මතක දිගහැරුම 106 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය හයවන දිගහැරුම ,

අම්මාව රෝහල් වාට්ටුවට ඇතුළු කිරීමෙන් පසුව දිගින් දිගටම ඇයට ඔක්සිජන් ලබා දීම පමණක් සිදු කෙරුණි.නින්දත් නොනින්දත් අතර සිටින අම්මා සිටින්නේ අපහසුවෙන් බව මට දැනුණි.හෂාන් රෝහලට පැමිණියේ ඊට සුළු වේලාවකට පසුවය.එතෙක් අප පිළිබඳව කිසිවකුත් දැන සිටියේ නැති අතර අපව හඳුන්වා දීමට ද අප උත්සාහ කළේ නැත.රෝහල් වාට්ටුවට ඇතුළු වූ හෂාන් ව දුටු සැනින් රෝහල් කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු සියලු දෙනාම අතිශය කලබලයට පත් වූහ.

” මට ඇහුණා doctor කෝල් ගන්නවා හෂාන් ආවට පස්සෙ.කරාපිටිය ටත් ගත්තා ICU එකක ඇඳක් තියෙනවද බලන්න. මං හිතන්නේ කොහෙවත් ICU එකක ඇඳක් නැහැ “

මා වෙත පැමිණි මගේ නංගිගේ සැමියා කීවේ එසේය.මගේ අම්මාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන වග සියලු දෙනාම දැන සිට ඇති නමුත් ඔවුන් නිසි ක්‍රියාමාර්ගයක් ඒ වෙනුවෙන් ගත්තේ නැත.පැය හතරක පමණ කාලයක් නිසි ප්‍රතිකාරයක් නොලද අම්මා රෝහල් වාට්ටුවේ ඇඳක් මත වැතිර සිටියාය.ඉන්පසුව මා වෛද්‍යවරයෙක් වෙත ගොස් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තත්ත්වය පිළිබඳව විමසුවෙමි.එවිට එම වෛද්‍යවරයා පැවසුවේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සියලු ඇඳන් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි.

” අපි මේ ලෙඩාව ගෙනැල්ල පැය හතරක් විතර වෙනවා.එතකොට අමාරු ලෙඩෙක් ආවහම ICU එකේ ඇඳන් නැත්තං අඩුම ගානේ ලෙඩාව අරගෙන ආපු අයව දැනුවත් කරන්න තිබුන නේද මේකෙ ඉඩ නෑ කියලා ? එහෙම නම් එතකොට එයාලා private hospital එකකට හරි ගෙනියනවා නේ “

මා එසේ විමසූ විට කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් මා හට දීමට පිළිතුරු නැති විය.අම්මාගේ තත්ත්වය එතරම් හොඳ නැති වග දැන දැනම දැඩි සත්කාර ඒකකයේ ඉඩ පහසුකම් නොමැතිව තිබියදීත් ඔවුන් අම්මාව රෝහලට ඇතුළත් කරගෙන තිබුණි.එසේ ඇතුළත් කරගෙන අම්මා හට එන්නතක් සහ ඔක්සිජන් පමණක් ලබාදෙමින් ඇයව ඇඳක් මත හොවා තිබුණා මිසක ඇය වෙනුවෙන් වෙනත් කිසිදු ප්‍රතිකාරයක් හරිහැටි කෙරුණේ නැති බව මා හට හොඳින්ම වැටහුණි.ඉන්පසුව මා නැවතත් අම්මාගේ වෛද්‍යවරයා ඇමතුවෙමි.

” ඉක්මනට ඔතනින් අම්මව අයින් කරගෙන මෙහෙට ගේන්න.හැබැයි ඒ ගොල්ලෝ private hospital එකකට ගේන්න දෙයිද දන්නේ නැහැ ටිකට් කපල “

අපගේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි මා කළුබෝවිල රෝහලේ ඒ අවස්ථාවේ දී සිටි වෛද්‍යවරයා වෙත ගියෙමි.

” මට අම්මාව ලංකා හොස්පිට්ල් එකට ගෙනියන්න ඕනෙ.මට පේන විදිහට මෙතන පහසුකම් නැහැ. ඒ නිසා අම්මාව ගෙනියන්න ලෑස්ති කරලා දෙන්න “

මා එසේ පැවසූ විට ඔවුන්ගේ පිළිතුර වූයේ මගේ කැමැත්ත මත අම්මාව රැගෙන යන බවත් , ඇගේ වගකීම මා දරන බවත් සඳහන් කර ලියුමක් ලියා අත්සන් කර අම්මාව රැගෙන යා හැකිය යනුවෙනුයි.අම්මාව පෞද්ගලික රෝහලට මාරු කිරීමට අවශ්‍ය ගිලන් රථයක් වත් ඔවුන් ලබා නොදෙන බැවින් ගිලන් රථයක් අවශ්‍ය නම් අප විසින් එය වෙනමම සූදානම් කරගත යුතු බවත් ඔවුන් වැඩිදුරටත් පැවසූහ.ඔවුන් එසේ පැවසූ විට මා තරමක් බියට පත් වුණෙමි.ඒ අවස්ථාවේදී අම්මාව එම රෝහලේන් කැටුව යාම සුදුසු දැයි මට සිතෙන්නට විය.අම්මාව එසේ රැගෙන ගොස් හදිසියේ හෝ අම්මාගේ ජීවිතයට අනතුරක් සිදු වුවහොත් ජීවිත කාලයටම මගේ සිත තුළ පසුතැවිල්ල මුසු හැඟීමක් ඉතිරි විය හැකි නිසා කුමක් කල යුතු දැයි සිතා ගත නොහැකිව මා දෙගිඩියාවෙන් පසු වුණෙමි.

” එහෙනම් ඔයාලා, ඔයාලගේ ඇම්බියුලන්ස් එකක දාලා හරි කමක් නෑ හරි තැනකට අම්මව යවන්න “

මා එසේ පැවසුවෙමි.ඒ මොහොතේ ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් ඇති බවට ඇමතුමක් ලැබී තිබුණි.ඒ වන විටත් අම්මා පසුවන්නේ ඉතා අමාරු තත්ත්වයක බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි.පැය ගණනාවක් පුරාවට ම කිසිදු ප්‍රතිකාරයක් හරි හැටි සිදු නොකර අම්මාව තබාගෙන සිටි රෝහල් කාර්ය මණ්ඩලය දැඩි සත්කාර ඒකකයක ඇඳක් සෙවීමට පවා උනන්දු වූයේ හෂාන් ව දුටු පසුවය.රජයේ රෝහලක රෝගියෙකුට ප්‍රතිකාර කිරීම හරි ආකාරයෙන් අරඹන්නේ එම රෝගියා රටේ ප්‍රසිද්ධ අයෙකුගේ පවුලේ අයෙක් වුවහොත් පමණද යන ගැටලුව මගේ සිතේ පැන නැගුනි.

” ඇයි අපිට කිව්වේ නැත්තේ මේ හෂාන් තිලකරත්නගේ නැන්දම්මා කියලා ? “

එක අවස්ථාවකදී රෝහල් කාර්ය මණ්ඩලයේ එක් අයෙක් ඒ ආකාරයෙන් මගේ තාත්තා ගෙන් විමසා තිබුණි.අප සාමාන්‍ය මිනිසුන් ආකාරයට රෝගියෙකුව රෝහලට ඇතුළත් කළා මිසක අනවශ්‍ය ආකාරයට අපගේ තත්වයන් සහ අප කාගේ කවුද යන වග ඔවුනට පැහැදිලි කිරීමට ගියේ නැත.කාගේ කවුරුන් වුවත් රෝගියෙකුගේ ජීවිතය අතිශය වටිනා එකක් බැවින් එය බේරා ගැනීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය එකසේ කැපවී කටයුතු කළ යුතුය.ජීවිත අවදානමක් සහිතව රෝගීන් රෝහලට පැමිණෙන්නේ ජීවිතය බේරා ගැනීමේ බලාපොරොත්තුවෙන් වන නිසා රෝගියාගේ තත්වය සහ තරාතිරම නොබලා ජිවිතය බේරා ගැනීම වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම රෝහල් කාර්ය මණ්ඩලය විසින් ගත යුතුය.

කෙසේ හෝ කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලය විසින් ගිලන් රථයක් ගෙන්වා අම්මාව ජයවර්ධනපුර රෝහල වෙත පිටත්කර හරින විට රෑ බෝවී තිබුණි.හෂාන් සහ මම ඇතුළු සියලු දෙනාම ද ගිලන් රථය පසුපස ජයවර්ධනපුර රෝහල වෙත ගියෙමු.එම රෝහල වෙත ගිය විට අප හඳුනාගත් සියලු දෙනා ඉතා ඉක්මනින් අම්මාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර ප්‍රතිකාර කිරීම ආරම්භ කලහ.

” මේ ලෙඩා පැය ගානක් කළුබෝවිල ඉඳලා තියෙනවා .එයාව මරලා නේ මෙහාට එවලා තියෙන්නේ “

දැඩි සත්කාර ඒකකය තුළ සිටි රෝහලේ කාර්ය මණ්ඩලයේ අයෙක් අන් අය සමග බැන වදිනවා මා හට ඇසුණි.දැඩි සත්කාර ඒකකයේ දොරටුවේ ඇති කුඩා කවුළුවෙන් මා අම්මා දෙස බලා සිටියෙමි.වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු පිරිස අම්මගේ හෘද ස්පන්දනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ආකාරය දුටු විට ඇගේ ජීවිතය පිළිබඳව විශ්වාසයක් තබාගත නොහැකි බව මා හට දැනුනි.දැඩි සත්කාර ඒකකය තුළ සිටි පිරිස අම්මාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දැරූහ.

” අපි කරන්න පුළුවන් හැමදේම කළා “

දැඩි සත්කාර ඒකකයෙන් පිටතට පැමිණි වෛද්‍යවරයෙක් , අම්මා ජීවිතය හැර ගිය පුවත අවසානයේ දී එසේ පැවසුවේය.ඒ මොහොතේ දී ජීවිත කාලය පුරාවටම අම්මා සමඟ එකටම සිටි මගේ තාත්තා කෑගසා හඬනු මා දුටුවෙමි.අම්මා අවසන් හුස්ම හෙලූ පුවත ඇසූ සැනින් නංගීට සහ මට ද හැඬුම් නවතා ගත නොහැකි විය.ඒ මොහොතේ දී හඬා වැටුණු තාත්තා පසුව සිතාගත නොහැකි තරම් ශක්තිමත් විය.අම්මා, නංගීට සහ මා හට මොන තරම් ආදරය කළාද යන වග ඔහු හොඳින්ම දැන සිටි නිසා නංගි සහ මම මනසින් කඩා වැටෙන බව දැනගත් තාත්තා පසුව ඔහුගේ සිත තුළ වූ අසීමිත ශෝකය පිටතට පෙන්වූයේ නැත.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles