඟ ලිංගිකව හැසිරෙනු බලා ඔහු තෘප්තිමත් වුණා.මම දරුවන් ලැබෙන තුරු සහ ඉන්පසුත් ඒ ඇසීමට පවා අප්‍රසන්න දේ ඉවසුවා.”

කරිෂ්මා තම ජීවිතය ගැන මෑතකදි එසේ හෙළි කර තිබුණා.

කරිෂ්මා දික්කසාද නඩුවේදී මේ ශාරීරික අපයෝජනය ගැන චෝදනා ගොනු කරා.එහිදී සංජේගේ මානසික රෝගය හෙළි වුණා.දරුවන් කරිෂ්මාට අයත් වුණා.රන්දීර් කපූර් මෙයට බබීතා සමඟ ගැටුම් ඇති කරගත්තත් ඔහුට නිවසින් යාමට සිදුව තිබෙනවා.

අම්මාගේ උවමනාවට විවාහ වූ කරිෂ්මාට දික්කසාදය ලබා ගනිද්දී පවා ඇගේ බලපෑම් උහුලන්නට වී තිබෙනවා.කරිෂ්මාට වහාම දුක හැර දමා නිදහස් වීමට අවසර දීම වෙනුවට බබීතා සංජේගෙන් විශාල වන්දියක් ඉල්ලා නඩු මගට බසින්නට උත්සාහ කර තිබෙනවා.

කරිෂ්මාගේ සහෝදරිය වූ කරීනා කපූර් තරමක මුරණ්ඩු කෙල්ලක්.ඇගේ මේ මුරණ්ඩු බව නිසාම බබීතා බාල දියණියට මෙල්ල වුවත් ඇය කරිෂ්මාව රූකඩයක් කර ගත් බව බොලිවුඩයට නොරහසක්.

මම රෝගී වුණා.ආහාර දිරවීම නැතිව ගියා.විරූපි වුණා.දරුවන්ට මේ දුක නොදෙන්නට ඔවුන් වෙනුවෙන් ජීවත් වෙන්නට මම තීරණය කළා.මං දරුවන්ට ඔවුන් කැමති දේ කරන්න ඉඩ දෙනවා.මම ඔවුන්ට මාර්ගය පෙන්වා දෙනවා පමණයි..”

අම්මා කෙනෙකුගේ දැඩි හිරිහැර දරාගත් කරිෂ්මා එවැනි සිතුවිලි සහිත අම්මා කෙනෙකු වීම ප්‍රශංසනීය බව නොකියාම බැහැ.දෙදහස් හතර වසරෙන් පසු රඟපෑමෙන් ඈත් වූ කරිෂ්මා දැන් දරුවන් සමඟ ආදරණීය ජීවිතයක් ගෙවන මවක්.පැරණි තුවාල ඇයට රිදුම් දෙනවා ඇති.නමුත් ඇය දැන් ඒ වේදනා මතින් නැගිට ගත් ගැහැනියක්.

ඔබේ ජීවිතය ගැන තීරණ ගන්නට සහ එයට අනවශ්‍ය අත පෙවීම් කරන්නට ඔබේ අම්මාටවත් ඉඩ හරින්නට එපා.ඔබ අයිති ඔබටයි.එහි විවිධ පරීක්ෂණ කරන්නට කිසිවෙකුටත් ඉඩ නොහැරීම ඔබට අයිති දෙයක්.බොලිවුඩයේ මේ රූමතිය ඇගේ කතාව හරහා අපට කියන්නේ ඒ පාඩමයි.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles