මතක දිගහැරුම – අප්සාරි සිංහබාහු තිලකරත්න

දෙවන කොටස

මගේ පාසල නුගේගොඩ සමුද්‍ර දේවී බාලිකා පාසල වූ අතර නංගීගේ පාසල වූයේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය ය.පහ වසර වනතුරු මා ඉගෙන ගත් සමුද්‍ර දේවියේදි මට සිටි මිතුරියන් අතර, ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ දියණියන් දෙදෙනාද මගේ හොඳම මිතුරියන් අතර විය.එක් දියණියක් මට වඩා වයසින් වැඩිමහල් වුවද අනෙක් දියණිය වූ මංජුලා ඉගෙන ගත්තේ මගේ පන්තියේමය. ඔවුන්ගේ පවුල සහ අපේ පවුල අතර තිබුනේ සමීප සබඳතාවයකි. වික්ටර් රත්නායක යනු තාත්තාගේ තවත් මිතුරෙකු වූ ” කරූ අන්කල් ” ගේ ද හොඳම මිතුරෙකි.ඒ නිසා අප සියලු දෙනාම නිතර කරූ අන්කල්ගේ නිවසට යාමට පුරුදු වී සිටි අතර පාසලේ මිතුදම් වලට අමතරව පවුල් අතර වූ මිතුදම් නිසාවෙන්ද අප නිතර මුණගැසීම සිදුවිය. වැඩිහිටියන්ගේ කතා වලට ඉඩදෙන අපි සියලු දෙනා එනම් , මම , මංජුලා ,ලෙලුම් සහ ජයන්ත , කරූ අන්කල්ගේ දරුවන්ද කාමරයට පැමිණ සංගීත ප්‍රසංග පැවැත්වීම එකළ අපේ ප්‍රියතම දේවල් අතරින් එකක් විය.කුඩා අවදියේ පසුවූ ලෙලුම් පුටුවක් උඩට නැග තාත්තාගේ ගී ගයන්නේ ඉතා මිහිරි ලෙසය.ඒ දිනයන් මගේ ජීවිතයේ මට කිසිදාක අමතක නොවන පරිච්ඡේදයන්ගෙන් එකකි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වූ මට කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුලත් වීමට අවස්ථාව තිබුනද අම්මා සහ තාත්තා විසින් මාව ඇතුළත් කලේ නංගි ඉගෙන ගත් පාසල වන මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ය.අම්මා සහ තාත්තා නිරතුරුවම අප දෙදෙනා පිළිබඳව ඉතා සැලකිලිමත් වීම සහ අප දෙදෙනාව දැඩි ලෙස ආරක්ශා කිරීම නිසා අප දෙදෙනාම එක පාසලක ඉගෙනීම ඔවුන්ටද විශාල පහසුවක් විය.

අලුත් පාසලට ඇතුල් වීමෙන් පසුව පුරුදු පරිසරයේ පරණ යහලුවන් නැතිවීම සහ අලුත් පරිසරයකට හුරු වෙන්නට සිදු වීම මා හට තරමක් දුරට බලපෑ කාරණාවක් විය.අපේ පවුලට හිතවත් වූ පවුලක අක්කා කෙනෙක් එම පාසලේම ඉගෙනුම ලැබූ අතර ඇය ඒ වනවිට උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබීය.ඇය නිතරම මාව ඇගේ පන්තියට කැටුව යන අතර ඇගේ පන්තියේ එතරම් පිරිසක් නොසිටි නිසා මා නිතරම ඇය සමඟ ඇගේ පන්තියට යාමට හුරු වූයේ අලුත් පාසල මට හුරුපුරුදු තැනක් වනතුරුය.ඇගේ හොඳම මිතුරියක් වන ශෙරීන් කුමාරතුංග එකළ මට පාසලෙදී නිතර මුණගැසෙන අතර වර්තමානයේදී ඇය මගේ හොඳම මිතුරියක් ය.ඒ වගේම යශෝධා විමලධර්ම , සෝමලතා සුබසිංහගේ දියණියන් සහ චාන්දනී සෙනවිරත්න වැනි කලාවට සම්බන්ධ බොහෝ දෙනා ඉගෙන ගත්තේද මගේ පාසලේමය.

අපේ නිවසට අල්ලපු නිවසේ දෙමළ ජාතික පවුලක් ජීවත් විය. නීතිඥවරයෙකු වූ ” නඩේශන් අන්කල් ” දූවරුන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙක් වූ අතර ඔවුන් සහ අපි හොඳම මිතුරන් ය.නඩේශන් අන්කල්ගේ පුතා සතුව කුඩා පුස්තකාලයක් පැවති අතර ඔහු අසල්වැසි නිවෙස් වල දරුවන්ට ඔහුගේ කතන්දර පොත් ලබා දෙයි. සෑම පොතකම මුල් පිටුවේ කොළයක් අලවා පොත ගන්නා දිනය එහි සඳහන් කර පොත් ලබා දී සැබෑ පුස්තකාලයක අත්දැකීමක් ඔහු අපට ලබා දුන් නිසා අප ගන්නා පොත් නියමිත දිනට නැවත පොත ඔහුට බාරදීමට අප අමතක කලේ නැත.

ඔහු අත්වැඩ වලට ඉතා දක්ශ අයෙකි.එකල ඔහු විශාල පෙට්ටියක් ගෙන තිර රෙදි දමා ජනේලයෙන් මෙපිට සිට කතන්දර කියමින් ඔහු විසින්ම සැකසු රූකඩ නටවයි. ජනේලයෙන් පිටත පැදුරු දමා අපිට වාඩි වෙන්නටද ඔහු සැලැස්වූ නිසා අපි අත්පුඩි ගසමින් සිනහා වෙමින් ඉතා විනෝදයෙන් එම රූකඩ නැටුම් නැරඹීය.නඩේශන් අන්කල්ගේ බිරිඳ ද ඉතා ගුණයහපත් කාන්තාවක් වූ අතර රූකඩ නැටුම් නරඹන අපට ,කුඩා ඇලුමිනියම් කෝප්ප වල දැමූ පලතුරු බීම වලින් සංග්‍රහ කරන්නට තරම් ඇය කාරුණික වූවාය.ඇත්ත වශයෙන්ම ඔවුන් නිසා කුඩා අවදියේ පසුවූ අපේ ජීවිත වලට තව තවත් සුන්දර මතක එකතු විය.

ඒ වගේම අසල්වැසි නිවෙස් වල ජීවත් වූ ළමුන් සියලු දෙනා එකතු වී බට්ටා පැනීම ,ජිල් බෝල ගැසීම , කැට ගැසීම සහ කොළපත් වලින් බිම දිගේ ඇදගෙන යාම වැනි සෙල්ලම් කිරීම හැම දිනකම පාහේ හවස් වරුවේ සිදු වූ අතර අප සියලු දෙනාට එය අතිශය විනෝදකාමී සමයක් බවට පත් විය.

එක්දාස් නමසිය අසූ ගණන් වල පැවති දෙමළ කෝලහාල සමයද මගේ මතකයෙන් කිසිම විටක ඈත් නොවෙන එකකි.අප ඉස්කෝලේ ඉන්නා අවස්ථා වලදි වටපිටේ ඇති සමහර ගොඩනැගිලි වලට ගිනි තැබීමෙන් නගින දුමාරයද , දෙමව්පියන් කලබලයෙන් පැමිණ දරුවන් පාසලෙන් රැගෙන යාමද ඒ මතක අතර මුල් තැන ඇත.
එවැනි එක දිනක තාත්තා අපවද රැගෙන විත් නිවසෙට ඇරලවා අපට නිවස තුලටම වී සිටින ලෙස උපදෙස් දී සිනමා ශාලාවට ගොස් එයද වසා නැවත නිවසට පැමිණියේය.ඉන්පසුව තාත්තා ” නඩේශන් අන්කල්ගේ ” නිවසට ගොස් ඒ මොහොතේ අතිශය බිය වී සිටි ඔවුන්ටද නිවස තුළටම වී නිශ්ශබ්දව සිටින ලෙස උපදෙස් දුන්නේය.
මද වේලාවකට පසුව ආයුධ රැසක් රැගත් පිරිසක් අප වත්තට පැමිණුනේ අප සියලු දෙනාම බයෙල් ඇළලී යද්දීය.එකළ දෙමළ ජාතික සියලු දෙනාටම ජිවිත හානි පවා සිදුවන සමයක් නිසා සිදුවන්නට යන්නේ මොනවාදැයි කියාවත් ඒ නිමේශයේදි අපට සිතාගන්නට වත් බැරිවිය.

” සිංහබාහු මහත්තයා කෝ මෙහෙ ඉන්න දෙමළ්ලු ? “

පැමිණි පිරිස තාත්තාගෙන් විමසුවේ එසේය

” කොහේ ඉන්න දෙමළ්ලුද ? “

” ඇයි මෙහෙ ඉන්නේ.හංගගෙන නේද ඉන්නේ ? එළියට දාන්න ඉක්මනට “

තාත්තා ප්‍රදේශය පුරාම ඉතාම ගෞරවාදරයට පාත්‍ර වූ අයෙක් නිසා ඔවුන් කතා කලේ තාත්තාට යම් ගෞරවයක් සහිතවය.

” මෙහෙ කවුරුත් නෑ.කරුණාකරලා කරදර නොකර යන්න “

තාත්තා තරමක් තදින් එසේ කී විට ඔවුන් පිටව ගියේ තාත්තාට ඇති ගෞරවය නිසා මිසක ඒ තරම් කැමැත්තකින් නම් නොවේ.

