එයා මැරිලා හුඟක් කල් 9

“අම්මටසිරි… “

කොච්චර මැද්දෙන් කතා කරන්න එපා කියලා කිව්වත් ඒක අහගෙන ඉන්නකොට මට ඉබේම කියවුනා.

රාජරත්නම් හිනාඋනා..

“ඔව්… ඇත්තටම ඒක සුපර් අම්මටසිරියාවක් තමයි”

තලා හිනාඋනා …

“උඹ කොහොමද එහෙම කියන්නේ..උඹ ඒ මනුස්සයව කැමරාවෙන් දැක්කේ නැද්ද..උබ කොහොමද මෝහනය නොවී බේරුනේ..”

“නෑ මම හිටියේ  රත්නාලෝකට මුහුණ දාලා ඉඳගෙන.කැමරාව තිබුණේ රත්නාලෝක පැත්තට.
එයා සෙකියුරිටි ගාඩ්ට කිව්වා මට  මිනිහගේ මූණ පෙන්නන්න කියලා. එයාට සමහරවිට මුණ පෙන්නන්න ඇති. ඊට පස්සේ තමයි රත්නා ලෝකගේ මූණ වෙනස් වුණේ.. ඊට පස්සේ
රත්නාලෝක මට කිව්වා..”

..ඩොක්ටර්.. දැන් එන කෙනාව මට හම්බවෙන්න ඕනේ.මම හෙට උදේට ඩොක්ටර්ව හම්බවෙන්නම් කියලා….

“කොහොමත් එතකොට මගේ ඩියුටිය ඉවර වෙලා තිබිච්ච හින්දා මම ගෙදර යන්න පිටත් වෙන්න තමයි හිටියේ.ඊට පස්සේ මම ඔෆිස් එකෙන් එළියට ආවේ කොහොමත් රත්නා ලෝකට ඒ එන පුද්ගලයාව තනියම හම්බවෙන්න ඕනේ කියලා කියපු හින්දා. මම පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට එනකොට මට ඒ එනවා කියපු කෙනාව හම්බවුණා. එයා ටිකක් අපිට වඩා උසයි.අපේ මූනට වැඩිය ටිකක් මූන ලොකුයි.හරියට නිකන් ඇමෙරිකන් ජාතිකයෙක් වගේ.එතකොට තමයි හිතුනේ මේ පුද්ගලයා ලංකාවේ කෙනෙක් නෙමෙයි කියලා.පිළිවෙලට ඇඳලා හිටිය.ටයි කෝට් දාලා සපත්තු මැදලා අතේ බ්‍රීෆ් කේස් එකකුත් තිබුණා. “

“එතකොට මෙහෙම ඇතුලට එන අයව ආරක්ෂක අංශය චෙක් කරලා නෙමෙයිද  එවන්නේ..”

“අපෝ මොකද නැත්තේ.. ඇතුලට එන මිනිසුන්ව එම් ආර් අයි ස්කෑන් එකකට විතරයි ඔබන්නෙ නැත්තේ …”

එහෙම කිව්වහම රාජරත්නම් ටයි මටයි හයියෙන් හිනා ගියා..

“හැබැයි මට එළියට ඇවිල්ලා වාහනයට නැග්ගට පස්සේ එක දෙයක් ගැන පොඩි සැකයක් හිතුණා. ගේට්ටුව ගාව ඉඳලා ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ඇතුළුවීමේ දොරටුවට එන්න මීටර් දෙසිය පනහක් විතර තියෙනවා.ඒ මීටර් දෙසිය පනහෙන් පස්සේ ඇතුලට එන කෙනාව විනාඩි දහයක් විතර චෙක් කරනවා. ඊට පස්සේ ආපහු මීටර් තිහක් විතර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොර ළඟට එන්න ඕනේ.එතන තියෙනවා ඇතුළු වෙන පුද්ගලයන්ගේ විස්තර පුරවන තැනක්.මුලින්ම ගේට්ටුව ගාවදිත් විස්තර ගන්නවා තමයි.ඒ උනාට මෙතනදිත් ආපහු විස්තර පුරවන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඇමැති කෙනෙක් ආවත් ඔය ප්‍රොසීඩිය එකම තමයි.වෙනසක් නැහැ… සාමාන්‍යයෙන් ගේට්ටුව ගාව ඉඳලා ඔය සේරම පිළිවෙත් ටික ඉවර කරගෙන රත්නාලෝකගේ කාමරයට එන්න එන මනුස්සයාට පැය භාගයක්වත් යනවා. ඒක ඉතින් මම අත්දැකීමෙන් දන්නවා.රත්නාලෝකගෙ ඔෆිස් එකෙන් එවලෙම වගේ මං එන්න පිටත් උනානේ… මෙන්න බොලේ ඒ හාදයා පඩිපෙලත් නගිනවා.. වාහනේ ටික දුරක් ගියාට පස්සේ තමයි මට හිතෙන්න ගත්තේ කොහොමද එයා එච්චර වේගයෙන් ආවේ කියලා.එක්කෝ මුර කපොලු වලින් එයාව චෙක් කරලා නැහැ. නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයකින් තමයි ඇවිල්ලා තියෙන්නේ…”

“ඉතිං ඊට පස්සේ…”

“ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා පැය තුනකට විතර පස්සේ ඔන්න ආපහු ජනාධිපති මන්දිරයෙන් මට කෝල් එකක් එනවා සර්ට ටිකක් අමාරුයි ඉක්මනට එන්න කියලා.මම එතකොට ඒගොල්ලන්ව දැනුවත් කළා ඉක්මනට ඇම්බියුලන්ස් එකක් ගෙන්නලා හොස්පිට්ල් ගෙනියන්න ..මං ඉක්මනින් එනවා කියලා .. “

“ම්ම්… ඉතින්..”

“දැන් මේ සිද්ධිය වෙලා අවුරුදු දහයකටත් වැඩි හොඳේ..”

“ආ.. ඒකියන්නෙ රත්නාලෝක කාරයා අගමැති කාලේ සිද්දියක්…”

“ඔව්… ඒ කාලෙ තමයි …ඒ කාලේ මම අගමැති සෞඛ්‍ය උපදේශක…”

“ඊට පස්සේ
මම ආපහු දඩිබිඩියේ ප්‍රියන්වදා බනිනකොටම හොස්පිට්ල්  එකට දිව්වා. ලොක්කා අර අමුත්තා  හම්බවෙන්න කාමරේ දොරත් වහගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඒ මනුස්සයා ඇවිල්ල පැයකින් විතර පිටවෙලා ගිහිල්ලා.රෑ දහය වෙනකනුත් ලොක්කා කාමරයේ දොර ඇරපු නැති හින්දා ලියන මහත්තයා ගිහිල්ලා බලල තියනව. ජානකී මැඩම් රෑට  කෑම කන්න ලොක්ක එනකම් පල්ලෙහා බලාගෙන ඉඳලා. දොර ඇරලා බලනකොට තමයි මේගොල්ලෝ දැකල තියෙන්නේ ලොක්ක ෆේන්ට් වෙලා ඇදගෙන වැටිලා තියෙනවා කියලා. කට්ටිය හොඳටම බය වෙලා තමයි මට කතා කරලා තියෙන්නේ.”

“ආ.. ඊට පස්සේ …”

“ඒ ආපු පුද්ගලයා එයාව හම්බවෙන්න ආවේ පෞද්ගලික කාරණයකට කියලා ලොක්කා හැමෝටම කිව්වා.එයා එහෙම කියනකොට අපිට ඊට වඩා එයාගෙන් විස්තර අහන්න බැහැ.ෆේන්ට් උනේ ඇයි කියන්න එයා දන්නෙත් නැහැ.

ඊට පස්සේ මම අග ඉඳන් මුලටම රත්නාලෝකගේ  රිපෝට්ස් ගත්තා. කරන්න තියෙන හැම ටෙස්ට් එකම  කළා.  ඔන්න එතනදි තමයි මට පුදුම දෙයක් හම්බ වුණේ. මේ කාලය වෙනකොට
රත්නාලෝකගේ වයස අවුරුදු හැත්තැ ගානක් වගේ උනේ. මෙච්චර කාලයක් ගත්ත රිපෝට්ස්වල කිසිම වෙනසක් තිබුනේ නැහැ.එයාගෙ වයසේ හැටියට තියෙන්න ඕනේ ප්‍රමාණ ඒ විදිහට තිබුණා. හැබැයි එදා අර ගත්ත reports වල ඔක්කොම සංයුතීන් තිබුණේ අවුරුදු විසි ගණන්වල මනුස්සයෙකුගේ ශරීරය තියෙන්න ඕන ප්‍රමාණ… ඇත්තටම ඒක මට හිතාගන්න බැරුව ගියා. කෙනෙකුට මෙහෙම කියන්නත් පුළුවන්.එයා එයාගේ සෞඛ්‍ය වෙනුවෙන් කරගෙන ගිය වැඩපිළිවෙල හින්දා මේ විදිහට තරුණ වුණා කියලා.මෙහෙමයි බාහිර ස්වරූපයෙන් අපි ලස්සන වුණා වෙන්න පුළුවන්..නිරෝගි විදිහට ඉන්නවා වෙන්න පුළුවන්.හැබැයි ශරීරයේ තියෙන සංයුතීන් විශාල වශයෙන් වෙනස් වෙන විදිහක් නැහැ.ඒවා සොබා දහමට අනුකූලව තමයි සිද්ධවෙන්නේ.. “

“එතකොට ඩොක්ටර්.. අර රත්නාලෝකලා සින්ගප්පූරු ගිහින් බ්ලඩ් චේන්ජ් කරන කතාව ඇත්තද..”

කියලා රාජරත්නම් ඇහුවා…

“ඔව්.. ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් නම් නෙමෙයි. හැබැයි ඉතින් මේගොල්ලෝ ජනතා මුදලින් ඔක්කොම කරන්නේ.ඒ හින්දා ඉතින් ප්‍රශ්නයක් නැහැ.ඔව්  සිංගප්පූරුවේ තියෙනවා තමයි එහෙම කරන ඒවා. රත්නාලෝක සිංගප්පූරුයි ගිහිල්ලා බ්ලඩ් චේන්ජ්  එක මාස තුන හතරකට සැරයක් කරනවා. එදා රිපෝට්ස් ගත්තු වෙලාවෙ මට ඕකත් මතක් වුණා.ඔක්කොම සාධක සලකලා බලනකොට මනුස්සයෙක් තරුණ වෙන්න පුළුවන්.හැබැයි ඔය තරමට බැහැ.මම එයාගේ පපුව සම්බන්ධ කරපු හැම ටෙස්ට් එකකම රිසාල්ට් එක ඇවිල්ලා තිබුනේ අවුරුදු විසි ගණන්වල පිරිමියකුගේ එන්න ඕනෙ සංයුති වලට.. ඊසීජි එක පවා…

ඊට පස්සේ තමයි ඔන්න කතන්දරේ පටන් ගන්නේ..එදා ආවේ කවුද කියන එක මට හොයන්න හිතුනේ, රත්නාලෝක එකපාරටම කාමරය ඇතුලේ ඇදගෙන වැටුණේ ඇයි කියන හේතුවට ඒ ආපු මනුස්සයාගේ යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවද කියලා හොයලා බලන්න හිතුන හින්දා.හැබැයි ඊට පස්සේ රත්නාලෝක ඒ ගැන හෙවිල්ල සම්පූර්ණයෙන් තහනම් කළා.එයාට උඩින් වචනයක් අපිට කතා කරන්න බැරි නිසා ඒ කිසිම දෙයක් අපිට හොයන්න බැරුව ගියා.කාගේ හරි කියමනකට ආරක්ෂිත කැමරාවල පටිගත වෙලා තිබිච්ච හැම දෙයක්ම මකලා තිබුණා. ඊට පස්සේ ජනාධිපති සටනට එනකම්ම මිනිහගේ ගති ලක්ෂණ එන්න එන්නම වෙනස් වුණා.”

“ඒ කිව්වේ…”

“මට මුලින් හිතුනේ ඒක යම්කිසි මානසික විපර්යාසයක් කියලා.අපි ඒකට වෛද්‍ය විද්‍යාවේ නං කියනවනේ ඒක යම්කිසි ඩිසෝඩර් එකක් කියලා . අසේල දන්නවනේ මටත් වඩා හොදට… හැබැයි මම හිතපු විදිහට රත්නාලෝකෙට එහෙම කිසිම මානසික රෝගයක් තිබුණේ නැහැ. ඇත්තටම මට ඒක කියන්න තේරෙන්නේ නෑ.ඊට පස්සේ ඇති වුණේ
රත්නාලෝකගේ පොඩි වෙනසක් නෙමෙයි මහ ලොකු වෙනසක්. මම එයාගේ පෞද්ගලික වෛද්‍යවරයා හින්දා එයාගේ පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂකවරයා විදිහට හුඟක් වෙලාවට මට ළඟින්ම ඉන්න සිද්ධ වුණා.ඒ වගේම එයාගේ විශ්වාසයක් බොහොම තදබල විදියට රකින්න සිද්ධ වුණා.ඇත්තටම තාමත් මෙයාගේ ළඟ වැඩ කරන හින්දා මම මේ විදිහට ඕගොල්ලොත් එක්ක මේ කියන දේවල් සම්පූර්ණයෙන්ම වැරදියි.හැබැයි මට හිතෙනවා මොකක් හරි තැනක ලොකු වැරැද්දක් වෙලා තියෙනවා කියලා.අපේ රාජරත්නම් මහත්තයා එක්ක කතා කරනකොට තමයි මට තේරුනේ ඒ වැරැද්ද නිවැරදි කරන්න මටත් උදව් කරන්න පුළුවන් වෙයි කියල.”

“හරි ..දැන් මොකක්ද උඹට දැනිච්ච වෙනස..”

“මෙහෙමයි ඒක හරියටම මේකයි කියලා මට කියන්න බැහැ.රත්නාලෝක කියල කියන්නෙත් හොඳට කන බොන විනෝද වෙන මිනිහෙක් තමයි.ඒ වගේ මිනිස්සුන්ගේ ජීවන රටා ගැන උඹලට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.විශේෂයෙන්ම පිටරටවල් වලට ගියාම උන්ව අල්ලන්නවත් බැහැ.දන්නවනේ මොනවද කියලා.ජානකී මැඩම් දන්නවද දන්නෙත් නැහැ.දැනගත්තත් උන්ට ඇති වැඩකුත් නැහැ.උන්ගේ උවමනා එපාකම් ඕනවටත් වැඩිය රත්නාලෝක අතින් සිද්ධ වෙන හින්දා ඔය අනවශ්‍ය දේවල් ගැන හොයන්න ගිහිල්ලා පවුල් අවුල් කරගන්න ඒ ගෑනුන්ට කිසිම උවමනාවක් නැහැ.”

“තේරෙන්න කියපං තලා.. උබ වටේ යනවා නේ… උබට වැඩිද..”

මං ඇහුවේ තවත් ඉවසගෙන ඉන්න බැරිම තැනමයි… 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles