අපිට අපි

“අම්මේ බඩගිනියි.”

පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම නැහැ.කිසිම දෙයක් ගේ හරියේ නෑ.ඒ කතාව පුතාට කියන්න බැරිකමට චමරි ඉවත බලා ගත්තා.

“තාත්තා කවද්ද ගෙදර එන්නේ අම්මේ?”

නෙතුකගේ ප්‍රශ්නයට චමරිට අඬන්න තරම් වේදනාවක් දැනෙනවා.නාලකට තාම හොඳටම හොඳ නෑ.ඇත්තටම හොඳ වෙන දවසක් කියන්නත් බැහැ.

“රස්සාව නැති වුණා චාමි.”

නාලක එහෙම කියාගෙන ගෙදරට ගොඩ වුණු මොහොත චමරිට අමතක නෑ.ඒ මොහොතේ නාලකගේ ඇස්වල ඇඳිලා තිබුණු අපේක්ෂා භංගත්වය තවමත් චමරිගේ හිතින් මැකිලා ගිහින් නෑ.මෙතනින් එහාට කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව දවස් කීයක් නම් ගෙවා දැම්මද?

“ඉස්සරහට එන්නේ පුදුම තරම් අමාරු කාලයක්.රස්සාවල් වුණත් නැති වෙන්න පුළුවන්.”

ටීවී එකේ ප්‍රවෘත්ති වලට ඒ වගේ දේවල් අහලා තිබ්බට ඒ කතාවට ඇත්තටම මොන තරම් වේදනාවක් ඇති කරන්න පුළුවන්ද කියලා චමරිට තේරුම් ගියේ නාලකගේ රැකියාව නැති වුණාට පස්සේ

මෙතනින් එහාට මොකද කරන්නේ?

කොහොමද ජීවත් වෙන්නේ??

ඒ ප්‍රශ්න වලට උත්තර නාලක දිවා රෑ නැතුව හිතන බව චමරි දැනගෙන හිටියා.ඉතුරු කර ගත්තු මහා මුදලක් නැහැ.බඩු ගණන් අහස උසට ගිහින් තියෙද්දි කනබොන බඩු වලටම ඒ මුදල වැය වෙන බව ඇය නොදැන හිටිය නෙමෙයි.එහෙමයි කියලා පුතාට මොකුත් නොදී ඉන්නද? 

“මේ ළඟ ගෙවල් හදන තැනක් තියනවා.මං අත් උදව් දෙන්න යනවා.”

නාලක දවසක් ගෙදරින් එලියට බැස්සේ එහෙම කියාගෙන.චමරි ගල් ගැහිලා බලාගෙන හිටියා.ඔයාට එහෙම දේවල් කරන්න පුලුවන් ද කියලා අහන්න හිතුණත් නාහ ඉන්න පරිස්සම් වුණේ නාලකගේ හිත තවත් රිදවන්න චමරි අකමැති වුණු නිසා.නාලක දවස් කිහිපයක්ම අත් උදව් දෙන්න ගියා.අත්‍යවශ්‍ය හැම බඩුවකම මිල අහස උසට යනකොට චාමර උපයන සුළු මුදල ජීවත් වෙන්න ප්‍රමාණවත් නෑ තමයි.ඒත් මොනවා කරන්නද? ඉස්සර වගේ ස්වයං රැකියාවක් පටන්ගන්න එක,රස්සාවක් හොයා ගන්න එක,ලේසි දේවල් නෙවෙයි.

නාලකගේ උත්සාහය තිබුණේ දවස් කිහිපයක් විතරයි.ඇමතුමක් ආවේ චමරිව බිමටම කඩා වට්ටන ගමන්.ඒ ඇමතුමෙන් කියවුණේ නාලක අනතුරකට ලක් වුණු බවක්.

“නාලක පලංචියක් කඩාගෙන බිම වැටිලා.”

නුහුරු නුපුරුදු දේවල් කරන්න ගිහින් නාලක අනතුරට පත් වෙලා තිබුණා.රෝහලට යන්න වාහනයක් හොයාගන්න පවා වෙනදට වඩා සැලකිය යුතු වෙලාවක් වැය වුණු බව නාලක සේවය කරපු තැන කෙනෙක්  චමරි එක්ක කිව්වේ බොහොම වේදනාවෙන්.හැම දෙයක්ම ආපස්සට ගිහින් තියෙද්දි නාලකගෙ ජීවිතයට අනතුරක් වෙන්න කලින් ඔහුව රෝහලට රැගෙන එන්න පුළුවන් වීම ගැන චමරි දෙවියන්ට ස්තුති කරා.

“ඔයා හැමදාම ඉස්පිරිතාලෙ එන්න ඕනෑ නෑ.”

නාලක එහෙම කියනකොට චමරි අහක බලාගෙන කඳුලු පිහ ගත්තා.ඇත්තටම හැමදාම රෝහලට එන්න තරම් මුදලක් ඇය අතේ තිබුණෙත් නැහැ.ගෙදර කන්න බොන්නවත් මුදල් නැති වුණාට මොනවා හරි කොහොමහරි කරගන්න හිතාගෙන ඇය ආපහු ගෙදර එන්න ආවා.නාලකට තව කීප දවසක් රෝහලට වෙලා ඉන්න වෙන්න බව දැන ගනිද්දී චමරිට දැනුනේ බොහොම බයක්.ඒත් මොනවා කරන්නද? ගෙදර ආවත් ආයෙ ඉක්මනින් නාලකට වැඩ කරන්න බැහැ.කරන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව චමරි කල්පනා කරපු වාර අනන්තයි අප්‍රමාණයි.

“අම්මා මට බඩගිනියිනෙ”

පුතා කෙඳිරි ගානවා.සම්බෝලයක් සහ බතක් වත් හදල දෙන්න ගේ හරියේ හාල් ඇටයක් නෑ.චමරි හෙමින් සීරුවේ වත්ත පහළට ගියේ හිතට ආපු සිතුවිල්ලක් එක්ක.එහා වත්තේ ගහක කොස් ගෙඩියක් පැහෙමින් තිබුණු බව ඇයට මතක් වුණා.ඒ කොස් ගෙඩියට කෙක්කක් මානනකොට අවුරුදු විසි අටක් තිස්සේ “අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි” කියලා ගාථා කියපු හැටි ඇයට අමතක නොවුණ නෙවෙයි.ඒත් මොනවා කරන්නද?

උසම උස කොස් ගහෙන් ගෙඩියක් කඩා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි.චමරි සෑහෙන වෙලාවක් ඒ වෙනුවෙන් වැය කළා.අන්තිමට වැඩේ සාර්ථක වෙද්දිම චමරි බය වුණේ කොස් ගෙඩිය බිම වැටෙන සද්දෙට නෙවෙයි.කන ළඟින්ම ඇහුණු කටහඬට.

“කොස් ගෙඩිය පැහිලද නංගි?”

ඒ එහා ගෙදර නීතා.නීතා අක්කා රස්සාවට ගිහින් ඇති කියලයි චමරි හිතුවේ.ඒත් ඇය මෙතන.කොස් ගෙඩියකට පොල් ගෙඩියකට හිරේ වැටෙන්න වුණු කතා කිහිපයක් මතක් වෙනකොට චමරි හීතල වෙලා යන්න පටන් ගත්තා.

“මං ආවෙත් ගහේ කොස් තියනවද බලන්න නංගි.ඉස්සර නම් ඉදි ඉදී වැටෙනවනෙ.දැන් එහෙම අහක දාන්න බෑ.බෝංචි දෙසිය පනහක් කීයද?මෑ පන්සීයක් කීයද? වැඩිය ඕන නෑ පතෝල වැටකොළුම කීයද බලන්නකො.”

නීතා දිගින් දිගටම කතා කරගෙන යනකොට චමරි මොකුත්ම කිව්වේ නෑ.ඒත් ඇයට කලින් කඳුළු කතා කරන්න පටන් අරගෙන තිබුණා.බිම බලාගෙන ඉකි ගහන චමරි දිහා නීතා බැලුවේ විමසිල්ලෙන්.

“අනේ අක්කේ මං හොරකම් කරන්න හිතුවේ නෑ.”

චමරි ඉකි ගහනවා.එහෙම සිතුවිල්ලක් හිතට කොහොමටත් නාපු නිසා නීතා චමරිගේ අත් දෙක අල්ලා ගත්තේ ආදරයෙන්.කොස් ගෙඩියට,දෙල් ගෙඩියට හිරේ වැටුණු මිනිස්සුන්ගේ කතා මතක් වෙන වේගෙට චමරිගේ ඇඬුමේ වේගයත් වැඩි වෙන්න පටන් ගත්තා.

“අනේ නංගි,මං එහෙම එකක් හිතුවේ නෑ.කොහොමටත් අපි මේ පැත්තෙ ගස් දිහා බලන්නෙ නැති නිසා කවුරු කවුරුම හරි කඩන් යනවනෙ.ඒකට මොකද?”

නීතා එහෙම කිව්වට චමරිට දැනුණේ කියා ගන්න බැරි තරමේ අපහසුවක්.කෙනෙකුගෙන් නාහා ඉඳිකටුවක තරම් දෙයක් නොගත්ත තමන්ට මෙහෙම දේවල් කරන්න සිදු වීම ගැන ඇයට තියෙන්නෙ වේදනාවක්.ඒ නිසාම ඇය හඬමින් නාලකගෙ රැකියාව නැතිවීමේ ඉඳලා අනතුරට පත්වීම දක්වාත් ගේ හරියේ කන්න කිසිම දෙයක් නැති වීම ගැනත් නීතාට කිව්වා.

ඒ ගමන දෑසට කඳුළු ඉනුවේ නීතාට.මේ වගේ කාලයකදී තමන් ගැන විතරක් නෙමෙයි අනුන් ගැන පවා සැලකිලිමත් විය යුතු බව කොහෙන්දෝ ආපු හැටි නීතා ට මතකයි.නමුත් එහා වැටේ හිටපු අය ගැන හොයන්න බලන්න අමතක වීම නිසා ඔවුන්ව දවස් කීයක් බඩගින්නේ තිබ්බද කියලා හිතනකොට නීතාට ආවේ වේදනාවක්.පුංචි නෙතුක කියන්නේ කරදර වින්ද දරුවෙක් නෙවෙයි.චමරිත් නාලකත් පුලුවන් හැටියට ඔහුව බලා ගත්තා.

“පුතාවත් අරන් අපේ ගෙදර පැත්තේ ගිහින් මොනවා හරි කාලා ඉමු නංගි.ඊටපස්සෙ අපි දෙන්නා එක්ක මේ කොස් ගෙඩිය තම්බලා මොනවා හරි රෑට උයමු.”

නීතා එහෙම කියලා පැත්තකට වෙලා සෙල්ලම් කරමින් හිටිය නෙතුකට අඬ ගැහුවා.කොස් කොළ ඔටුන්නක් හදමින් මෙලෝ සිහියක් නැතුව හිටිය නිසාම අම්මගේ කඳුළු නෙතුක නොදැකීම ගැන නීතාට දැනුණේ සැනසිල්ලක්.

“අපි ගිහින් මොනවා හරි කමු පුතේ.තාත්තා එනකම් තියන හැටියට පුලුවන් දෙයක් කමු.”

නීතා නෙතුකගේ ඔළුව අතගාලා එහෙම කියනකොට හිත හොඳ අසල්වාසිනිය දිහා චමරි බැලුවේ කියා ගන්න බැරි තරම් ලෙන්ගතුකමකින්.

“කී දවසක් එහෙම කරන්නද අක්කේ.”

ඇගේ කටහඬ බිඳී ගිහින් තිබුණා.කොස් ගෙඩිය අතට අරගෙන නෙතුකවත් ඉස්සර කරගත්තු නීතා චමරි දිහා බැලුවේ අධිෂ්ඨානයක් ඇතිව.

“පුලුවන් දවසක් කරමු නංගියෙ.ළඟම ඉන්න මිනිස්සුන්‍ට බඩගින්නෙ මැරෙන්න දෙන්න බෑනෙ.ළඟම ඉන්න මිනිස්සු පරිස්සම් කර නොගත්තොත් අපිට පස්සෙ දුක හිතෙයි.ඒ නිසා අපි අපිව බලාගමු.පාලකයෝ ඒක නොකරන එකේ අපිවත් කරන්න එපැයි.”

නීතා අක්කගෙ කතාව මොනතරම් ඇත්තද කියලා හිතෙනකොට චමරි තවත් කඳුලක් පිහ ගත්තා.

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...