ඉන්පසු කාලයක් තිස්සේම නඩේශන් පවුල නිවසටම වී හැංගී වුන් අතර අපේ අම්මා ඔවුන්ගේ නිවස පිටුපසින් ගොස් ඔවුන්ට දිනපතාම ආහාර පාන ලබා දුන්නාය.අපට ඉතාම සුන්දර මතක ඉතිරි කල ඔවුන් පසුව කෙටි කාලයක් තුළදී පිට රට පදිංචිය සඳහා ගියේ ඔවුන්ගේ ජීවිත ආරාක්ශා කර ගැනීම උදෙසාමය.

කුඩා අවධියේ සිටම අප සිත් තුළ ජාති ආගම් සහ කුළ බේද නොතිබුනේ අසල්වැසි නිවෙස් වල සියලු දරුවන් එකට සෙල්ලම් කරමින් එකට හැදී වැඩුනු පරිසරයක අප ජීවත් වූ නිසාය.මිනිසුන් විසින් ඇති කරගත් මත බේද නිසාවෙන් කලකෝලාහල ඇතිවුවද අප ජීවත් වූයේ සියලු දෙනාම සමානය යන හැඟීමෙන් ය. නඩේශන් පවුලේ ඈත්වීම අපට දැඩි ලෙස දුක් ගෙන දෙන කාරණාවක් වූ අතර අදටත් ඔවුන් ලෝකයේ කොතන ජීවත් වනවාදැයි අප දන්නේ නැත.

අප නිවසට මදක් නුදුරින් තාත්තාගේ හොඳම මිතුරෙක් වූ දෙමළ වෛද්‍යවරයෙක් ඩිස්පෙන්සරියක් පවත්වාගෙන ගියේය.රෝහලකද සේවය කල ඔහු නිසා අපේ නිවසේ කිසිම දිනක බෙහෙත් වලින් නම් අඩුවක් නොවීය.ප්‍රථමාධාර පෙට්ටියක් අප නිවසේ වූ අතර එහි නැති බෙහෙතක් තිබුනේද නැත.බෙහෙත් ඉවර වන්නටත් පෙරම ඔහු නැවත අපට අවශ්‍ය බෙහෙත් වර්ග ගෙනත් දෙයි. කුඩා කල මගේ කණ විදීම සිදු කර තිබුනේද තාත්තාගේ එම මිතුරු වෛද්‍යවරයාම ය.

දෙමළ කෝලහාල සමයේ ඔහුට අතරමගදී පිරිසක් විසින් පහර දී තිබුනු අතර එම ප්‍රහාරය නිසා ඔහුගේ කනද පැලී තිබුනි.අපේ පවුලට ඉතා සමීප අයෙක් වූ ඔහුත් තමන්ගේ පවුලේ අය සමඟ පසුකාලීනව පිට රට පදිංචියට ගියේ එවකට රටේ තිබුනු තත්වය එන්න එන්නම දරුණු අතට හැරුණු නිසාවෙනි.

අප නිවස ආසන්නයේ මුස්ලිම් පවුල් බොහෝමයක්ද ජීවත් වූ අතර බොහෝ දෙනා අප පවුලේ මිතුරන්ද විය. ඔවුන්ගේ අවුරුදු කාලයේදි වටල්ලපන් ,බිරියානි සහ රසකැවිලි පිඟන් ආදිය අප වෙත එවන්නට ඔවුන් අමතක කලේ නැත.ඒ වගේම සිංහල අවුරුදු කාලයට අපද කැවිලි පිඟන් ඔවුන් වෙත ගෙන ගොස් දුන්නා මට මතකය.

එවකට සිංහල අවුරුදු දිනයට අපේ ප්‍රියතම කාර්‍යය වූයේ කැවිලි පිඟන් රැගෙන අසල්වැසි නිවෙස් කරා යාමය.අප මුලු ප්‍රදේශය පුරාවටම එසේ කැවිලි පිඟන් ගෙන ගොස් දුන් විට ඔවුන්ද අපට විවිධ කෑම බීම වලින් සංග්‍රහ කිරීම, තෑගි සහ මුදල් දීමද සිදුවිය.

සියලු ආගම් වල අය සමඟ ඉතාම සහජීවනයෙන් අප ජීවත් වූ අතර සුලුතරයක් පමණක් තමන්ගේ වාසි වලට සහ කුඩා හේතූන් මත එකිනෙකා අතර ගැටුම් ඇති කරගන්නට පෙළඹීය.නමුත් අප අතර එවන් කිසිඳු ගැටලුවක් නොවූ අතර සියලු දෙනාටම එක ලෙස සලකමින් සමගියෙන් ජීවත් වීමට කුඩා කල සිටම අප පුරුදු විය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles